ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

"ඔවු සර්... ඕකව හදන්න බෑ"

මේ සිද්ධිය වෙනකොට මම හොස්ටල් එකෙන් අයින් වෙලා බොඩිමක නතර වෙලා හිටියේ. හොස්ටල් එකේ වේවා බොඩිමේ වෙවා මොන දිව්‍ය ලෝකෙ හිටියත් උදේට නැගිටල ඉස්කෝලෙ යනව කියන්නේ මරල ඉවර වෙලා ආයෙත් මරනවා වගේ වැඩක්. ඒ කාලේ අපේ ප්‍රින්සිපල් සර්ට තියන ගෞරවේට නොකිය හිටියට අම්මප මරනවා කිව්වත් දැන්නම් මේක කියනවා. ඉස්කෝලෙ උදේ රැස්වීම කියන්නේ මහ එපා කරපු වැඩසටහනක් අප්පා. පෝලිම් වලට යන්නයි උසේ පිළිවෙලට ඉන්නයි කොන්ඩෙ ලස්සනට රොද තියල පැත්තකට පීරන්නයි වැඩ කෝටියයිනේ. හදිස්සියට හොයාගෙන දාගෙන එන සපත්තු දෙකේ දූවිලි පිහිදන්නෙත් පෝලිමට ඇවිත්නෙ.
 මේ හැමදේටම වැඩියෙන් මං උදේ රැස්වීමේ අකමැතිම දේ තමයි රැස්වීම ඉවර වෙලා ගුරුවරු ඉස්සරහින් පෝලිමට යන එක. මොකද ඔය පෝලිමේ යනකොට වැදගත් ළමයි එක්කෙනා දෙන්නා සර්ලා තියාගන්නවා. ඒ ඉතිං වැරැද්දකටම නෙමෙයි, වැඩි ආදරේටනේ. මොකද වැරදි කරන ළමයින්ට ගුරුවරු ගොඩක් ආදරෙයි කියල මං අහල තියනවා. ඉතිං දෙයියනේ කියල මටනම් කවදාවත් රැස්වීම ඉවර වෙලා පංතියට යන පෝලිමේ පංතියටනම් යන්න ලැබිල නෑ. මොකද ඒ තරම් ගුරුවරු මට ආදරෙයි. අර හංසයා දියෙන් කිරි වෙන් කරල ගන්නවා වගේ කවුරු හරි සර් කෙනෙක් මාව පෝලිමෙන් එලියට ගන්නවා.ඇත්තටම ඉතිං කොච්චර හොදට පිළිවෙලට ඇන්ඳත් මොකක් හරි අඩුවක් මගේ තියනවමනේ. 
පෝලිමේ යද්දි මාව කවුරුත් එලියට ගත්තේ නැත්නම් අනේ මගේ හිතට හරි නෑ වගේ. එහෙම දවසක් ආවොත් මම ස්වේච්චාවෙන්ම පොලිමෙන් අයින් වෙලා යනවා.ඇයි අප්පා අපේ වැරදි තියන ඒවා හදාගන්න එපැයි. සර්ලට ඒවා පේන්නෙ නැත්තම් පෙන්නලා දෙන එක අපේ යුතු කමනේ. ඒ තරමට ඒ දවස්වල මගේ වකුගඩුව හොඳයි. අහ් ඒකත් වැරදි වචනයක් කියල පෝලිමෙන් එලියට ගත්ත දවසක තමයි සර් කෙනෙක් කියල දුන්නේ. ඒකට කියන්නේ හෘද සාක්ෂිය කියලලු. දැක්කනේ ඒ පෝලිමෙන් එලියට ගියේ නැත්නම් කවදාවත් මට ඒ වැරැද්ද හදා ගන්න වෙන්නේ නෑනේ.
