ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

සාදු සාදු සා............

ශිෂ්‍යත්ව විභාගේ පාස් වුන වැරැද්දට අපේ දෙන්නා දෙමහල්ලෝ මාව හිටපු ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට දැම්ම ඔන්න. ඒ ඉස්කෝලේ හොස්ටල් එකේ තමයි මම නතරවෙලා හිටියේ. ඒ ඉස්කෝලේ විශේෂත්වය වුනේ ගොඩක් කාලෙකට පස්සේ අපෙන් තමයි ඉස්කෝලෙ පටන් ගෙන තියෙන්න. ඒ කියන්නේ ඉතිං අපිට වඩා ලොක්කෝ හිටියේ නෑ ඉස්කෝලේ. අවුරුද්දක් වැඩිමල් අය හිටියට එකටම ඉස්කෝලෙට ගත්ත නිසා එයාලත් ලොක්කෝ නෙමෙයි. ඔහොම ඉතින් ඉස්කෝලෙ රස්තියාදු වෙවී ඉන්නකොට 8 වසරේ හරි 9 වසරෙදි හරි තමයි මේ සිද්ධිය වුනේ.
එදා ඉරිදා දවසක්, හොඳටම වැස්ස. මං ඉතිං එහෙම දවසට කරන්න පුළුවන් වැඩදායීම වැඩේ තෝරගෙන කරන්න පටන් ගත්ත. ඒ කියන්නේ මං උදේ ඉඳලම හොස්ටල් එකට වෙලා ඔලුවේ ඉඳන් පෙරවගෙන නිදාගත්ත. ඔහොම මං හීන දැක දැක ඉන්නකොට 10ට විතර මී හරක් රංචුවක් පැන්න වගේ මල්ලිලා සෙට් එකක් ඇඟට කඩන් පැන්න. මුං රොත්තම එක දිඟට කියවනවා කියවනවා මොකක්ද වරකා ගෙඩියක් ගැන, නිදිමරගාතේ මට මොකුත් තේරෙන්නේ නෑ. මං ඉතිං ආයම ඔළුවෙන් පෙරවගෙන නිදාගත්ත. හරි යන්නෑ. මුං මට නිදාගන්න දෙන්නෙම නෑ. මං ඉතිං නැඟිටල ඇ‍ඳ්‍ෙ ඉඳගෙන සාවදානව පොඩ්ඩක් කතාව ඇහුව. දැන් ඉතිං එක එක්කෙනා කියනවා,
“අද උදේ කඩලනෙ තිබුනෙ අයියෙ කන්න''
තව එකෙක් කියනවා,
“ඒව කන්නත් බෑ''
“බඩගිනී අනේ හොඳටම''
මං ඉතිං තේරෙන දෙමලෙන් කිව්වා බඩගිනි නම් මාව මරාගෙන කන්න හදන්නේ නැතුව වෙන මොනාහරි හොයාගෙන කන්න කියල. මුං නෙමෙයි අහන්නෙෙ. ආයම කියවනවා,
“කඩල තැම්බිලා තිබුනෙත් නෑනේ ''
මං නිකං කඩල හදපු පොර වගේ මුං මාව වටකරගෙන කියවනවා,
“පොල් තිබුනෙත් කුඩුනේ, ඊයෙ ගාපුවද කොහෙද''
මුං වැඩේ අතාරින්නෙම නැති නිසා මං කිව්වා බටර් ගාන්නේ නැතුව පාං කෑල්ල අතටම දෙනවකෝ කියල. එතකොටම සේරම ටික පැනල කියනවා පාං නෙමෙයිලු “වරකා''ලු.
