ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

ද අයියලා

ළමායි ඔන්න ඉතින් පොඩි රස්තියාදුවකට ආව. මම හය වසරේ ඉදන් 11ට වෙනකල් ගිය ඉස්කෝලේ ගොඩක් කාලෙකින් මුලින්ම පටන් ගත්තේ  අපෙන් කියල මම කියල තියනවනේ. ඉතින් අපි තමයි ද අයියලා. අපිට උඩින් තව අයියල සෙට් එකක් හිටියට අපි දෙගොල්ලෝ එකට ඉස්කෝලෙට ආව නිසා අපි දෙගොල්ලෝ අයියා පාට් දැම්මේ එකතු වෙලා. සහෝදර පේ‍්‍රමෙක මහත ලෝකෙටම පෙන්නපු සෙට් එකක් අපි.
අපිට ලොකුවටම අයියා පාර්ට් දාන්න තඩි අවස්ථාවක් පාසල් මාතාව විසින් අපිට උදා කරල දුන්න ඔං. එයා අපිට අයිය පාර්ට් දාන්න කියල පුංච් මල්ලිලා නංගිලා ටිකක් ඉස්කෝලෙට ගත්ත. නංගිලානම් ඉතිං ඒ කාලේ අදාලම නෑ. මල්ලිලාට තමයි ඉතිං අයියලා පාර්ට් දැම්මේ. වැරදි විදිහට තිතන්න එපා යකූ.. එකට කියන්නේ සහෝදර පාට් කියල.
දැන් ඉතිං මල්ලිලා සෙට් එකම හොස්ටල්නේ ඉන්නේ. අපි ඉතිං ටිකක් උඩින් තමයි යන්නේ. ඇයි ඉතිං මුං ටික මෙලෝ හසරක් දන්නේ නෑනේ ඉස්කෝලේ ගැන. පාර්ට් එක දාගෙන ඉන්න පුළුවන් වෙලාවේ උපරිම ප‍්‍රයෝජන ගන්න එපැයි. ආය කින්ඩියට හිනාවෙනවා. අයුතු ප‍්‍රයෝජන නෙමේ බොලව්. ඔන්න ඉතිං රස්තියාදුවට සෙට් වෙන සෙට් එක ඉන්නවා. වසරේ පොඩිම පාවාදීම කරන්න යන්නේ  ඕං. හිරාන් ජසින්ත නොහොත් ජසියා. මනොජ් ධනුෂ්ක නොහොත් චමියා. කසුන් රවී නොහොත් කසුනා. සදුන් එරන්දිත් නොහොත් ස`දුනා මම නොහොත් මමම තමයි.තව හිටියද කොහෙද බං( ඔං ඉතිං උඹල ටික එකතු වෙලා මගේ පුරුෂ භාවේ නැතිකරනවා එහෙම නෙමේ)
දැං ඉතිං අපි ටික හොස්ටල් එකේ උඩම තට්ටුවේ සෙට් එක. උඩම කියන්නේ ඉතිං චන්ඩි ඈ.(අඩුගානේ අපි එහෙම හිතාගෙන හරි හිටියා). ඔන්න ඉතිං මල්ලිලා ටික හොස්ටල් එකට බාර ගත්තා. අපිට ඉතිං රටක් භාරදුන්නා වගේ. අපේ ඩෝම් එකේ සෙට් එකට ඉතිං අපි අයියල කියල පෙන්නන්නත් එපැයි. අපි සෙට් එක ඉතිං පොඩි උන් සෙට් එක අල්ලගෙන වැදි බන කියන්න පටන් ගත්තා. උන් ඉතිං දොහොත් මුදුන් දීගෙන සාදු කාර හිරකරගෙන අහගෙන ඉන්නවා. බන කියල අපිටම ඇති උනා. ඊල`ග ස්ටෙප් එක. කට්ටිය පෝලිමට අරගෙන ඩෝම් එකේ එහා ඉදන් මෙහාටයි මෙහා ඉදන් හාවෝ පැන්නුව. අත් දෙක ඔළුවේ තියාගෙන කන් දෙක වගේ, ඉස්සරහට පිමි තුනයි, පස්සට දෙකයි, දැන් ඉතිං හා පැටවු ටික තාරාවෝ යන වෙලාව. බක් බක් ගගා මුන් ටික තාරාවෝ යනවා.(පස්සේ කාලෙක තමයි අපි දැනගත්තේ බක් බක් ගාන්නේ ගෙම්බෝ කියල*
