ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

මිෂන් කෙහෙල් කැන්

ඹන්න ඉතිං අප්පා ගොඩක් කාලෙක පස්සේ ආයෙත් රස්තියාදුවක් ගහන්න ආව. පහුගිය දවස්වල ඇදහැලිච්ච ධාරාණිපාත වර්ෂාව නිසා අන්තර්ජංජාලෙ පැත්තේ එනන බැරුව හිටියෙ. ඔන්න ඉතිං ඒකත් හරි.

දෙයියනේ කියල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉස්කෝලෙකට ගිහිං පිස්සුවක් කෙල කෙල ඉන්න කාලේ තමයි මේ සිද්දිය උනේ. සමාවෙන්න පාසල් මෑණියනේ මෙහෙම වදාරනවට මොකද අපේ ඉස්කෝලෙ නාහෙට අහන්නේ නැති අන්ඩපාලයෝ ඔක්කොම වගේ ශිෂ්‍ය නායකයෝ. මක්කරන්නද ඉතිං මාත් ඒ ගොඩේම තමයි. මොකද අපි ඉතිං අහිංසක සුකුමාල විදිහට පාසල් ජීවිතේ ගත කරගෙන කරගෙන ගියානේ. සර්ලට අපිව පාලනය කරන්න උඩින්ම පුළුවන් නිසා අපිව ශිෂ්‍ය නායකයෝ කරා.

ඔන්න ඉතිං අපිත් ඉතිං දැහැමින් සෙමෙන් රට පාලනය කරගෙන ඉන්නවා. අපේ ඉස්කොලේ වටේම ඔය දවස් වල කෙසෙල් වගා කරල තිබුනා. අපි ඉතිං ඔය ගස් ටිකට ඇහැ ගහගෙන හිටියේ. නක්කලේට හිනා වෙන්න එපා යකෝ. ඇහැ ගහගෙනම හිටියේ මොකෙක් හරි නොසන්ඩාලයෝ ටිකක් කෙසෙල් කැන් ටික කපාගෙන යයි කියල තියන බයට. අපි ඒ තරම් ඒ කෙසෙල් කැන් ටිකට ආදරේ කරා. මොකද ආය ගමේ වැල ගමේ කපුටන්ට වගේ තමයි ඉස්කෝලේ කෙසෙල් ඉස්කෝලෙ කපුටන්ට. හැබැයි ඉතිං එක කපුටෙක්ට ඒකෙ වහන්න දුන්නේ නෑ අපි.