ඉස්කෝලේ කොහෙද තියන ගහක වරක ගෙඩියක් තියනවලු, මුං සෙට් එකට එ්ක කඩාගන්න ඕනි වෙලා. ඉතිං මම සත්‍ය ගරුක පුද්ගලයෙක් විදිහට කිවුවා මට ගස් නඟින්න බෑ කියල. එතකොට කියනවා ගස් නඟින්න ඕනි නැතිලු ලඟට වෙලා හිටියම ඇතිලු. මට එතකොට තමයි තේරුනේ මුංට මාව ඕනි  මට වරකා කවන්න තියන ආදරේට නෙමෙයි සර් කෙනෙක්වත් මාට්ටු වුනොත් ගුටි කන්න අයියෙක් ඉන්න නිසා කියල.
කමක්නෑ යමුකො කියල බේරෙන්නම බැරිතැන මම කුඩේකුත් අරගෙන කට්ටියත් එක්ක ගියා. උන් ටික තෙමි තෙමී යනව කුඩයක්වත් නෑ ඉතිං. මගේ කුඩේ අස්සටත් 8ක් විතර දාන්න බෑනේ. අනික මං අසාධාරණ වැඩ වලටත් අකමැති නිසා සර්ව සාධාරණ විධිහට මං විතරක් කුඩෙන් ගියා. ගිහින් ගහ තියන විධිහ දැක්කම මගේ ඇස් දෙක උඩ ගියා. හද්දෙයියනෙන් ගහ තියෙන්නේ ලොකු බෑවුමක, වැටුනොත් එහෙම අඩි ගානක් පහලට. මල ගෙදරට එන අයට තමයි වරකා කන්න දෙන්න වෙන්නේ.
මං කට්ටියට කිවුවා වරකා ඕනි නෑ යමු කියල. මුං ටික ඇහුනේ නෑ වගේ වැඩේට සෙට් වෙනවා. මාත් ඉතිං කුඩේ අල්ලගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. හොඳට ඇඟ තියන හයේ හතරෙ මල්ලි කෙනෙක් කමිසෙ එහෙම ගලවල දෙයියනේ කියල ගහට වැඳල එහෙම නඟින්න පටන්ගත්ත. මං හිතන්නනේ මතක ඇති කාලෙක අම්මටවත් ඒ විදිහට වැඳල නැතුව ඇති.
වැස්ස නිසා ගහත් හොඳටම ලිස්සනවා. කොහෙම හරි මල්ලි වරකා ගෙඩිය ලඟටම ගිහිං නැට්ටෙන් ගෙඩිය කඩා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ගෙඩිය බිමට වැටුනොත් එහෙම කොස් ඇටයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.ලොකු බෑවුමක්නේ. ඒ අස්සෙ පහල ඉන්න මල්ලි කෙනෙක් දොහොත් මුදුන් දීල වැඳගෙන “ඉතිභිසෝ භගවා“ කියනවා. ගහට නැඟපු මල්ලිත් ඉතිං දැං බුද්ධ ආශිර්වාදෙත් එක්ක වරකා ගෙඩියත් අතේම තියාගෙන හිමීට ගහෙන් බිමට බහිනවා. මල්ලි පරිස්සමට බිමට අඩිය තියනවත් එක්කම මං දැක්ක හොස්ටල් භාර සර් එනවා. කකුල් දෙකට වැඳල දුවන්න හදනවත් එක්කම
“එකෙක්වත් හෙලවෙන්න එපා''
ගංජා හේනකට පොලිසියෙන් පැන්න වගේ. මාත් ඉතිං කුඩෙත් අල්ලගෙන හිටි පිළිමේ වගේ හිටිය. ගුරුවරයෙක් කියපු දෙයක් අහන්න එපැයි. ඉතිං කොහෙමද හෙලවෙන්නේ. මං දැක්කා ගහට ගියපු මල්ලිත් වරක ගෙඩිය තුරුල් කරගෙන නිසොල්මනේ ඉන්නවා. අනිත් ටිකත් දැං තක්බීරි වෙලා බලාගෙන ඉන්නවා.