අද මං මේ ලියන්න පටන් ගත්තේ පෝලිමක් ගැන කියන්න නෙමෙයි. හොද රස්තියාදුවක් ගැන කියන්න. පෝලිමේ කතාවක් අැදල ගත්තේ මේකයි, හැමදාම මාව මොකක් හරි වැරැද්දකට පෝලිමෙන් එලියට ගන්න සර් කෙනෙක් හිටිය. අනේ ඒ රත්තරන් සර්ට උදේට මාව දැක්කේ නැත්තම් කෑවේ නෑ වගේ. ඒ තරම් සර්ට මාව සිරියාවන්තයි. සර්ම තමයි කිවුවේ එහෙම. ඉතිං ඒ සර්ට මාව හොඳට නෝට්. ඒ නිසාම මටත් සර් නෝට්.
දවසක්  මං ‍‍පෝලිි‍මේ යද්දි සර් මං දිහා බලල හොඳට හිනා වුනා. මටත් ඉතිං හරී සංතෝසයි. මාත් ඉතිං ලස්සන හිනාවක් දාලා පෝලිමෙන් එලියට එන්න හැදුවා. අනේ මගේ හිත හෝස් ගාලා පත්තු වුනා. සර් මාව පෝලිමෙන් එලියට ගත්තේ නෑනේ!!!!. ( ඒ වුනාට මං ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා හොඳ‍ේ). සර් මට එහෙම වෙනස්කමක් කරපු එක මට තදටම හිතට වැදුනා. ඒ නිසා මට හිතුන සර්ටත් මොකක් හරි වෙනස් කමක් කරන්න ඕනිමයි කියල.
ඉතිං මං දහ අතේ කල්පනා කරා, විසි අතේ කල්පනා කරා. කල්පනා කරන්න ඕනිම නිසා ඉංග්‍රීසි පීරියඩ් එකත් කට් කරගෙනම කල්පනා කරා. අදහසක් ආවෙන නෑ. ඉතිං මං විවේක වෙලාවේ මගේ ගැටළුව සමස්ත පුරුෂ ප්‍රජාවටම ඉදිරිපත් කළා. ලොකුවට කිවුවට සමස්තයටම නෙමෙයි ඉතිං, මාත් එක්ක එකට ඉන්න මගේ අතිජාත මිත්‍රයෝ ටිකට. කොහොමත් සමස්ත ප්‍රජාවටම කිවුවොත් ඉතිං බුද්ධි අංශ ඔස්සේ රහස් තොරතුරු ඉහලට යනවනේ.
කොහෙම හරි ඉතිං විවිධාකාර මත ගැටුම් ඔස්සේ ගැඹුරු, ප්‍රචන්ඩ සාකච්චාවකට පස්සේ බහුතර කැමැත්තට ඉඩ දීල මම තීරණය කරා සර්ගේ පීරියඩ් එකේ ගුරු පුටුවෙ හුනු ගානවා කියල. ඒක හොඳ සැලැස්මක් කියල තීරණය කරේ අපේ ගෞරවනීය ගුරුතුමා අඳින කලු කලිසම නිසාම නෙමෙයි. අපේ පංතියේ බ්ලැක් බෝඩ් එකක් නොතිබුන නිසා. මොකද අපේ පංතියේ වයිට් බෝඩ් එකක් තියන නිසා වැඩේ මාට්ටු උනත් අපේ පංතියට අවුලක් වෙන්නේ නැති නිසා. අපේ පංතියට දාල තිබුන නම “රෝස්'' ඒ වගේම තමයි හිටපු ළමයිනුත් මල් වගේ.