අපේ සෙට් එකේ පොරක් හිටිය අසංක කියල. ඒ උනාට සර්ලවත් දන්නේ නෑ උගේ නම අසංක කියල. අපි පොරට කිවුවේ අබා කියල. පොරක් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක්, හැබැයි සමහර සමහර දේවල් වලට. පස්සේ කියන්නම්කෝ ඒවා. අබා හිටියේ අපේ අනිත් පංතියේ. අහ් කියන්න බැරි උනානේ. අපි මේවෙනකොට 13 වසරේ අයියලා ඕං.. මූ දවසක් අපේ පංතියේ උගන්නන වෙලාවක පංතියේ එලියෙ ඉඳන් අතින් මට කතා කරනවා. සර් මෙහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උගන්නවා. අරූ අරහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නද කොහෙද මට කතා කරනවා. මූ සාමාන්‍යෙයන් මෙහෙම කතා කරන්නේ අතිශය වැදගත් වැඩකට වෙන්න ඕනි. ඒත් දෙයියනේ මේ අයි ගෝ ටු ද ටොයිලයට් කියල මෙතනින් නැඟිටල යන්න ඇයි. මම ඉස්සරහම පේලියේ ඉන්නෙත්. මූ මට කතා කරන්නේ සර්ගෙ පිටි පස්සේ ඉඳල නිසා සර්ට මූව පේන්නේ නෑ. ටික වෙලාවක් මූ එලියේ ආඬපාලි, දහ අට සන්නිය එහෙම නට නට ඉදල එක සැරේම මහසෝනා වගේ අවෙ නැතෑ පන්තියට. මූ පංතියට ඇවිල්ල කිවුවොත්, සර් චන්දිමාල්ට චූ බරයි එයාට ටොයිලට් යන්න ඕනිලු කියල මල මඟුලයිනේ. දැං මූ මොනා කියයි ද කියල මං බයේ. මූ ඇවිත් සර් ගාව හිටගෙන දැන් වට පිට බලනවා. මං මූව දැක්කේ නෑ වගේ වටපිට බලනවා. මූ එක සැරේම මාව අවුරුදු ගානකින් දැක්ක වගේ ,
“අහි මේ ඉන්නේ, සර් චන්දිමාල්ට ප්‍රින්ස්පල් සර් එන්න කිවුවා“
කියපි. මම ප්‍රධාන ශිෂ්‍ය නායකය නිසා එහෙම කතා කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් දෙයියනේ මට තියන ප්‍රශ්නේ මූ මොකද මාව ඔෆිස් එකට එක්කන් යන්න මෙච්චර තැටමුවේ කියල. මමත් දැන් සැදී පැහැදී මූත් එක්ක ඔෆිස් එකට යනවා. මං ඇහුව 
“ඇයි බං අබා“ 
මූ එක  සැරේම කියපි
“නෑ බං මට චූ බරයි“
අම්මප මට හොඳවයි දෙකක් නෙහෙයි දෙක තුනක්ම කටට ආවා. එත් ඉතිං පාසල් මාතාවගේ මූන බලාගෙන පරුසා වචා වදාරන එක හොඳ නැති නිසා මං වට පිට බැලුවා. අඩි දෙකේ දෙකේ පොල්ලක් හොයාගන්න මූගේ චූ බර හොඳ කරන්න. 
“නෑ නෑ වරෙන්කෝ බඩුවක් පෙන්නන්න“
කියල මූ ඒ පාර මාව එක්කන් ගියා ඉස්කෝලෙ කොනටම. මාත් ඉතිං දැං ආය පංතියට යන්න කම්මැලිකමට මුගේ පස්සේ වැටිල නැට්ට වගේ යනවා. මු දැං ඉස්කෝලේ කොනේම තියන කෙසෙල් වගාව ලඟට ගියා. මාත් ඉතිං මු වට පිට බලල රිංගුව කෙසෙල් වගාව අස්සට. මටත් මොකද මිත්‍රතොමෝ නිසා මාත් රිංගුව. මූ ඉන්නවා ගහක් යටට වෙලා සිරික්කිය දාගෙන. අප්පට සිරි ගජ නන්දෙට කජු මද කිවුවලු කෙසෙල් කැනක් ඉදිල හරියට ඕෂධී නැන්දගේ මූන වගේ. ඔවු ඔවු ඒ ඕෂධී තමයි.

දැං ඉතිං අපි වට මේසේ සාකච්චාවක් දාන්න ඕනි වෙලාව. කස්ටිය ඔක්කොම සෙට් වෙනකල් ඉඳල, එක්කොම කිවුවේ ප්‍රදීප් නොහොත් රිටා, සාලිය නොහොත් ඩයනා, අසංක නොහොත් අබා සමඟ වේදිකාමේ මම නොහොත් මමම තමයි. දැන් ඉතිං අපි, මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහනවා අපි. ලියන මහත්තය වගේ රිටා කොලේකුයි පෑනකුත් අරන් ඇවිත් නිසා අපි ඔක්කොටම කලින් ලිවුවා.
“වෙන්කර ඇත.....විදුහල්පති..“
කියල. ඊට පස්සේ එකත් කෙසෙල් ගහේ අමුණල ප්ලෑන ගැහුව. 
වේලාව   -   සවස 04.15
 ස්ථානය -  කෙසෙල් වගාව