සර් මුලින්ම වරකා ගෙඩිය දිහා බලලා මල්ලිලා දිහාත් හොඳට බලල, මගේ දෙපතුලේ සිට ඔලු ගෙඩිය දක්වාම සෑහෙන උවමනාවෙන් බැලුව. වැඩි පුර වෙලාවක් ඔලුව දිහා බලන් හිටිය වගේ මට හිතුන. මුට මොලයක් තියනවද දන්නෑ කියල බැලුවද දන්නෑනේ. මං මොකුත් දන්නේ නැති අහින්සකය වගේ කුඩෙන් වැටෙන වතුර බිංදු දිහා බලාගෙන හිටිය. මෙච්චර වෙලානම් වැස්ස විතරයි තිබුනේ, මට තේරුනා තව ටිකකින් හෙන පුපුරන්නත් පටන් ගන්නවා කියලා. හිතල හිත ගන්න උනේ නෑ හෙන ගහන්න පටන් ගත්ත.
“තමුසෙලා මේ වැස්ස වෙලාවේ බෙලි කඩාගන්න හදනවාද?. කන්න නෑ වගේ හරියට... ............ ........ !!!! ......????...../...... ........//.....මොලේ තියෙන්නෙ මැටිද අයිසේ...........!!!!!!!!..........................................!!!!!!.....................................වරකා නෙමෙයි තොපිට කවන්න ඕනි....................///// අනේ මගේ කට................''.
දැන් නවතී, දැන් නවතී කියල මම බලන් හිටිය. අනේ ඉතිං මල්ලිලා ටිකගේ දොල දුකනම් දැන් ගිහින් ඇති කියල හිතිල මට හිනායන්නත් එනවා. බැනල බැනල අන්තිමට සර් බනින්න පුළුවන් වචන ඔක්කොම ඉවර කරගත්ත. ආය වචන නැති නිසා සර් නවත්ත ගත්ත.  ඊට පස්සේ එක සැරේම
“ඔහොම පොඩ්ඩක් ඉන්නවා එකෙක්වත් කොහෙවත් යන්නෙ නෑ''
කියල සර් ගියා හොස්ටල් පැත්තට. සර් ගිය ගමන්ම මම ආයෙත් අරුන් ටිකට දෙහි කැපුව අහිංසක විදිහට නිදාගෙන හිටපු මාව එක්කන් ආවට වරක ගෙඩියක් පස්සේ.
සර් එන්න ටික ටික පරක්කු වෙනකොට කට්කටිය තෙමි තෙමීම එක එක අදහස් දක්වනවා. එකෙක් කියනවා සර් ලුනු ටිකක් ගේන්න යන්න ඇති කියල. තවත් එකෙක් කියනවා නෑ පිහියක් ගේන්න යන්න ඇති කියල. ඒකමතික තීරණයකට එන්න බැරුව එතන ආයෙක්  ගෝරි. එහොම ඉන්නකොට සර් ආව. තෙමිචිච කුකුල් කූඩුවකට නරියෙක් රිංගනවා වගේ එක එකා එක එකාට වැහි වැහී ඉන්නවා දැං.
“හැදෙනවා ඔක්කොම පෝලිමක්''
අපි ඉතිං සුවච කීකරු ගොලයෝ වගේ පෝලිමක් හැදුන.