දැං සර්ගේ පීරියඩ් එක ලංවීගෙන එනවා. අඩුවකට තිබුනේ බෝඩ් එක මකන හුනු කොට්ටෙකුයි අපේ ගුරුතුමයි විතරයි. මොකද ගුරු පුටවයි මායි සැදී පැහැදී ඉන්නවනේ මිෂන් එකට. ඒනිසා මං බුක් ගාල ගිහිං පහල පංතියකින් හුනු හොඳට ගාපු හුනු කොට්ටයක් ගෙනාවා. දැං ඉතිං අපේ පංතියේ ඉන්න බහුතරයක් අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොරෙන් මේක ගාන්නත් එපැයි. ඉතිං මං ගැහෙන හදින් යුත්තව සෙමෙන් සෙමෙන් පාද තබා ගුරු පුටුව ගාවට ගියා ඔන්න. හදවත ඩෝං ඩෝං ගාන්නෙ බයකට එහෙම නෙමෙටයි, මං ඉපදුන දවසෙ ඉදල ඉතිං හදවත කරන්න දන්නේ ඔච්චරයිනේ.
දැං ඔන්න මං ගුරු ගෞරවය හිතට අරගෙන දෙයියො බුදුන් සිහි කරල සීරුවට වැඩේ පටන් ගත්ත. හරි පිංඅතේ වැඩක් නිසා පිළිවෙලට තියෙන්න එපැයි. ඒත් ඉතිං සාර්ථක විදිහට හුනු ගාන වැඩේ කරගෙන යද්දි අවසාන මොහොතෙ දෙයියො බුදුන් අහක බැලුවා. දෙයියො බුදුන් අහක බැලුවට නම් කමක් නෑ, පංතියෙ ඉන්න කට ටිකා....ක් විතර වැඩි, මට වඩා ටිකා....ක් විතර ගුරු ගෞරවේ තියන කෙල්ලෙක් මං දිහා බැලුවනේ.
“ ඒයි මොඩයෝ......''
මං ඔළුව උස්සල එඩිතර සිංහ පෝතකයෙක් වගේ කෙල්ල දිහා බැලුව. ඊට පස්සේ මං පිටිපස්ස හැරිල බැලුව එයා කාටද කතා කරේ කියල. මට ටිකක් පිටිපස්සට වෙන්න මගේ යාළුවෝ ටිකත් හිටපු නිසා  මං හිතුව ඒ කාට හරි ආදරේට කතා කරන්න ඇති කියල. ගෑනු ළමයි ඉතිං එහෙමනේ. ඉතිං මං ආයෙම බිම බලාගෙන වැඩේ පටන් ගත්තා.
“මැට්ටෝ තමුසෙට මොලේ උන හැදිලද?".
අනේ මට ඊට සතියකට විතර කළිං පොඩි උනක් හැදිල බෙහෙත් ගත්ත නිසා මට හිතුන මෙයා මට තමයි කතා කරන්නේ කියල. මං ඉතිං ඔළුව උස්සල බැලුව.
“මොනවද ගොං වහන්සේ කරන්නේ"
අනේ අප්පේ මං ඒ වෙනකල් දැනන් හිටියේ නෑ මට මෙච්චර නම් තියනවා කිලය. උප්පැන්න සහතිකෙත් තිබුනේ නෑනේ ඉතිං. මොනා උනත් වහන්සේ  කියල ගෞරව දීල කතා කරපු නිසා මං ඉවසුවා. ඉතිං මං කිවුවා,
“පාං කෑල්ලක බටර් ගානවා" 
කියල. මේ මැට්ටි ඇත්තටම ඉස්සිලා බැලුවනේ පාං කෑල්ලක් තියනවද කියල. පාං කෑල්ලක් නැති නිසා අවුලටත් එක්ක,
“ඉන්නවා මං සර්ට කියනවා" 
කියල මෙයා දොරෙන් එලියට දුවන්න හැදුවා. මෙයා මට ඉන්නවා කිවුවට මට බලන් ඉන්න බෑනෙ. සර්ට වැඩේ මාට්ටු වුනොත් මට ආයෙත් මතක සටහන් තියාගන්න වෙනවානේ. ඉතිං මං අන්තිම තුරුම්පුව ගැහුවා. තුරුම්පුව කිවුවට ඇත්තටම මං ගැහුවේ අතේ තිබුන හුනු කොට්ටෙන්.