මෙහෙම ඉතිං අපි මල්ලිලා ටික සහෝදර පේ‍්‍රමෙන් සෑහෙන වෙලා මැඩෙව්වා. ත‍්‍රී වීල් යනවා, විල්බැරෝ යනවා. නිකං හරියට අන්ඩර් කන්ස්ට‍්‍රක්ෂන් ඒරියා එකක් වගේ. අපි තමයි ඉන්ජිනේරුවෝ. ටික වෙලාවකින් ජසියටද කොහෙද අළුත් අයිඩියාර් එකක් ඇවිත්. මහපටගිල්ල නලලේ තියාගෙන පොඞ් ඇ`ගිල්ල පපුවේ තියාගෙන කැරකෙන්න  ඕනි. අම්මට සිරි ගජ නන්දෙට කජු මද කියාපි. පෙඩි උන් ටික වැටුන වැටුන තැන. නොමිලෙ බාර් එකකින් බොන්න දුන්නා වගේ. හතර ගාතේ දාල මුං ඇවිදින විදිහ දැක්කම මටත් නොමිලේ දෙන බාර් එකට යන්න හිතුන. මාත් ඉතිං පොඩි ටෙස්ටින් පාරක් දාල බැලූවා. අප්පට සිිරි. උපරිම වට පහක් කැරකෙන්න ඇති. කැරකෙන රෝදේ පුංචි කරත්තේ කියල මාව කැරකෙනවා නිකං මුරලි දුස්රා එකක් එක තැන කරකල අත ඇරිය වගේ. මං ඉතිං ඇ`දකට වැටිල ඇදෙනුත් බිමට වැටෙයි කියල ඇ`දේ ඇන්දත් බදාගෙන කරගෙන දෙනුවන් පියා දෙසවන් අයා ඉන්නවා දැං. දෙසවන් අයා සිටිමේ වැරැුද්දට හසුව දැවී ගියේ ඒ වෙලාවේ තමයි. මට නිකං හීනියට වගේ ඇහුන ජසින්ත. මනෝජ් ඔය ගොල්ලන්ට අරුල් සර් එන්න කියනවා කියල. හම්මේ අරුල් සර් ඉතිං එන්න කියන්නේ අපිට කියල සර්වත් රැුග් කරගන්නද දන්නේ නෑනේ. අරුන් දෙන්නට විතරක් තනියම ස්රව රැුග් කරන්නත් දෙන්න බෑනේ. ඉතිං අපි සෙට් එකම චිත්ත ධෛර්යය පරදුවට තියල ආත්ම විශ්වාසේ අතට අරගෙන සර් හම්බෙන්න ගියා.
අරුල් සර් කියන්නේ ළමයි හයේ හතරේ පොරක් කිවුවෝත් ඒක සර්ට කරන අපහාසයක් හොෙ`ද්. මොකද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අරුල් සර් කියන්නේ හැටේ හතලිහේ පොරක්. අපිත් ඉතිං අර කලින් කියපු ඒවා අතට අරගෙන ඊට කලිං කියපු එක පරදුවට තියල සර්ව හම්බෙන්න යනවා. ඒ කාලේ ටිකක් සීතල නිසා කකුලූත් ටිකා....ක් විතර වෙවුලනවා. සී...තලට. මම ඉතිං නොමිලේ බාර් එකෙන් බිවුව නිසා කැරකි කැරකි ඉතිං යනවා.
අපි යද්දි සර් තව හොස්ටල් එකේ ළමයි ටිකකුත් එක්ක ඉන්නවා. අම්මට සිරි උන් ටික ගොම කලේට කිරි බිංදුවක් දාලද කොහෙද. සර්ගේ මූනත් එච්චර හොද නෑ. සර්ට වඩා ගැම්මෙන් ඉන්නේ අර පිටිපස්සේ ඉන්න උන් ටික. උන් නිකං ලොකු වැඩක් කරා වගේ ඉන්නවා. යකූ අපිනේ ලොකූ.....වැඩ ටිකක් කර කර ඉ`දල ආවේ.