“ගහේ නැඟපු එකා මුලටම යනවා, වරක ගෙඩිය ගන්නවා ඔලුවට''
සර් කියනවා, කියන පමාව විතරයි අපි කරනවා. ගහට නැඟපු මල්ලි, මැණිකෙ කෙනෙක් කුඹුරට කෑම අරන් යනවා වගේ වරකා ගෙඩිය ඔළුවට ගත්ත. දීකිරි දීකිරි කියල ඒ සිංදුවේ දීකිරි මුට්ටිය අරගෙන ගියෙත් මෙහෙමම තමයි. අපි දැන් පොලිමට ඉන්නවා.
“තමුසෙ මොකද ඔය කුඩයක් අරන් ඉන්නේ ආ... සුද්දෙක් ද?''
මං වට පිට බැලුව. මං ඇරුණම කුඩයක් අරන් ඉන්නේ සර් විතරයි. සර් එයාටම බැනගන්නවා වෙන්න බෑනේ මං ටක්ගාල කුඩේ අකුලල සර්ටම දුන්න.
“තමුසෙ  එනවා දෙවනියට, මෙතන ලොක්ක තමුසෙනේ'' 
මං ඉතිං මල්ලිලාගෙ වැදූ දෙමව්පියන්ට පිං පෙත් අනුමෝදන් කර කරම පෝලිමේ දෙවනියට ගියා.
“හා... ඔක්කොමල සාදු කියන්න පටන් ගන්නවා'' 
ඊට පස්සේ තමයි තේරුනේ මැණිකේ කෑම අරන් යනවා නෙමෙයි මේ හදන්න‍ෙ පන්සලට දානේ අරන් යන්න කියල.
“පෝලිමට දැන් යමු රීඩිං රූම් එකට'' 
දැං ඉතිං අපි වරකා ගෙඩිය ඔළුවේ තියාගත්ත මල්ලි පස්සෙන් “සාදු සාදු සා.....කිය කිය යනවා. අවුල තියෙන්නේ රීඩිං රූම් එකට යන්න තියෙන්නේ ගැණු ළමයින්ගෙ හොස්ටල් එක ඉස්සහරහින්. අපි යනකොට කට්ටිය ජනේල් වල එල්ලිලා බලන් ඉදී කියල හිත හිතා බිම බලාගෙන හාමුදුරුවෝ දනට වඩිනවා වගේ අපි යනවා. ගර්ල්ස් හොස්ටල් එක ලං වෙලකොට තමයි තේරුනේ ජනෙල් වල එල්ලිලා බලන්න එක ගෑණු ළමයෙක් වත් හොස්ටල් එක ඇතුලේ නෑ කියල. සර් ඒ ඔක්කොටම එලියට එන්න කියල. සර්ගෙ මොළේ තමයි මොළේ. පුදුම වෙන්න දෙයක් නෑනෙ, සර් කෙනෙක්නෛ්. ගෑණු ළමයි කුඩ අරගෙන අපි යන පාරේ දෙපැත්තට වෙලා ඉන්නවා. ගෑණු ළමයි ඉවර වෙන තැන ඉදළ පිරිමි ළමයි.
මං හිතාගෙන හිටිය එක ආයෙත් පාරක් වෙනස් කරගත්ත. මේක නිකන් පන්සලට දානේ අරන් යෑමනක් නෙමෙයි, මෙක දානේ අරන් යන පෙරහැරක්. අපිට දැන් නරඹන්නොත් ඉන්නවා. විලිලැජ්ජාව කියල එකක් තිබුනනම් එකත් අතට අරගෙන හොඳට වැඳගෙන අර මහ සෙනඟ මැද්දෙන් අපි යනවා. නිකන් නෙමෙයි සාධු කිය කියා. උන්ට මොකද, උන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා. අපේ රටේ මිනිස්සු ඔහොමම තමයි. කාට හරි කරදරයක් වෙනකොට හිනාවෙන්න නම් දන්නවා.