ඔන්න දැං මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහල ඉස්කෝලේ ඇරල සතුටින් විසිර ගියා අපි නැවත හමුවෙන බලාපොරොත්තුවෙන්. දැන් ඉතිං ගෙදර ගිහින් කාල බීල කෙසෙල් කන්න බඩේ ඉඩත් තියාගෙන දොයිය බබා දොයි කියල හිටිය. නැඟිටිද්දි 04.15 පහුවෙලා..මම තනි ඇහෙන් බැලුව ෆෝන් එක දිහා. හරි, ආදර ඇමතුම් රාශියයි. ෂෝක්, මිත්‍ර ධර්මයේ නාමයෙන් මුං මං දන්නේ නැති කුනු හරප වලිනුත් මට බැනල. මම බුක් ගාල කිට මරාගෙන දිව්වා පාසල් මාතාව පොඩ්ඩක් මීට් වලො එන්න. මං යද්දි සාලිය විතරක් ඉන්නවා ගලක් උඩ වාඩි වෙලා. අනිත් උන් දෙන්න පේන්න නෑ. මං උන් ගැන අහන්න කලිං ඩෝං ගාල අහසද කොහෙද කඩාගෙන වැටුනා එතන තිබුනේ ඉංග්ලිස් යුනිට් එකේ වහලෙ උඩට. උඩ බලද්දි රිටා කුරුම්බ ගහක් මුදුනේ. මූ කුරුම්බා කඩල බිමට දානවා. සද්දෙට ක්වාටස් වල ඉන්න සර්ල එයි කියල මායි සාලියක් ඉක්මනට කෙසෙල් වගාව අස්සට රිංග ගත්තා. ඒක අස්සේ අබාත් ඉන්නවා කෙසෙල් කැන් හොය හොය. ටිකකින් රිටා ආව කුරුම්බ ගෙඩි තුනකුත් අරගෙන. ඒව විතරක් නම් කමක් නෑ මූ ඇවිත් අපිට වලහයි යාළුවෝ දෙන්නගෙයි කතාව කියනවා.. අපි පැනල දිවුවේ නෑ උපක්‍රමශීලීව පසු බැස්ස කියල මූට තේරුම් කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න ම්හ්. හරියන්නේ නෑ. මම ඉතිං තේරුම්ගත්ත මූට ඒක පැහැදිලි කරල දෙනවට වඩා ලේසිය නුවර එලිය පැත්තේ වරායක් හදල නැව් ගේන එක කියලා. කතාව වෙනස් කරන්නත් එක්ක ඔන්න ඉතිං මං මිෂන් කෙහෙල් කැන් ගැන ආයම මුං ටික දැනුවත් කලා. යන්තම් ඕං රිටා ඉන්ග්රෙඩිබල් හල්ක් තත්වෙන් මිදුනා ඕං...

දැං ඉතිං මිෂන් කෙහෙල් කැන් ක්‍රියාකාරී අදියරේ. දැං උගතෝකෝටික පුරස්නේ තමයි කෙසෙල් කැන කොහොමද කපන්නේ කියල. දුකේ බෑ ගහ කපල දාන්න. ඔන්න දැං තමයි මම මුලින්ම අබා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක් කිවුව එක ක්‍රියාවට නැංවෙන්නේ.
“අනේ බං ගහට නැඟල කෙසෙල් කැන හිමීට බාමු බිමට. ඕක මහ වැඩක් යැ“
මමනම් මෙච්චර කල් එහෙම කෙසෙල් කැන් කැපිල්ලක් අහල තිබුනේ නෑ. ඒත් ඉතිං අලුත් අලුත් දෑ මොනාද නොකරන ජාතිය ලොව නොනගී කියලනවනේ, ඇයි අම්මපල්ල අර මාස්ටර් කියන්නේ මොනාද සිතුවිලි සිතනා සිතත් උදාරයි කියල. උදාරට විතරද අලුත් සිතුවිලි පහල වෙන්නේ, ඇයි අපේ අබා කළුද? ඔවු ඉතිං ඌනම් කළුයි තමයි ඒක වෙනම කතාවක්.

කෝම හරි දැං අබා කෙහෙල් ගහට නඟින්න ලෑස්තීනේ. එත් ඉතිං ප්ලෑනිං දුර්වලතා එකින් එන එලියට එන්න පටන් ගත්තා. පිහියක් නෑ කැන කපන්න. මේ ඇඳුම් ඇඳගෙන නගින්න බෑ කහට ගෑවෙනවා. මල කෙලියයි. කුරුම්බා ගෙනාවට ඒවා කපන්නත් පිහියක් නෑනේ. අපේ ඉතිං ගෙදර තිබුනේ අල්ලපු වැටේ නිසා මූං ඔක්කෝම කන්න වගේ මගේ දිහා බලාපි. මං ඉතිං ඉෂ්ට දේවතාව වගේ දුවල ගිහිං පිහියක් ගෙනාවා. (ප.ලි මේ වෙනකොට ඉෂ්ට දේවතාවන්ට දුවන්න බෑ කියා නොදැන සිටියෙමි.) ඒත් ඉතිං ඇඳුමක් තමයි ප්‍රශ්නේ. නිර්වස්ත්‍ර ඇඳගෙන නඟින්නත් බෑනේ ඒ ඇඳුමේ කහට ගෑවුනොත් ඔක්කොටම හපන්නේ.

