ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

අයියේ අපේ පාං අර මේසේ උඩ

ඕං  සෑහෙන කාලෙකට පස්සේ රස්තියාදුවක් ගහන්න ආව. මේ රස්තියාදුව ගැහුවේ ඇච්ච බැච්ච කාලේ. දැන් කියල ඉතිං වෙනසක් නෑනේ. එතකොට නවය වසරේ විතර ඇති ඕං.ඒ වෙනකොට ගෙදරට මාව බරක් වෙලා ගෙදරින් හොස්ටල් ගෙනත් දාල තමයි හිටියේ. හොස්ටල් එකේ ඉතිං එක එක රස්තියාදු වලට හරියන එක එක යාළුවෝ හිටිය. හැබැයි ඉතිං එක වගේ කුරුල්ලෝ වහන්නේ එක අත්තේ කියල මටම සෙට් වෙන යාළුවෝ දෙන්නෙක් හිටිය. උන් දෙන්නම මල්ලිලා. එක්කෙනෙක් තරිදු, අනික් පොර සම්පත්. සාමාන්‍යෙයන් ඔය නම් දෙකෙන් කතා කරන්නේ උදේට නම් ලකුණු කරනකොට විතරයි. අපි ඉතිං කතා කරන නම් පොඩි කාලේ උනත් වැඩිහිටියන්ට පමණයි නිසා නොකිය ඉන්නම්. උන් දෙන්න රෙද්දක් ඇදල පාරේ යන්න එපැයි.
හොස්ටල් එකේ කෑම දිව්‍ය ලෝකේ කැන්ටිමේවත් නැතුව ඇති. හාල් මැස්සෝ නැති හාල්මැස්සෝ හොදියි. පරිප්පු ඇට නැති පරිප්පු හොදියි. පොල් කුඩු සම්බෝලෙයි. දැන් ඉතිං මේවගේ රස වැඩි කමට අපේ දිව නහර පිනා ගිහින් තිබුනේ. හාව හද දකිනව වගේ ගෙදරින් ගෙනාව බත් එකක් එහෙම හම්බුනොත් බත් එකටත් හිතාගන්න බැරි වෙනව පොරට මොකද උනේ කියල. කඩෙන් කන්නත් ඉතිං ඒ කාලේ අතේ සතේ නෑනේ. සතේ තිබුනත් හොස්ටල් එකෙන් එලියට පනිනවා කියන්නේ ඉතිං ආය චීන මහා ප්‍රාකාරෙ කඩල බර්ලින් තාප්පෙන් පනිනව වගේ වැඩක්. දැලි පිහියෙන් කිරි කකා අතුරේ යන එක ලේසීයි කඩෙන් කනවට වඩා.
දවසක් ඉතිං හොස්ටල් එකේ කෑම කාලා අපේ දිව නහර පිනා පිනා පිනා ගිහිල්ල අන්තිම ටිකටම ගෙවිල ගියා. කඩෙන් කෑම වෙලක් නොකෑවොත් දැන් මලා කියන තත්වේ තමයි අපි හිටියේ. ඉතිං ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු කියල තීරණයක් අරගෙන් හොද හුස්මක් එහෙම අරගෙන් ඉදගෙන හිටිය තැනින් නැගිට්ට. නැගිටල ඉතිං මොනව කියල කරන්නද ආයම වාඩි වෙලා කල්පනා කරා මේකට කරන්න පුළුවන් දෙයක්. අපි දැන් වට මේසේ සාකච්චා වටයක් තියල තුන් දෙනාගේ අදහස් විසමනවා කඩෙන් කන්නේ කොහොමද කියල. (තුන් දෙනා කොහොමද වටේ වාඩිවෙන්නේ කියල එහෙම අහන්න එපා යකූ) මුලින්ම අපි බැලුව තියන සල්ලි ගාන. හම්මේ ටොෆි තුනක් කාල චුයින්ගම් එකක් සූප්පු කරනකොට ඒ සල්ලි ටික ඉවරයි. දැන් ප්‍රධානම ප්‍රශ්නය දෙවියන්ගේ මල්ලි හොයාගන්නේ කොහෙන්ද කියල. නිධානයක් හාරන්නවත් තැනක් හොස්ටල් එක අහල පහල තිබුනේ නෑ. අතමාරුවක් ඉල්ල ගන්න පොලී මුදලාලි කෙනෙකුත් හොස්ටල් එකේ නෑ. අනික ඉතිං අතමාරුවක් ඉල්ලගෙන ආය ගෙවන්න ඉතිං සල්ලි දුන්න එකාගේ රෙදි ටික තමයි හෝදල දෙන්න වෙන්නේ.  