කොහෙමින් කොහෙම හරි අපේ වරකා පෙරහැර ශාන්ත ගමනින් රීඩිං රූම් එකට ආව. අපි නිසා ඒකත් හොඳටම තෙමිල. අනිවාර්යෙන්ම මෙක සුද්ද කරන වැඩෙත් අපිටම සෙට් වෙනවා කියල හිතනකොටම සර් කිවුවා,
“දැං කඩා ගන්නවා ඔය වරක ගෙඩිය, කැඩුවේ කන්නනේ''
අපි ඉතිං වරක ගෙඩිය නොකා බිම බලාගෙන හිනා වෙවී ඉන්නවා.
“තමුසෙලා මගෙන් කනවද? වරක කනවද?''
ආය ඉතිං වෙන ආරාධනා ඕනි වුනේ නෑ අපිට වරක ගෙඩිය කන්න. සර් ඒ අස්සේ මැඳින ඇඩ් කෑලි දානවා.
“කෑව මදුළු වල ඇට විසි කරන්නේ එහෙම නෑ ලඟ තියාගන්නවා''
 මේ අස්සේ වරක කඩන්න අාපු නැති මල්ලි කෙනෙක් සර් මාත් කන්නම් ද? ඇහුව. සර් කිවුව කනවා හැබැයි ඇට ටික තියාගන්නවා කියල.
සර්ට මෙච්චරටම ඇට ඕනි පැල කරන්න වෙන්න ඇති කියල හිතාගෙන අපිත් මදුළු කකා ඇට එකතු කරා. අනේ මං මදුළු 12ක් විතර කද්දි වරක ගෙඩිය ඉවරයි. පස්සේ වරක කන්න සෙට් වුන මල්ලි 20 ක් විතර කාලා. අපි ඔක්කොම උට හිතිං බැන බැන කොස් ඇට ටිකත් අතේ තියාගෙන සර් ඉස්සරහ හිටගෙන ඉන්නවා.
“ගනන් කරනවල''
ඊට පස්සේ තමයි සර් භයානකම කතාව කිවුවේ. ගිහිං එක එක්කේනා නංචි පොලු පහ ගානේ අරන් එන්න කියල. අනේ ඉතිං ගුරු සිත නොරිදවා කියල අපි ගිහිං නංචි කෝටු හොයාගෙන ආවා. අපේ වෙලාවට ඒ වෙනකොට ගෑණු ළමයි හොස්ටල් වලට ගිහින්. ඊට පස්සේ තමයි සර් සරඹ සංදර්ශනේ පටන් ගත්තේ. අපි ගනන් කරපු ඇට ගාන දෙකෙන් ගුණ කරල කියන්න කිවුවා. මට ජීවිතේ පළවෙනි වතාවට දෙවරක් චක්කරේ අමතක උනා. මගේ ගාන 24 යි. අම්මේ නංචි පොලු හතරක් පහක් එකට තියල ගුටි 24ක් කද්දි හොඳ ගනං. පස්සේ කන්න සෙට් වුන මල්ලිට දෙකෙන් බෙදල ගැහුවා. ගහන අස්සේ පොර කියනවා
“කමක් නෑ වරක කෑවනේ''
කියල. අම්මප උෟටනම් අහේනියද කොහෙද. කොහොම හරි එදා රැ නිදාගන්න වුනේ මුනින්තලාවට. සර් අනිත් පැත්තේ මතක සටහන් තිබ්බනේ . ඒ හොදම වැඩේ වුනේ පහුවදා. මොකද ඊලග දවසේ අපි ඉස්කෝලෙ යද්දි වෙන්න ඔනි ඔක්කොම වෙලා ඉවරයි. ගුරුවරු, ළමයි විතරක් නෙමෙයි ඉස්කෝලෙ හිටපු බල්ලෝ පූසෝ පවා දැනගෙන අපි වරකා කාල ගුටි කෑව කියල. උනුත් අපිට නක්කලේට හිනා වුනා....