සර් ඉතිං කතාව පටන් ගත්තා. අපි ඉතිං වැඩිහිටියන්ගේ කතා වලට මැදට පනින්න යන්නේ නෑනේ. අපි අපේ පාඩුවේ බලාගෙන හිටියා. ඒක නිසා සර් කියපුවා මෙතන කියන්නේ නෑ. නැතුව ඉතිං ඒවා මෙතන කියන්න බැරි තරම් අතිශයින්ම අසභ්‍ය ඒව නෙමේ හොෙ`ද්. කොහොම හර් සර් අන්තිමට කියපු ටිකනම් හො`දට ඇහුන. දැන් දුවපියවු යන්න පර ටී.....ක් ලා කියල. (අන්තිම ටික පැහැදිලිම නෑ හො`දේ.* ළමයි හිතුවේ අපිට බැනල සර් අපිව එලවල දැම්ම කියලද?. ඒ වෙලාවේ මාත් හිතුවේ ඔය අහිංසක සිතුවිල්ලම තමයි. නෑ යකූ. සර් අපිව එලවල තියෙන්නේ එකා පහ ගානේ නන්චි නොහොත් වැට මාර නොහොත් පොඩි සිංඥො මරං නොහොත් මොනවද ලී ජාතියක් කඩන් එනන කියලලූ. අපිට කියල වැටක් ගහ ගන්න වෙන්න ඇතිනේ. ඔක මොකක් ද ඉතිං සර්ට පොඩි වැටක් ගහල දෙනවා. දැන් ඉතිං අපි ඉතිං කැපවීමෙන්ම ගස් නැගල, ලී හොයාගෙන කපාගෙන සුද්ද කරගෙන, දත කට මැදගෙනත් එනවා. කොහෙම හරි වැඬේට සෑහෙන වෙලාවක් ගියා. හිතලම වෙලාව යැවුවා එහෙම නෙමෙයි. අපි ආය එනකොට සර් වැට ගහන්න සෑහෙන සෙනගක් එකතු කරගෙන. සෑ හෙන සෙනගක් කිවුවේ සෑ..මහෙන සෙන`ගක්. ගෑනු ළමයිගේ සමස්ථ හොස්ටල් එකයි, අපේ සමස්ථ හොස්ටල් එකයි එතන. අලූතින් ආව හා පැටවු ටිකත් සර් ගෙන්නගෙන. අනේ ඉතිං අහීන්සක මල්ලි බබාල ටික ආදරෙන් අපි දිහා බලාගෙන ඉන්නවා. අපිත් දැන් ඉතිං දළදා පෙරහැරේ කර`ඩුව අරන් යන අලි පැටවු ටික වගේ ලී ටිකත් උස්සගෙන සර් ල`ගට ගියා. සර් ඉතිං අලිංගේ පිටේ යන නිළමෙ වගේ අපිට පෝලිමක් හදාගන්න කිවුවා. වැඩි හිටියෙක් කියපු දෙයක් අහක දාන්න පුළුවන්ද ළමයි. අපි ඒ වගේ නැහැදිච්ච අය නෙමෙයි කියල සර්ට පෙන්නන්නත් එක්ක උසේ පිළිවෙලටම පෝලිම හැදුන. මම තමයි මිටිම එකා. සර්ට උසේ පිළුවෙලට එපාලූ වයසේ පිළිවෙලට එන්නලූ. දැං ඉතිං මුංගෙන් උපන් දින අහ අහ පළයංකො වයසේ පිළිවෙල හොයන්න. අපි ඉතිං උපන් දින අහන්න කලින් සර්ම පිළිවෙල හැදුව. උඩ පංතියේ ළමයි මුලින්ම. මනෝජ්, කසුන්. ඊට පස්සේ පිළිවෙන් කට්ටිය හිටිය. කොහොම හර් මම ඒත් අන්තිම. හී...අහින්සක මූනක්නේ යකූ තියෙන්නේ.