සාලිය නිකං එක සැරේම දැන් නැඟිට්ට වගේ හරි වරෙන්කො යන්න කියල අපිවත් ඇදගෙන දැන් හිමීට හිමීට ක්වාටස් ලඟට ආවා. එතන ක්වාටස් එක අපේ පංති භාර අබේරත්න සර්ගේ. උගන්නන්නේ බී.සී. මේ වෙලාවේ ඒ.බී.සී වත් මතක් වෙන්නේ නෑ, ඇයි යකෝ හොරෙන් කෙහෙල් කැනක් කපන්න ඇවිත් සර්ලගේ ක්වාටස් අස්සේ මොන රෙද්දට රිංගනවද, අහ් කියන්න අමතක උන කාරණා දෙකක් තියනවා. ඒ, මිස්ටර් අබා මගේ ටිකක් ඈතින් නෑදෑයෙක් වීම සහ මේ දැං කතාවට ආව අබේරත්න සර් අපි දෙන්නගෙම බාප්පෙක් වීම. බාප්ප උනත් බං පංතිභාර සර්නේ. ගෞරවෙන් කටයුතු කරන්න ඕනි. සර්ගේ ගෙදර පිටිපස්සට හිමීට ගෑටුවාම තමයි නිධානේ දැක්කේ. ටිකාාාාක් පරන සරමක්. අපිට හිතන්නවත් වෙලාවක් ගියේනෑ සාලිය කුමාරයා රාජ ලීලාවෙන් ගිහින් වැලේ තිබුන සරම උගේ වගේ අරන් ආව.

දැන්  ඉතිං ඒ ප්‍රශ්නෙත් හරි. දැං ඉතිං බාප්පගේ නොහොත් අබේරත්න සර්ගේ සරම උගේ වගේ ඇඳගෙන අපේ අබා කෙසෙල් ගහේ. මං ගෙනාපු පිහියත් දැන් ඉනේ ගහගෙන මු ගහේ. අම්මප මූටනම් හොරෙන් කෙසෙල් කපල අවුරුදු ගානක අත්දැකීම් තියනවා වගේ. දැන් ඉතිං මලට නොතලා රොං ගන්නවා වගේ ගස නොතලා ගහට හොරෙන් අපි අලි කෙසෙල් කැන කැපුව ඕං..ඊට පස්සේ ඉතිං අපේ ගුරු ගෞරවේ පෙන්නන්න ආයම සරම ගිහින් දැම්ම තිබුන තැනටම.

ඒ කෙසෙල් කැන අලි කියන්නේ අලිම අලී.. කෙසෙල් ගෙඩි හතරක් පහක් කකකොට ආය බඩේ ඉඩ නෑ. අහ් කුරුම්බා වලට පොඩී ඉඩක් තිබුන. මේක ගෙදර අරන් යන්න ඇයි. මොකද කරන්නේ කියල කල්පනා කරල වටමේසේ සාකච්චාවක් දාලා අවසාන තීරනයක් සභාසම්මත කරගත්තා. මගේ යෝජනාවෙන් සාලියගේ ස්තිර කිරීමේන් එම යොජනාව සභා සම්මත වූවේය. උක්ත ආඛ්‍යාත හා අක්ෂර වින්‍යාසය ගැන හිතන්න එපා, කොහොම හරි ඔය මං කියපු විදිහට වැඩේ උනා. යොජනාව තමයි කෙහෙල් කැන අද කොහෙ හරි හංගල හෙට පංතියේ උන්ට කෙහෙල් පාටියක් දෙමු කියල.

ඔන්න දැං ඉතිං ඉර මාමා බැහැල හිහින් හඳ මාමා ඇවිත් ආයෙත් ඉර මාමා ඇවිත් දහසක් බුදුන් බුදුවන උදෑසනක් ආවලු. අපිත් ඉතිං අහිංසක ගිරා පෝතක තිත්ත පැටවු වගේ පුංච් දෙපා තබා  ළදු දෙනි පැන දෙවැට දිගේ ගුරු පාරින් එගොඩ වෙලා ඉස්කෝලෙට ගියාලු.