මං රස්තියාදුකාරයා 

Share:

10 comments:

  1. මා ගේ කල් යවන මිත්‍රයාණෙනි, මේ සටහන කියවන විට මට අවංක ව ම හිතුණ පළමු කරුණ තමයි ඔබ මීට කලින් ලියන්නට පටන් ගත යුතු ව තිබුණු බව. එතරම් හාස්‍යාත්මක ගතියක් නැති දෙයක් වුවත් කියවන්නාට ඉළ ඇදෙන්න හිනා යන විදියට කීමේ හපන්කම ඔබට තියෙනවා. ඔබේ වචන තෝරා-ගැනීම් විශිෂ්ට යි. බොහෝ තැන්වල භාෂා රීතිය උත්ප්‍රාසයෙන් යුක්ත යි. මේ එහෙම තැන් කිහිපයක්:

    //ශිෂ්‍යත්ව විභාගේ පාස් වුන වැරැද්දට අපේ දෙන්නා දෙමහල්ලෝ මාව හිටපු ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට දැම්ම//
    //මං ඉතිං තේරෙන දෙමලෙන් කිව්වා බඩගිනි නම් මාව මරාගෙන කන්න හදන්නේ නැතුව වෙන මොනාහරි හොයාගෙන කන්න කියල.//
    //ඉතිං මම සත්‍ය ගරුක පුද්ගලයෙක් විදිහට කිවුවා මට ගස් නඟින්න බෑ කියල.//
    //මෙච්චර වෙලානම් වැස්ස විතරයි තිබුනේ, මට තේරුනා තව ටිකකින් හෙන පුපුරන්නත් පටන් ගන්නවා කියලා.//
    //ගහට නැඟපු මල්ලි, මැණිකෙ කෙනෙක් කුඹුරට කෑම අරන් යනවා වගේ වරකා ගෙඩිය ඔළුවට ගත්ත. දීකිරි දීකිරි කියල ඒ සිංදුවේ දීකිරි මුට්ටිය අරගෙන ගියෙත් මෙහෙමම තමයි.//
    //අනේ ඉතිං ගුරු සිත නොරිදවා කියල අපි ගිහිං නංචි කෝටු හොයාගෙන ආවා.//
    //ඊට පස්සේ තමයි සර් සරඹ සංදර්ශනේ පටන් ගත්තේ.//
    //කොහොම හරි එදා රැ නිදාගන්න වුනේ මුනින්තලාවට. සර් අනිත් පැත්තේ මතක සටහන් තිබ්බනේ.//

    මේවා දකින විට මට මතක් වුණේ කලකට කලින් සිළුමිණට 'බුවා ලන්තයේ සිට' යන නමින් සමාජ ප්‍රහසන කතාවක් ලියූ තිස්ස කුමාර කරුණාසේකර හා කලකට කලින් දිවයිනට 'අමුතු මිනිස්සු' යන නමින් ඒ වගේ ම ප්‍රහසන කතා පෙළක් ලියූ නිහාල් ජගත්චන්ද්‍ර. ඔබ ඔවුන් ගේ ආභාසයක් ලබා තිබේ දැ යි මා දන්නේ නැහැ. හැකි නම් ඒ අය ගේ නිර්මාණ හොයාගෙන කියවා බලන්න. මා කීවේ ඇත්තක් බව පෙනේවි.

    මේ කතාවේ අවසානය නම් මීට වඩා නිර්මාණශීලී ලෙස ලියන්න තුබුණු බව යි මගේ හැඟීම. එක පාරට ම පොල්ලෙන් ගැහුවා වගේ අවසන් කළ එක නරක යි.

    දිගට ම ලියපන්, මචං. කිසි ම හේතුවක් නිසා නවත්වන්න එපා.
    සුබ පතමි.

    ReplyDelete
  2. රන්දුල. ගොඩක් ස්තූතියි අදහස් වලට. තිස්ස කුමාර කරණාසේකර හා නිහාල් ජගත්චන්ද්‍ර මහතුන්ගේ අභාෂයනම් මා ලබල නෑ. නමුත් ඔවුන්ගේ නිර්මාණ ඉදිරියට පරිශීලනය කරාවි. ඉතිං පුතේ සර් තඩි නංචි පොලු වලින් ගහල නේන්නම් මේ කතාව ඉවර උනේ..ඉස්සරහට ලියන ඒවගේ අවසානය පොලු පාරක් නොවෙන්න බලාගන්නම්කො. ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  3. කතාව නම් හොඳයි සහෝ.ඒත් මට හිතුන මේක මෙතනින් පටන් ගන්නැතුව තව ටිකක් මුලින් පටන් ගත්තනම් හොඳයි කියල.මීටත් එහා පොඩි කාලෙන්,,
    කොල්ලෙක්ගෙ ජීවිතේ කොහොමත් රහ කෑලී සෑහෙන්න තියනවනෙ.
    ඒත් මෙහෙම තව කෙනෙක්ට ඒක විඳින්න නම් කස්ටිය සෙට් වෙලා වීරක්‍රියා කතා කරන වෙලාවක් එන්න ඕන.ඒත් ඉතින් දැන් උන්ට එහෙම වෙලාවල් තියා මෙහෙම ජීවිතවත් තියනවද මන්දා.ඒ නිසා මෙහෙම දේකින් ගන්ඩ දේවල් තියෙයි ගොඩක් අයට.
    හැබැයි පොඩි දේකුත් කියාගෙනම කැපෙන්නම්කො
    කොහෙද යකෝ මැණිකෙ කුඹුරට කෑම ගෙනියන්නෙ ,, ඇඹුල මිසක්. ;)