සර් ඉතිං අට පහ එකට ඉන්දනවා වගේ අපි ගෙනාපු කෝටු පහ එකට තියල අල්ල ගත්තා. මං ඉතිං කලිං කිවුවනේ සර්ගේ සයිස් එක. පහක් නෙමෙයි තව කෝටු අටක් වත් ඒ අත් අස්සට රිංගවන්න පූළුවන්. ඊට පස්සේ තමයි පෙරහැරේ ගිනිබෝල සංදර්ශනේ පටන් ගත්තේ. හම්මේ අර එකට තියපු කෝටු පහ දෙකට කැඩෙනකල් අපේ පස්ස පැත්තේ පාරවල් තිබ්බ සර්. හොස්ටල් දෙකේම උන් පෙරහැරක් නෙමෙයි, සර්කස් එකක ජෝකර්ල ටිකක් දිහා බලං ඉන්නවා වගේ හිනා වෙවී බලන් ඉන්නවා. යකෝ හරිනම් සහෝදර පේ‍්‍රමේ දොර ගලා ගිහිං මුං ටික අ`ඩන්න එපැයි. හැබැයි ඉතිං කසුනලාගේ පංතියේ අක්කල දෙන්නෙක් විතර ඇ`ඩුවද කොහෙද. අනේ අපි දන්නේ නෑනේ  ඕවා. සහෝදර බැදීම වෙන්ඩැ. දැං ඉතිං පස්ස කියනවා තවත්නම් දරාගන්න බෑ මගේ දෙයියෝ කියල. මගේ වාසනාව කොච්චරද කියනවනම් මගේ කෝටු පහ කැඩෙන්න සෑහෙන වෙලාවක් ගියා යකූ. මම ඒ වෙලාවෙම හිතාගත්තා ආය නම් හාවෙක්, තාරාවෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ කියල. හම්මේ කතාව මෙතනින් ඉවර වෙනවනම් මාත් ආසයි බොලා වගේම්. අරුල් සර් එක්ත ඒව සුම්මා. සම්ප‍්‍රධානුකූලව හැදුව දෙපැත්තට කරල පෝලිං දෙකක්. අපි නෙමෙයි බං. සර්කස් බලන්න ආව උන්. ඊට පස්සේ සර් අර අළුතින් ආව අහිංසක හා පැටවු ටික ළ`ගට ගිහින් ඇහුව අපි එයාලට සලකපු ආදරණීය විදිහ. හම්මේ වසරෙ හොදම සමූහ නළුවන්ගේ සම්මානේ උන්ට දෙන්න පූළුවන්. අපි කරන්න කියපුව උන් ටික ර`ගපාලත් පෙන්නනවා. දැන් පැනපංකෝ හාවෝ. අපි ඉතිං ඉරි තැළුන පස්සත් උස්සගෙන මුදු වලා යටින් එකා පස්සේ එකා පෝලිමට හාවො පනිනවා. මේකත් මහ`ගු අවස්ථාවක්නේ සමස්ථයක් ඉදිරියේ අපේ දක්‍ෂතා පෙන්නන්න. අපිත් අත ඇරියේ නෑ, හාවො විතරක් පැනල ඇති ඇයි. අපි තාරාවොත් ගියා. විල් බැරෝ ත‍්‍රීවීල් හැම එකෙන්ම අපි ඒ වෙලාවේ දක්‍ෂතා පෙන්නුවා පිරිසක් ඉදිරියේ. කොහොම හරි අන්තිමට සර්ට සත්ව කරුණාව පහල වෙලා හා පැටවු ටිකව හොස්ටල් එකට දැක්කුවා. හම්මේ මට හරියටම පස්සක් තියනවා කියල එදා තමයි හො`දටම දැනුනේ. දැනුන කියන්නේ දවස්ගානක්ම දැනුන මට පස්සක් තියනවා කියල
තව එකක්. එදා තමයි මම දැනගත්තේ ජසියගේ කට්ට කළුවට තියන පස්සට හිටි හැටියෙම නිල් පාටටත් හැරෙන්න පුළුවන් කියල.(මං බැළුවේ එහෙම නෑ හො`ද්, ජසියමයි කිවුවේ, අම්මපා*