ඔහොම ඉතිං කල්පනා කර කර ඉන්නකොට ආව ටිංකිරි අදහසක්. අපි තුන්දෙනා තුං පැත්තකට බෙදිල ගියා.( ඒකාලේ ස්කූබි හිටියේ නැති උනාට අපි දන්නව බෙදිල යන්න හරිය) තුන් පැත්තකට බෙදිල ගිහින් උගුර පාදල ගාම්භීර හඩ අවදි කරල පපුව ඉස්සරහට දාලා, දන්න හැම දහංගැටයක් ම දාල හිගා කන්න පටන් ගත්ත. අපි ගත්ත ණයක් ගෙවන්න තියනව කියල හැම එකාගෙන්ම සතේ සතේ එකතු කරා. ඇත්තටම ඉතිනං සතේ සතේ කිවුවට වැරැද්දක් නෑ. උපරිමේ කියල ඔනිනම් මොකෙක් හරි රුපියල් පහක් දෙන්න ඇති. දැං ඉතිං සතේ සතේ එකතු කරල අපි පැයකින් විතර සෙට් උනා. අම්මට සිරි පාං ගෙඩි දෙකක් කාලා අර මං ඉස්සල්ල කියපු ටොෆි තුනයි චුයිංගමුත් කන්න සල්ලි ඉතුරු වෙනවා. දැන් එක වේලකට ගානත් සෙට්. ඊලගට තමයි අමාරුම වැඩේ. අමාරුයි කිවුවට අමාරුමත් නෑ. ඒක තමයි බය හිතෙන වැඩේ. මොකද හොස්ටල් එකෙන් පැනල හදිස්සියේ වත් මාට්ටු උනෝත් අපිව හම ගහල, ඒවගෙන් බෙර හදල, මස් ටික වේලල කරවල වලට අරගෙන, කටු ටික මිනී මෝරුන්ට දානවා(හොස්ටල් එක පහලින් තිබුන බදුලු ඔයේ මිනී මෝරු හිටිය ළමයි) හදිස්සියෙවත් කටුවක් වත් ඉතිරි උනොත්....ම්..ම්....ම්....ඒ ක එහෙමම තියෙන්න අරිනවා.
කොහොම හරි ඉතිං අහින්සක බඩ ගැන හිතල අවධානමක් ගන්න වෙනවනේ. අපි ඉතිං රෑ වෙනකල් ඇගිලි ගැන ගැන හිටියා. ටිකක් කළුවර වැටුනම හොර ගල් අහුළන ඉබ්බෝ වගේ අපි හිමින් හිමින් පාද තබා ගුරුපාරෙන් එගොඩ වෙලා වෙල් දෙනි පැන දෙවට දිගේ ටවුන් එක පැත්තට යන්න පටන් ගත්තා. පොඩි කැලේ පාරක් වගේ එකක් තිබුන හැංගිල ටවුන් එකට පැන ගන්න.සම්පත් මල්ලි, පොර කවුරු හරි අදුනගනී කියල කොහෙන්ද හොයාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන ඇවිත්. හැබැයි ඉතින් අඩි දෙක තුනක් යන්න කලින්ම ඌට ගෙනාට වගේ තේරුනා රෑට සන්ග්ලාස් දාන්නේ නෑ රෑට දන්නේ හනිමූන් ග්ලාස් කියල. ජීවිතේට හානි වෙන්න කලින් ඌ ඒ දෙක ගලවගත්ත. මැරුනත් යකෝ කඩෙන් පාන් කෑල්ලක් කාල මැරෙන්න ඕනිනේ. දැන් ඉතිං අපි ටවුන් එකට ඇවිත් හෙවනැලි වලට වැහි වැහී හොද කඩයක් බලල රිංගගත්තා. පානුත් ඕඩර් කරල හොදි එහෙම හොදට දාගෙන දොල දුක සන්සිදවගන්න හදනකොටම දැකපු දර්ශනේට හද සලිත වෙලා වත මිලින වෙලා කදුලින් දෑස තෙමිල ගියා. පොඩි චූ බරකුත් ආවා. හොස්ටල් බාර සර් තව මොකෙක් ද හිපාටුවෙක් එක්ක හොටෙල් එකට රිංගනවා. කිරි අප්පට විදුලි කොටන්නෙත් ඕනි නැති වෙලාවටමනේ. තව තප්පරයක් පරක්කු උනානම් අර අතට ගත්ත පාං කෑල්ල කටට දාගන්න තිබුනා. දැන් ඉතිං නයි කයිද රෝස් පාං කිවුවලු.  