දැන් ඉතිං කොට්ටේ පියාඹල අර ගෑනු ළමයගේ මූණ හොයාගෙන යනවා. අනේ ඉතිං පුරුද්දට වගේ දෙවියො ආයෙත් අහක බැලුවනේ. හුනු කොට්ටේ ගෑණු ළමයගේ මූණෙ වැදුනෙ නෑ, ඒත් ඊට පිටිපස්සේන් තිබුන මොකක්දෝ එකක වැදුනා. අනේ ඉස්කෝලෙට ස්පෝට් වලට අළුතින් අාව සුකුමාල මැඩම්.(සුකුමාල කියන්නේ නම එහෙම නෙමෙයි).
මට හිතුන අද එලියට බැහැපු වෙලාව හොඳ නෑ කියලා. ෂුවර් එකටම රාහු කාලෙන් තමයි බහින්න ඇත්තේ්.
 මැඩම් මේකප් එක දාන්න පටන්ගෙන ඇත්තේ පාන්දර 3ට විතර. ඒ තරම් ඒ මූණ...........( ඒ මට කියන්න වචන නෑනෙ) ඒත් මං බැලුව එච්චර උදෙන් නැගිටල මේකප් කරානම් තොල් වල එක පැත්තක් විතරක් රතු පාට වෙලා අනිත් පැත්ත සුදු පාට උනේ කොහොමද කියල. මගෙ ටිකිරි මොලේට ලාවට වගේ වැටහුනා අර අවාසනාවන්ත හුනු කොට්ටේ බෝඩ් එක මකනවා වෙනුවට මැඩම්ගෙ ලිප්ස්ටික් ටික මකල කියල. ඒකත් හොඳටම මැකුවනම් අවුලක් නෑ. මේක පැත්තක් විතරයිනෙ මකල තියෙන්නේ. පවු අපේ මැඩම්.
මං මැඩම්ගෙ මූණ දිහා හොඳට බැලුව ඊලඟ තප්පරේ මොනා වෙයිද කියල. ඒ මූණේ තිබුනේ තරහක් ද දුකක් ද මොකක් ද කියල මට තේරුම් ගන්න බැරිවුනා. හැබැයි ඉතිං ඇස් දෙක පල්ල නෙමෙයි අම්මපල්ල කියල උනත් දිවුරන්න පුළුවන් ඒ මූණේ හුනු නම් ගෑවිලා තිබුනා.
ඉතිං මැඩම්ගෙනේ සම්පූර්ණ වැරැද්ද. සර් එන්න ඕනි පීරියඩ් එකට මෙයා මොකට ආවද. හොඳ වැඩේ අනුන්ගේ පීරියඩ් වලට මූණ දාන්න ආවට. අනුන්ගෙ පීරියඩ් වලට ආවට මොකද ආවට වැඩි වේගෙන් ආපහු හැරුනා. මට තේරුනා මැඩම්ගේ ගමනාන්තෙ ඔෆිස් එක තමයි කියල. කාල වරෙන්කො. මං මගේ කුඩා මොලේ මෙහයවලා හිතල බැලුවා කරන්න පුළුවන් හොඳම වැඩේ මොකක්ද කියල. ගණ දෙවියො මගේ දුක දැකල කිවුවා මැඩම් ඔෆිස් එකට යන්න කලිං නතර කරපං පුතේ කියල.හැරෙන තැපෑලෙන්  මාත් මැඩම් පස්සේ දිවුවා. මට අමතක උනානෙ එයා ස්පෝට් වලට ආව මැඩම් කියල. එයා මට කලිං ඔෆිස් එකට දුවල. වේගෙ මැන්නනම් ෂුවර් එකට උසේන් බොල්ට් පරාදයි. මැඩම් ප්‍රින්සිපල් සර් ලඟට යන්න කලින් හරි නතර කරගන්න පුළුවන්ද බලන්න මං ඔෆිස් එක ඇතුලටත් ගියා. අර, හුනු කොට්ටෙන් ගහල ගුටි කන්න හදන මිනිහා ඔෆිස් එකට හරි රිංඟනවා කියල කතාවකුත් තියනවානේ. පපුව ඉස්සරහට දාගෙන ඇතුලට ගියාට මොකද මගේ පපුව හෝස් ගාල දාල ගියා.මැඩම් සර් එක්ක ලිප්ස්ටික් පෙන්නා පෙන්නා මොනවදෝ කියනවා. මට හිතුනා එයා මට කියල අළුත් ලිප්ස්ටික් එකක් ගෙන්න ගන්න හදනවා ද කොහෙද කිලය. මාත් ඉතිං පුළුවන් තරම් අහින්සක මූණක් මවාගෙන අපහු එන්න හදනකොට