මම රස්තියාදුකාරයා

Share:

අයියේ අපේ පාං අර මේසේ උඩ

ඕං  සෑහෙන කාලෙකට පස්සේ රස්තියාදුවක් ගහන්න ආව. මේ රස්තියාදුව ගැහුවේ ඇච්ච බැච්ච කාලේ. දැන් කියල ඉතිං වෙනසක් නෑනේ. එතකොට නවය වසරේ විතර ඇති ඕං.ඒ වෙනකොට ගෙදරට මාව බරක් වෙලා ගෙදරින් හොස්ටල් ගෙනත් දාල තමයි හිටියේ. හොස්ටල් එකේ ඉතිං එක එක රස්තියාදු වලට හරියන එක එක යාළුවෝ හිටිය. හැබැයි ඉතිං එක වගේ කුරුල්ලෝ වහන්නේ එක අත්තේ කියල මටම සෙට් වෙන යාළුවෝ දෙන්නෙක් හිටිය. උන් දෙන්නම මල්ලිලා. එක්කෙනෙක් තරිදු, අනික් පොර සම්පත්. සාමාන්‍යෙයන් ඔය නම් දෙකෙන් කතා කරන්නේ උදේට නම් ලකුණු කරනකොට විතරයි. අපි ඉතිං කතා කරන නම් පොඩි කාලේ උනත් වැඩිහිටියන්ට පමණයි නිසා නොකිය ඉන්නම්. උන් දෙන්න රෙද්දක් ඇදල පාරේ යන්න එපැයි.
හොස්ටල් එකේ කෑම දිව්‍ය ලෝකේ කැන්ටිමේවත් නැතුව ඇති. හාල් මැස්සෝ නැති හාල්මැස්සෝ හොදියි. පරිප්පු ඇට නැති පරිප්පු හොදියි. පොල් කුඩු සම්බෝලෙයි. දැන් ඉතිං මේවගේ රස වැඩි කමට අපේ දිව නහර පිනා ගිහින් තිබුනේ. හාව හද දකිනව වගේ ගෙදරින් ගෙනාව බත් එකක් එහෙම හම්බුනොත් බත් එකටත් හිතාගන්න බැරි වෙනව පොරට මොකද උනේ කියල. කඩෙන් කන්නත් ඉතිං ඒ කාලේ අතේ සතේ නෑනේ. සතේ තිබුනත් හොස්ටල් එකෙන් එලියට පනිනවා කියන්නේ ඉතිං ආය චීන මහා ප්‍රාකාරෙ කඩල බර්ලින් තාප්පෙන් පනිනව වගේ වැඩක්. දැලි පිහියෙන් කිරි කකා අතුරේ යන එක ලේසීයි කඩෙන් කනවට වඩා.
දවසක් ඉතිං හොස්ටල් එකේ කෑම කාලා අපේ දිව නහර පිනා පිනා පිනා ගිහිල්ල අන්තිම ටිකටම ගෙවිල ගියා. කඩෙන් කෑම වෙලක් නොකෑවොත් දැන් මලා කියන තත්වේ තමයි අපි හිටියේ. ඉතිං ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු කියල තීරණයක් අරගෙන් හොද හුස්මක් එහෙම අරගෙන් ඉදගෙන හිටිය තැනින් නැගිට්ට. නැගිටල ඉතිං මොනව කියල කරන්නද ආයම වාඩි වෙලා කල්පනා කරා මේකට කරන්න පුළුවන් දෙයක්. අපි දැන් වට මේසේ සාකච්චා වටයක් තියල තුන් දෙනාගේ අදහස් විසමනවා කඩෙන් කන්නේ කොහොමද කියල. (තුන් දෙනා කොහොමද වටේ වාඩිවෙන්නේ කියල එහෙම අහන්න එපා යකූ) මුලින්ම අපි බැලුව තියන සල්ලි ගාන. හම්මේ ටොෆි තුනක් කාල චුයින්ගම් එකක් සූප්පු කරනකොට ඒ සල්ලි ටික ඉවරයි. දැන් ප්‍රධානම ප්‍රශ්නය දෙවියන්ගේ මල්ලි හොයාගන්නේ කොහෙන්ද කියල. නිධානයක් හාරන්නවත් තැනක් හොස්ටල් එක අහල පහල තිබුනේ නෑ. අතමාරුවක් ඉල්ල ගන්න පොලී මුදලාලි කෙනෙකුත් හොස්ටල් එකේ නෑ. අනික ඉතිං අතමාරුවක් ඉල්ලගෙන ආය ගෙවන්න ඉතිං සල්ලි දුන්න එකාගේ රෙදි ටික තමයි හෝදල දෙන්න වෙන්නේ.  