කරන්න දෙයක් නෑනේ අපි තුන්දෙනා හිමීට හොටෙල් එකේ කුස්සියට රිංග ගත්ත. දැං ඉතිං අලි මදිවට හරක්ද මොක්කුද කිවුවලු. කුස්සියේ ඉන්න උන් ටික කන්න වගේ අපි දිහා බලනවා. අපිව පාං වගේ පෙනුනද දන්නේ නෑනේ. කොහොමත් සර් කාරය අපිව කනවට වඩා කුස්සියේ ඉන්න අය අපිව කන එක හොදයි. අඩු ගානේ ගෙදරට යවන්න කටු ටික හරි ඉතුරු කරයි. සර් කාරයට මාට්ටු උනෝත් ගෙදර උන් ඇවිත් තමයි අපේ කටු සූප්පු කරන්නේ. දැන් ඉතිං කුස්සියේ සෙට් එකට කියන්න දේකුත් තියේනන එපැයි. මම ඉතිං උගුර හෙම පාදල. සබාවෙන් අවසර අරන් , අයියේ ටොයිලට් කියනකොටම තරිදුවා, අපි මෙතන හොස්ටල් එකේ ඉන්නේ පාං කන්න ඕනි වෙලා හොරෙන් අවා. දැන් හොස්ටල් බාර සර් ආව කන්න. කියල නන්ස්ටොප් කියවගෙන ගියා. මමයි සම්පතයයි ඇතුළු සමස්ථ කුස්සියේ සෙට් එකම අරූ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. කුස්සියේ අයියල සෙට් එකගේ මූනට හිනවක් එන කොටම ඒකට සමානුපාතිකවම අපේ ඇගට ලේ ටිකක් ඉනුව හොදේ. අපි තුන්දෙනා දැන් ඉතිං කුස්සේ මුල්ලකට වෙලා, මිනී මරල පොලිසියට මාට්ටු උන් වගේ පුල් සරනාගත මූඩ් එකක් දාගනෙ ඉන්නවා. අයියල සෙට් එකගේ අනුකම්පාව දොර ගලල අහවල් ඒවත් පිටාර ගලල අපිට කුස්සියේ හැංගිල අවසර දුන්නා. බලනකොට සර්කාරයයි යාළුවයි තපස්සු බල්ලුක වගේ ඉදගෙන උනුත් පාං කනවා. අපේ පාං ගෙඩි දෙක අපි නැතුව මේසේ උඩ වේලෙනවා. තරිදුව ආයෙත් අර අයියල පැත්තට හැරිල, අයියේ අපේ පාං අර මේසේ උඩ කිවුවා. ඌ ඒක කියපු විදිහට මට ඌව බදාගෙන අඩන්න හිතුනා. ඒ විතරක් නෙමෙයි අඩල ඉවර වෙලා මගේ මස් වලින් උගේ බඩ පුරවන්නත් හිතුනා. අනේ ඉතිං අර අයිය බබෙක් ගිහින් ඒ ටිකත් අපිට ගෙනත් දුන්නා. දැන් සර් කාරය ඉස්සරහ කනවා. අපි කුස්සියෙ කනවා.