“ආ ඔයා එනකල් තමයි හිටියේ, යංකෝ මගේ රූම් එකට අපි තේ එකක් බීලම කතා කරමු"
අනේ අපේ ප්‍රින්සිපල් සර් මොනා නැතත් හොඳට ආගන්තුක සත්කාර දන්නවද කොහෙද. මේ විනාඩි ටිකට ඇඟ‍ේ ලේ වතුර වෙලානෙ හිටියේ. තේ එකක් දෙනවනම් ඔන්න ඔහේ මොකද කියල සර්ගෙ රූම් එකය ගිහිං හරි බරි ගැහිල වාඩි වෙලා සර් තේ හදන් එනකල් වට පිට බල බල හිටිය. සර් තවම මැඩම් එක්ක බර කතාවක. අප්පට සිරි මැඩම් අඬනවද කොහෙද. එයාගේ ඇස් වලට හුනු යන්න ඇති. පවු අප්පා, මහ හිතක් පපුවක් නැති හුනු කොට්ටයක්.
අන්තිමට ප්‍රින්සිපල් සර් ඇතුලට අවා. මේ වගේ සෑහෙන්න අවස්තාවන්ට මූණ දීල තිබුන නිසා මං තීරණය කරා කට පරිස්සම් කරගෙන බිම බලාගෙන ඉන්න. අත් දැකීමෙන් දන්නවා අපේ ප්‍රින්සිපල් සර්ට ඒක වැඩ කරනවා කියල.
“ඉතිං....."
සර් බර කතාවකටද කොහෙද ලෑස්ති වෙන්නේ. තේ එකකුත් ගේනවා කිවුවානේ. තේ ගේනකල්ද කොහෙද සර් ෆයිල් ටිකක් අතට ගත්ත. තෝරල එක ෆයිල් එකක් අතට ගත්ත. අද වගේ තමයි ඒ කාලෙ ලොක්කොත් ෆයිල් තියාගෙන හිටියේ. සර් තොරල ගත්තේ එහෙම තියාගෙන හිටපු මගේ ෆයිල් එක. මං දන්නවා ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියල. මං ලියපු ලියුම්. නෑ නෑ කෙල්ලොන්ට ලියපු ඒවා නෙමෙයි. ආදරණීය විදුහල්පත් තුමා ප්‍රමුක විනය මංඩලයට ලියපු ඒවා.
සර් ඒ ලියුම් ටිකක් අරගෙන ඒවාගේ අන්තිම ටික විතරක් මුළු ඔෆිස් එකටම ඇහෙන්න කියෙව්වා. ඔකට තමයි අර පරණ පොතක තිබුනේ, ලියල කළට ලියුම් මීරීයි මී සේ, අහන කලට දුක් දැඩිවෙයි ගිනි සේ, කියලා.
“මින් පසු මෙවැනි වරදක් නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි"
“අදින් පසු මා විනය ගරුක ශිෂ්‍යෙයක් ලෙසට කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙමි"
“මෙවැනි වරදක් මින්පසු සිදු කරනු ලැබුවොත් ඕනෑම දඩුවමකට එකඟ වෙමි"
"මින්මතු කිසිදිනක නැවත මම විනට කමිටුවට පැමිණෙන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙමි"

“ ඉතිං සර් මං බොරු කියල නෑනෙ, එකවගේ වැරදි මම කවදාවත් කරල නෑනේ. ඕවගේ තියෙන්නේ මෙවැනි වරදක් කියලනේ"
කියල කියන්න හිතුවට මම කිවුවේ නෑ හොඳ‍ේ.