ඔහොම ඉතිං කල්පනා කර කර ඉන්නකොට ආව ටිංකිරි අදහසක්. අපි තුන්දෙනා තුං පැත්තකට බෙදිල ගියා.( ඒකාලේ ස්කූබි හිටියේ නැති උනාට අපි දන්නව බෙදිල යන්න හරිය) තුන් පැත්තකට බෙදිල ගිහින් උගුර පාදල ගාම්භීර හඩ අවදි කරල පපුව ඉස්සරහට දාලා, දන්න හැම දහංගැටයක් ම දාල හිගා කන්න පටන් ගත්ත. අපි ගත්ත ණයක් ගෙවන්න තියනව කියල හැම එකාගෙන්ම සතේ සතේ එකතු කරා. ඇත්තටම ඉතිනං සතේ සතේ කිවුවට වැරැද්දක් නෑ. උපරිමේ කියල ඔනිනම් මොකෙක් හරි රුපියල් පහක් දෙන්න ඇති. දැං ඉතිං සතේ සතේ එකතු කරල අපි පැයකින් විතර සෙට් උනා. අම්මට සිරි පාං ගෙඩි දෙකක් කාලා අර මං ඉස්සල්ල කියපු ටොෆි තුනයි චුයිංගමුත් කන්න සල්ලි ඉතුරු වෙනවා. දැන් එක වේලකට ගානත් සෙට්. ඊලගට තමයි අමාරුම වැඩේ. අමාරුයි කිවුවට අමාරුමත් නෑ. ඒක තමයි බය හිතෙන වැඩේ. මොකද හොස්ටල් එකෙන් පැනල හදිස්සියේ වත් මාට්ටු උනෝත් අපිව හම ගහල, ඒවගෙන් බෙර හදල, මස් ටික වේලල කරවල වලට අරගෙන, කටු ටික මිනී මෝරුන්ට දානවා(හොස්ටල් එක පහලින් තිබුන බදුලු ඔයේ මිනී මෝරු හිටිය ළමයි) හදිස්සියෙවත් කටුවක් වත් ඉතිරි උනොත්....ම්..ම්....ම්....ඒ ක එහෙමම තියෙන්න අරිනවා.
කොහොම හරි ඉතිං අහින්සක බඩ ගැන හිතල අවධානමක් ගන්න වෙනවනේ. අපි ඉතිං රෑ වෙනකල් ඇගිලි ගැන ගැන හිටියා. ටිකක් කළුවර වැටුනම හොර ගල් අහුළන ඉබ්බෝ වගේ අපි හිමින් හිමින් පාද තබා ගුරුපාරෙන් එගොඩ වෙලා වෙල් දෙනි පැන දෙවට දිගේ ටවුන් එක පැත්තට යන්න පටන් ගත්තා. පොඩි කැලේ පාරක් වගේ එකක් තිබුන හැංගිල ටවුන් එකට පැන ගන්න.සම්පත් මල්ලි, පොර කවුරු හරි අදුනගනී කියල කොහෙන්ද හොයාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන ඇවිත්. හැබැයි ඉතින් අඩි දෙක තුනක් යන්න කලින්ම ඌට ගෙනාට වගේ තේරුනා රෑට සන්ග්ලාස් දාන්නේ නෑ රෑට දන්නේ හනිමූන් ග්ලාස් කියල. ජීවිතේට හානි වෙන්න කලින් ඌ ඒ දෙක ගලවගත්ත. මැරුනත් යකෝ කඩෙන් පාන් කෑල්ලක් කාල මැරෙන්න ඕනිනේ. දැන් ඉතිං අපි ටවුන් එකට