    ReplyDelete
  4. අහ් මේ මගේ සහෝදරයා. මේහෙම ලියන්න මට ආරාධනා කරෙත් එහෙම ජීවිතයක් මිස් වුන පොරක් තමයි. පොඩි කාලෙනම් රසකතා ගොඩත් තියනවා. බලමුකෝ ඉස්සරහට. ඇඹුල් කන්නෙ කොහොමද අප්පා අව්වේ ඉඳල. ඒක නිසා අපෙ මැණිකෙට කිවුවා කෑම ගේන්න කියල.

    ReplyDelete
  5. පට්ට...ඉදිරියටත් ලියන්න සුබ පතනවා..!!!

    ReplyDelete
  6. බොහොම ස්තූතියි. අනිවාර්යෙන් ඉදිරියටත් රස්තියාදුගහන්න පුළුවන් වෙනවා.

    ReplyDelete
  7. සහෝදරයා, ඒ වරකා කතාවට මමත් සම්බන්ධයි මයෙ හිතේ... අයියල මල්ලිලා සැට් එක සාධුකාරයක් දීගෙන එනකොට දෙපැත්තේ ඉදගෙන තරගෙට හු තල තලා හිනා උන සැට් එකේ මාත් හිටියා ඕo...!!! ඒ කාලේ සිද්ද වෙච්චි දේවල් කෝම අමතක කරන්න ද... රීඩින් රූම්, ඩෝම් දෙක, වතුර නැතුව ඔයේ ගිහිල්ලා පිස්සු කෙලාපු එව්වා, etc... ඒ කාලේ උනු සුන්දර, ත්‍රාසජනක දේවල් කොච්චර නම් ලියන්න ඇහැකිද... චන්දිමාල් සහෝදරයාගේ සංගීතමය හා අධ්‍යාපනික දක්ෂතාවන් පිළිබඳව විතරයි මට අවබෝධයක් තිබ්බේ. ස්පෙෂලි මියුසික් සයිඩ් එක. නමුත් ලිවීමේ හපනෙක් කියල දැනගත්තේ මේ බ්ලොගය දැක්කට පස්සේ තමා... තරහ අවසර, අපේ නයනේ අයියටත් වඩා දක්ෂයෙක් බවයි මටනම් හැගෙන්නේ... පාසල් ජීවිතේම තව කොච්චර දේවල් නම් තියෙනවද ලියන්න. ඒක නිසා තවත් වැඩි වැඩියෙන් හොදට ලියන්න දිරි බල වාසනාව ඔබට ලැබේවා කීල ප්‍රර්ථනා කොරනවා ඕo...!!! එහෙනම් රස්තියාදුවට ජය වේවා...!!!!!
    ~මo සුපුන් මල්ලි~
    ඒම කිව්වට වඩා මේම කිව්වම තමා පාසලේ ඈයෝ මාව දන්නේ ~(මීමා මල්ලි)~

    ReplyDelete
  8. හනේ මීමෝ.. ඒ කාලෙ හරි ජොලිනෙ බං. ආය ඉතිං කොහෙද ඒ වගේ කාලයක්. මෙහෙම හරි ඒ කාලෙට ගිහිං පොඩ්ඩක් ආතල් එකේ ඉදල එන්න ට්‍රයි එකක් දැම්මේ. තැන්ස් මලේ

    ReplyDelete
  9. මගේ ලයිෆ් ස්ටෝරිය පිළිවෙලට නෙමෙ එන්නේ මලේ

    ReplyDelete
  10. මම කවදාවත් නොදැකපු දිනේශ අයියා. මම දැකල තියෙන්නෙ මියුසික් රූම් එකෙ විතරයි ..මේකනම් මරු ලිවිල්ලක්...

    ReplyDelete

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.