සර් ඉතිං ඔය හැම එකක්ම කියවන්න ඔනි නෑනේ, ඒ හැම එකේම අන්තිම එක වගේනේ. මට ඒ හැම එකක්ම කටපාඩමින් කියන්න පුළුවන්. විභාග ප්‍රශ්නපත්තරේකට එහෙම අහල තිබුනොත්
““ඔබ විනට කමිටුවට ලියූ ලිපි වල සියළු අවසානයන් ලියා දක්වන්න““
වගේ එකක්. මං ඉහලින්ම පාස්.ඒ අස්සේ මට පේනවා අර මැඩම් වටේ ඉන්න හැමෝටම රස කර කර කතාව කියනවා. මං හිතන්නේ හුනු වල රස තමයි ඹච්චර අගේ කරන්නේ. මැඩම් දිහා බලාගෙන හිටපු මට  හිතුනා,
මුහුණේ ලස්සන හදවතේ තිබුනානම්
කියලා.
“පෙර වැරදි ගොඩා..යි නේද?"
සර් මගේ සිතුවිලි දැහැන කඩල බිදල දැම්මා. මොනා කරන්නද, මං ගුරු ගෞරවේ නිසා ඉවසන් ඉන්නවා. බයට එහෙම නෙමෙයි.
“ඒක අත් වැරැද්දක් සර්"
 මං ගොත ගගහ බිම බලාගෙන හා පැටිය වගේ කිවුවා.
“ඔවු ඉතිං අතෙන් නැතුව කකුලෙන් බෑනෙ මැඩම් කෙනෙක්ට හුනු කොට්ටෙන් ගහන්න"
බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත තමයි. මගේ හිතේ අර තේ කෝප්පෙ ගැන තියන අදහසත් තවම තියනවා. ඒක ආවෙත් නෑනේ කියල හිතනකොට තමයි සර් මගෙන් අමාරුම ප්‍රශ්නෙ ඇහුවේ.
ගෙදර නම්බර් එක මතකද" 
වෙලාවට සර් මතකද ඇහුවෙ. නම්බර් එක දෙන්න කිවුවනම් මම ඒ වෙලාවෙම දෙනවා. මතකද කියල අහපු නිසා ඉතිං මම කට ඇරල “නෑ“ නිවුවා.
“කෙහෙ හරි ලියල තියනවාද?“
මට බුක් ගාලා ගණදෙවි නුවණ පහල වෙලා
“ඔවු සර් කිවුවා"
සර් ඔළුව වැනුව විතරයි නරි කූඩුවකින් පිටට එන අහිනසක කුකුල් පැටියෙක් වගේ මම පංතියට දිවුවා. පොතක් පෙරලලා හොයාගත්ත, ගෙදර ටෙලිෆෝ්න නම්බර් එකනම් නෙමෙයි. මගේ බෝඩිමේ උඩ තට්ටුවේ නතර වෙලා ඉන්න අයියා කෙනෙක්ගේ නම්බර් එකක්. මං වගේම ඒ අයියටත් ගණදෙවි නුවණ පහල උනොත් හොඳයි කියල මං සර්ට ඒ අයියගෙ නම්බර් එක දුන්නා. හැබැයි ඉතින් වැඩේ මාට්ටු උනොත් හුනු කොට්ටෙන් ගැහුව වගේ නෙමෙයි, සාපරාධී ලෙස ගුරුවරයෙක් නොමඟ යැවීම දඩුවම් ලැබිය හැකි වරදක්නේ.