ඇවිත් හෙවනැලි වලට වැහි වැහී හොද කඩයක් බලල රිංගගත්තා. පානුත් ඕඩර් කරල හොදි එහෙම හොදට දාගෙන දොල දුක සන්සිදවගන්න හදනකොටම දැකපු දර්ශනේට හද සලිත වෙලා වත මිලින වෙලා කදුලින් දෑස තෙමිල ගියා. පොඩි චූ බරකුත් ආවා. හොස්ටල් බාර සර් තව මොකෙක් ද හිපාටුවෙක් එක්ක හොටෙල් එකට රිංගනවා. කිරි අප්පට විදුලි කොටන්නෙත් ඕනි නැති වෙලාවටමනේ. තව තප්පරයක් පරක්කු උනානම් අර අතට ගත්ත පාං කෑල්ල කටට දාගන්න තිබුනා. දැන් ඉතිං නයි කයිද රෝස් පාං කිවුවලු.  කරන්න දෙයක් නෑනේ අපි තුන්දෙනා හිමීට හොටෙල් එකේ කුස්සියට රිංග ගත්ත. දැං ඉතිං අලි මදිවට හරක්ද මොක්කුද කිවුවලු. කුස්සියේ ඉන්න උන් ටික කන්න වගේ අපි දිහා බලනවා. අපිව පාං වගේ පෙනුනද දන්නේ නෑනේ. කොහොමත් සර් කාරය අපිව කනවට වඩා කුස්සියේ ඉන්න අය අපිව කන එක හොදයි. අඩු ගානේ ගෙදරට යවන්න කටු ටික හරි ඉතුරු කරයි. සර් කාරයට මාට්ටු උනෝත් ගෙදර උන් ඇවිත් තමයි අපේ කටු සූප්පු කරන්නේ. දැන් ඉතිං කුස්සියේ සෙට් එකට කියන්න දේකුත් තියේනන එපැයි. මම ඉතිං උගුර හෙම පාදල. සබාවෙන් අවසර අරන් , අයියේ ටොයිලට් කියනකොටම තරිදුවා, අපි මෙතන හොස්ටල් එකේ ඉන්නේ පාං කන්න ඕනි වෙලා හොරෙන් අවා. දැන් හොස්ටල් බාර සර් ආව කන්න. කියල නන්ස්ටොප් කියවගෙන ගියා. මමයි සම්පතයයි ඇතුළු සමස්ථ කුස්සියේ සෙට් එකම අරූ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. කුස්සියේ අයියල සෙට් එකගේ මූනට හිනවක් එන කොටම ඒකට සමානුපාතිකවම අපේ ඇගට ලේ ටිකක් ඉනුව හොදේ. අපි තුන්දෙනා දැන් ඉතිං කුස්සේ මුල්ලකට වෙලා, මිනී මරල පොලිසියට මාට්ටු උන් වගේ පුල් සරනාගත මූඩ් එකක් දාගනෙ ඉන්නවා. අයියල සෙට් එකගේ අනුකම්පාව දොර ගලල අහවල් ඒවත් පිටාර ගලල අපිට කුස්සියේ හැංගිල අවසර දුන්නා. බලනකොට සර්කාරයයි යාළුවයි තපස්සු බල්ලුක වගේ ඉදගෙන උනුත් පාං කනවා. අපේ පාං ගෙඩි දෙක අපි නැතුව මේසේ උඩ වේලෙනවා. තරිදුව ආයෙත් අර අයියල පැත්තට හැරිල, අයියේ අපේ පාං අර මේසේ උඩ කිවුවා. ඌ ඒක කියපු විදිහට මට ඌව බදාගෙන අඩන්න හිතුනා. ඒ විතරක් නෙමෙයි අඩල ඉවර වෙලා මගේ මස් වලින් උගේ බඩ පුරවන්නත් හිතුනා. අනේ ඉතිං අර අයිය බබෙක් ගිහින් ඒ ටිකත් අපිට ගෙනත් දුන්නා. දැන් සර් කාරය ඉස්සරහ කනවා. අපි කුස්සියෙ කනවා.