අපි දැන් කාල ඉවර වෙලා බලනකොටත් සර් කාරය කනවා. උට යන්න හිතක් ඇත්තෙම නැද්ද කොහෙද. අපේ පපුව ඩෝං ඩෝං ගාල ගැහෙන සද්දෙත් ඌට ඇහෙන්න ඇති. දැං ඉතිං කමක් නෑ පාං කාලනේ ගුටි කන්නේ කියල අපි හිත හදාගෙන ඉන්නවා. අප්පට සිරි, ගිනියම් අවුවේ මහ වරුසාවේ නෙමෙයි දෙයියෝ වැඩ ඉන්නේ කුස්සියේ කියල කුස්සියේ අයියල සෙට් එක අපි තුන් දෙනාට ප්ලේන්ටිත් හදල දුන්න. කුස්සියටම ආපු මිනිහෙක්ට තේ එකක් නොදී යවන එක හරි නෑනේ කියල අයියල ටිකට හිතෙන්න ඇති. අපිටත් ඉතිං දුන්න තේ එක නොබී ගියොත් අයියලගෙත් හිතට හරි නෑනේ කියල පැනල තේ ටිකත් බිවුවා. දැන් ඉතිං බිල කීයද දන්නේ නෑ කියල හිමීට අහිංසක පාට් එකේ ඇහුව බිල කීයද කියල. අනේ ඉතිං අර අයියලගේ කටේ පාං ඔබන්න හිතුනා. සල්ලි ඔනි නෑ මල්ලි යන්න පරිස්සමින් කිවුවා. පාං දාන්න පාං ඉතුරු වෙලා තිබුනේ නැති නිසා අපි මොකුත් කටේ නොදා හිටියා. සල්ලි ඉල්ලුවන්ම් ඉතිං අපි කැටේ කැඩුව වගේ අරන් ආව ඔක්කොම ටික ගනන් නොකරම අයියලගේ අතේ තියනවා. කාසි සාක්කුවේ දාගෙන යද්දිත් සලං බලං ගානවනේ, හොර වැඩ කරන්නත් අමාරුයිනේ.
ආය ඔලුව දාල බලද්දි සර් කාරය ගිහින්. අපි තුන්දෙනත් ලැසි ගමනිනු සැදි මුව හසරැල්ලක් දාගෙන එලියට පැන්න. අර අයියල සෙට් එකට පින් දෙන්න අමතක කරෙත් නෑ. ඒ දුන්න පින් වල හැටියට උන් සෙට් එක ක්ෂණිකව නිවන් යන්න ඕනි. දැන් ඉතිං අපි හොටෙල් එකෙන් එලියට බැහැල අඩි දෙකක් එන්න නෑ මෙන්න යකෝ සර් කාරය හැරිල ආයම එනවා. බය වෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ මම අරුන් දෙන්නවත් ඇදගෙන එතන තිබුණ ෆෝන් බූත් එකක් ඇතුලට රිංග ගත්තා. තුන්දෙනා  ඩබල් දාල බොක්ස් එකක ෆිල්ම එකක් බලන්න ගියා වගේ දැන් ඉන්නවා.( මේ කාලේ වෙන කොට බොක්ස් වලට ගිහින් තියා අහල දැකල වත් නෑ හොදේ චී......පස්සේ කාලේ කියලත් ඉතින් වෙනසක් නෑ) සර් කාරය ආයම හොටෙල් එක ඇතුලට රිංගනකල් ඉදල අපි හිමීට එතනින් මාරු උනා. පොලොවටවත් දැනෙන් නැතුව හොස්ටල් එකෙන් ආව අපි කඩාගෙන බිදගෙන කුඩුපට්ටං පොඩි කරගෙන ආයෙත් හොස්ටල් එකට දිව්වා. හොස්ටල් එකේ තත්වේ ය. පරිදි තථා ආකාරයේන තියනවා. කාටවත් අපි නැති අඩුව දැනිල නෑ. කොහොම හරි ඉතිං එදා අපි සල්ලිත් ඉතුරු කරගෙන කඩෙනුත් කෑව ඕං.

මං රස්තියාදුකාරයා
Share:

3 comments:

  1. මරු හොදේ..තවත් ලස්සන කතා ඇතිනේ..දිගටම ලියන්න අයියේ..

    ReplyDelete
  2. මරු හොදේ..තවත් ලස්සන කතා ඇතිනේ..දිගටම ලියන්න අයියේ..

    ReplyDelete
  3. මරැ....
    මටත් මතකයි සිද්ධිය පස්සෙ දවසක අපෙ *පා කිව්වා රහ කර කර... ;-)

    ReplyDelete

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.