“ හලෝ මං මේ චන්දිමාල්ගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කතා කරන්නේ මේ චන්දිමාල්ගෙ තාත්තද"
දෙයියො බැලුව වගේ සර් එහා පැත්තේ කතා කරන්නේ කවුරු උනත් කටට උත්තරේ දීලම කතා කරා. අනේ වාසනාවන්
“ නෑ නෑ බය වෙන්න එපා, මේ පොඩි විනය ගැටළුවක්........!!!1.............. අහ් නෑ නෑ වෙන ප්‍රශ්න නෑ........../////// .../  ......හුනු කොට්ටෙකින් මැඩම් කෙනෙක්ට ගහල......අනේ නෑ///වෙන ප්‍රශ්න නෑ..................................////////////// !!!!!!!!!!!!!!!!!!!! @@@@######### අත් වැරදීමක් කියල තමයි කියන්නේ!!!!!!!!!!!,,,,,,,,,,,,,,,අලුතින් අාව ගුරුවරයෙකුත්නේ..........හා හා!!!..................මම මෙ කතා කරේ මම සතියක් මෙයාගේ පංති තහනම් කරනවා කියන්න,,,, හා හා හරි හරි....."
සර් හිතන්න ඇති මගේ මූණ බෙරිවෙලා මං අඬන්න පටන්ගනී කියලා. ඉබ්බා දියට දාලා ඇන්නෑවේ කිව්වලු. සර් ෆෝන් එකෙන් තව මොනවදේ කියවනවා, අර පොරත් එහා පැත්තේ ඉඳගෙන පොහොර දානවද කොහෙද. පොරටත් මොකෝ දවසකට හරි තාත්තා කෙනෙක් උනානේ.
“තමුසෙගේ පෙර වැරදි ගොඩක් තිබුන නිසා තමයි පංති තහනම් කරේ. සතියක් ගෙදර ඉඳල හැදිල එනවකෝ"
සර් හැදිල එන්න කියන්න ඇත්තේ මං කෙට්ටු නිසා වෙන්න ඇති.
“තැන්ක් යු සර්"
මං එලියට එද්දි අතිගරු සර් බලන්න ඇති මං තැන්ස් කරේ ඇයි කියල. ඔෆිස් එකෙන් එලියට එද්දි මං හුනු ගාන්න බලාගෙන හිටපු සර් කොහෙද කියල බලාගෙන ආවා. අනේ අවාසනාවට සර් ෂෝට් ලිවු දාලා ගෙදර ගිහින්.
මං පංතියට ගිහින් හැමෝටම අැහෙන්න මේ දුක් මුසු ආරන්චිය සිනා මුසු මුහුනෙන් කිවුවා. අප්පේ මට වඩා ප්‍රීති ප්‍රමෝදෙන් උදම් වෙලා තියෙන්නේ මගේ යාළුවෝ සෙට් එක. උන් වට වෙලා මොනවදෝ කුටු කුටු ගානවා. මාත් ගිහින් ඔළුව දැම්මා, මුං ඉස්සරහට එන නිවාඩු සතිය ප්ලෑන් කරනවා. දෝව පංසල, බණ්ඩාරවෙල ටවුන් එක. කළු පාලම යට නාන්න. මුං විනාඩියෙන් ඔය විදිහට සතියම ප්ලෑන් කරල ඉවරයි.
“යකෝ පංති තහනම් කරේ මට, උඹලට නෙමෙයි"
එතකොට මුං කියනවා දැන්ම ගිහින් සර්ට කියන්නලු මුනුත් මේකට සම්බන්ධයි කියලා. ආයම ඔෆිස් එකට රිංගන්න ගිහින් දඩුවම කැන්සල් කරෝත් කියල මං ඒ අදහස අත් ඇර ගත්තා.
එදා ඉස්කෝලේ ඇරිල බෝඩිමට ගියේ හැමදේම සාකච්චා කරගෙන. පහුවදා ටවුන් එකේ පොදු වැසිකිලියට උදේම එන්න තමයි කතා කරගත්තේ.මොකද පාට ඇඳුම් අැඳගෙන ගෙවල් වලින් එන්න බෑ. ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන රස්තියාදු ගහන්න බෑනේ.