අපි දැන් කාල ඉවර වෙලා බලනකොටත් සර් කාරය කනවා. උට යන්න හිතක් ඇත්තෙම නැද්ද කොහෙද. අපේ පපුව ඩෝං ඩෝං ගාල ගැහෙන සද්දෙත් ඌට ඇහෙන්න ඇති. දැං ඉතිං කමක් නෑ පාං කාලනේ ගුටි කන්නේ කියල අපි හිත හදාගෙන ඉන්නවා. අප්පට සිරි, ගිනියම් අවුවේ මහ වරුසාවේ නෙමෙයි දෙයියෝ වැඩ ඉන්නේ කුස්සියේ කියල කුස්සියේ අයියල සෙට් එක අපි තුන් දෙනාට ප්ලේන්ටිත් හදල දුන්න. කුස්සියටම ආපු මිනිහෙක්ට තේ එකක් නොදී යවන එක හරි නෑනේ කියල අයියල ටිකට හිතෙන්න ඇති. අපිටත් ඉතිං දුන්න තේ එක නොබී ගියොත් අයියලගෙත් හිතට හරි නෑනේ කියල පැනල තේ ටිකත් බිවුවා. දැන් ඉතිං බිල කීයද දන්නේ නෑ කියල හිමීට අහිංසක පාට් එකේ ඇහුව බිල කීයද කියල. අනේ ඉතිං අර අයියලගේ කටේ පාං ඔබන්න හිතුනා. සල්ලි ඔනි නෑ මල්ලි යන්න පරිස්සමින් කිවුවා. පාං දාන්න පාං ඉතුරු වෙලා තිබුනේ නැති නිසා අපි මොකුත් කටේ නොදා හිටියා. සල්ලි ඉල්ලුවන්ම් ඉතිං අපි කැටේ කැඩුව වගේ අරන් ආව ඔක්කොම ටික ගනන් නොකරම අයියලගේ අතේ තියනවා. කාසි සාක්කුවේ දාගෙන යද්දිත් සලං බලං ගානවනේ, හොර වැඩ කරන්නත් අමාරුයිනේ.
ආය ඔලුව දාල බලද්දි සර් කාරය ගිහින්. අපි තුන්දෙනත් ලැසි ගමනිනු සැදි මුව හසරැල්ලක් දාගෙන එලියට පැන්න. අර අයියල සෙට් එකට පින් දෙන්න අමතක කරෙත් නෑ. ඒ දුන්න පින් වල හැටියට උන් සෙට් එක ක්ෂණිකව නිවන් යන්න ඕනි. දැන් ඉතිං අපි හොටෙල් එකෙන් එලියට බැහැල අඩි දෙකක් එන්න නෑ මෙන්න යකෝ සර් කාරය හැරිල ආයම එනවා. බය වෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ මම අරුන් දෙන්නවත් ඇදගෙන එතන තිබුණ ෆෝන් බූත් එකක් ඇතුලට රිංග ගත්තා. තුන්දෙනා  ඩබල් දාල බොක්ස් එකක ෆිල්ම එකක් බලන්න ගියා වගේ දැන් ඉන්නවා.( මේ කාලේ වෙන කොට බොක්ස් වලට ගිහින් තියා අහල දැකල වත් නෑ හොදේ චී......පස්සේ කාලේ කියලත් ඉතින් වෙනසක් නෑ) සර් කාරය ආයම හොටෙල් එක ඇතුලට රිංගනකල් ඉදල අපි හිමීට එතනින් මාරු උනා. පොලොවටවත් දැනෙන් නැතුව හොස්ටල් එකෙන් ආව අපි කඩාගෙන බිදගෙන කුඩුපට්ටං පොඩි කරගෙන ආයෙත් හොස්ටල් එකට දිව්වා. හොස්ටල් එකේ තත්වේ ය. පරිදි තථා ආකාරයේන තියනවා. කාටවත් අපි නැති අඩුව දැනිල නෑ. කොහොම හරි ඉතිං එදා අපි සල්ලිත් ඉතුරු කරගෙන කඩෙනුත් කෑව ඕං.

මං රස්තියාදුකාරයා
Share:

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.