මං ඉතිං බෝඩිමට ගිහින් මගේ හොර තාත්තගෙන් විස්තර ඇහුව පොර කිවුවලු,
“ඔවු සර් ඕකව හදන්න බෑ, ඕනි දඩුවමක් දෙන්න කියල"
අනේ මුගේ කට...
ඉතිං ඊලඟ සතියම අර සිිරිමත් කොලුව වගේ උදයම නැගිටී මුහුනට දිය දී කුල දෙවි නමදී ගෙදරින් පිටවේ. එහෙම ඉතිං සතියකින් අපි මුළු දිස්ත්‍රික්කේම රස්තියාදු ගැහුවා.
අපි පංසල් ගානේ ගිහිං ප්‍රින්සිපල් සර්ට දුන්න පිං වල හැටියට සර් මේ අාත්මෙම නිවන් දකින්න ඕනි. හැබැයි මට  පස්සේ දුක හිතුක සර්ට පිං දුන්න විදිහට අර සුකුමාල මැඩම්ට පිං නොදුන්න එකට. ඇයි අප්පා අපේ වැකේෂන් එන ඉවර වෙලා ආයෙම ඉස්කෝලෙට ආවම මිස් මට සොරි කිවුවනේ...වෙලාවට මට හාර්ට් ඇටෑක් තිබුනේ නැත්තේ.

                                                                                                                             මං රස්තියාදුකාරයා

ප.ලි - අපි ඉස්කෝලෙට අාව දවසේ ආයෙත් ප්‍රින්සිපල් සර්ගෙන් බැනුම් අැහුව සහෝදර ප්‍රේම‍ෙන් දඩුවම් වින්ද කියල.
Share:

2 comments:

  1. මිත්‍රයා,

    මෙවර කතාවත් හිනා නො වී කියවන්න සමතකු මිහි පිට ඇතැ යි මා හිතන්නේ නැහැ. කතාවේ හාස්‍යෝත්පාදක ගුණය සහ සජීව සංවාද භාවිතය සාධනීය ලක්ෂණ ලෙස මා දකිනවා. ඔබේ බස් වහරත් සාතිශය නිර්මාණශීලී යි. (මෙවර මට සිහි වුණේ උපහාස කථා චක්‍රවර්ති ටී. ජී. ඩබ්. ද සිල්වා.)

    එහෙත් කතාව ආරම්භයේ දී ප්‍රස්තුතයට පිවිසෙන්නට පෙර ඔබ ඉදිරි පත් කරන පෙර වදන ටිකක් කෙටි වුණොත් වඩාත් හොඳ යි කියා හිතෙනවා. ඊළඟට කතාව අග්ගිස්සට ඔබ එල්ලා තියෙන මෙන්න මේ පසු වදනත් අවශ්‍ය නැති බව යි මගේ හැඟීම: //ප.ලි - අපි ඉස්කෝලෙට අාව දවසේ ආයෙත් ප්‍රින්සිපල් සර්ගෙන් බැනුම් අැහුව සහෝදර ප්‍රේම‍ෙන් දඩුවම් වින්ද කියල.// එයින් කතාවේ රස කෙලෙසෙනවා දැ යි හිතෙනවා.

    මීළඟ කතාව කියවන්නට මඟ බලා සිටිමි.
    ජය!

    ReplyDelete
  2. හදවතින්ම ස්තූතියි මිත්‍රයා,
    හැම වෙලේම මම දිරිමත් කරන මිත්‍රයෙක් ඉන්න එක ලොකු ශක්තියක්. හැම උපදෙසකටම බොක්කෙන්ම පින් ඈ.... ඔන්න ලබන සැරේ පෙරවදන කෙටි වෙයි හොදේ
    විජය!!

    ReplyDelete

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.