ඉස්කෝලෙත් ඉතිං වෙනද වගේ සාමකාමී සැහැහැවත් සර්ව සම්පූර්ණයි, එක කෙහෙල කැනක් ඇරුනම. දැං ඉතිං උදේ රැස්වීමටත් වෙලාව හරි, වෙනදට උදේට පිපුණු කඩුපුල් මලක් වගේ පිපිල ඉන්න අපේ ප්‍රින්සිපල් සර්ගේ මුන ටිකක් විතර වෙනස් වෙලා. මං අනිත් උන්ගේ මූන බැලුව. උන්ටත් වැඩේ තේරිලා. කොහොම හරි සර්ගෙ කතාව වෙලාවේ සර් මරු කතාවක් කියපි. අවසර මොකුත් නෑ. සුබ පැතුම් මොකුත් නෑ, සර් කතාව පටන් ගත්තා.
“මේ ඉස්කෝලේ කෙසෙල් කැන් 24ක් තිබුන දැන් තියෙන්නේ 23යි.“
කියල පටන්ගත්ත කතාව ටිකක් සැරට ඇදීල ගියා. අපිටනම් ඒ කතාව හරි හැඟුම් බරයි. ඒ වගේම ඇඞුම් බරයි. අපි දැන් ශෝකයෙන් ගැබ්බරයි. ඇයි යකෝ අපිට වඩා හොඳට ප්‍රින්සිපල් සර් කෙසෙල් කැන් වලට ඇහැ ගහගෙන ඉඳලනේ. තව ටික වෙලාවකින් සර් අඩු උන කෙහෙල් කැලේ තිබුන ගෙඩි ගානත් කියයි. අපි ඉතිං කෙසෙල් කාපු කටින් කෙල බිංදුවක් හලන්නේ නැතුව හිටිය. ඒත් අනේ පලවෙනි පීරියඩ් එකේම මට කැඳවුමක් ලැබුන ඔෆිස් එකට. මං ඉතිං ආත්මාරක්ෂාවට මොකටත් සාලියත් එක්කගෙන ගියා. මැරෙන්න උනත් යං කිවුවම දෙයියනේ කියල මගේ යාළුවො ටික බෑ කියන්නේ නෑ. 
“ දෙන්නගෙම බැජ් දෙක ගලවල දෙනවා. තමුසෙලා මේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ.. බ්ලා බ්ලා බ්ලා“
ඕක තමයි මං බලාගෙන ගියේ. ඒ උනාට උනේ අනිත් පැත්ත.
“ මට අදම ඕනි කෙසෙල් කැන කපපු උන්ව හොයල. අපි මේකෙන් හොරු බිහිකරන්න නෙමෙයිනෙ උගන්නන්නේ.“
හොරාගේ අම්මගෙන් පේන අහල නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ. දැන් හොයපියකෝ හොරු. උගතෝකෝටික ප්‍රශ්නයක්. අපි දහ අතේ කල්පනා කරලා. රිටා කියනවා අපි පොලීසියට භාර වෙමුලු. ඊ... විලි ලැජ්ජයි. එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

අදහසක් ආවා. අපි මුලින්ම පංති පංති ගානේ ගිහින් හොඳින් ඇහුව කවුද කෙහෙල් කැන කැපුවේ කියල. අඩේ කවුරුවත් කපල නෑනේ. ඊට පස්සේ ඉතිං තව පොඩි මල්ලිලා තුන් හතර දෙනෙක් එක්ක බොරුවට ඉතිං හෙවුව ඔන්න කෙහෙල් කැන. බලන්නකෝ මේ මල්ලිලාගේ හපන්කම්. ඊයේ කවුද හොරාට කපල ගෙඩි ටිකක් කාල හංගල තිබුන කෙහෙල් කැන හොයාගත්තනේ. අපිටත් ඉතිං අපේ ඉදිරි පරම්පරාව ගැන මාර සතුටුයි. මුං ටික ඉතිං නිධානයක් හමුබුනා වගේ අරක උස්සන් ගිහන් ප්‍රින්සිපල් සර්ට දුන්නා. අපි ඉතිං කිව්වා හොරු නෑ බඩු විතරයි, උන්න හැටියට මලා මදැයි කියල. සර් ඉතිං දෙයියනේ කියල අපේ කීම පිලිගත්ත. ඒකනේ අපේ ප්‍රින්සිපල් සර් දෙයියෙක් කියන්නේ.

දැං ඉතිං අපි මොකුත් උනේ නෑ වගේ ඉන්නවා. අබේරත්න සර්ටත් සරම ගැන ගානක් නෑ වගේ. අපිට දුක ඉතිං මිෂන් කෙහෙල් කැන් සාර්ථක වෙලා අතට ආව කෙහෙල් කැන කටට දාගන්න බැරි උන එකට.

කොහෙම හරි ඉතිං අපි හිත හදාගමු රංජනී කියල ඉන්නකොට ඉන්ටවල් එක වෙලාවේ අබේරත්න සර් එනවා පංතියට කෙසෙල් ඇවරි දෙකකුත් අරගෙන. අප්පට සිරි. ප්‍රින්සිපල් සර් ගුරු මංඩලේ අයට කෙසෙල් දීල. සර්ට ඉතිං ඉන්න සුවච කීකරු ගෝලයෝ ටික මතක් වලො හදවත කීංං.....ගාන්න අරගෙන සර්ට දුන්න කෙසෙල් අපිට ගෙනත් දුන්නා. අපිත් ඉතිං සර් එක්කම සර්ගේ සරමටත් පිං දිිදී කෙසෙල් කෑව.

තවම ඉතිං අපේ ප්‍රින්සිපල් සර් දන්නේ නෑ 24ක් තිබුන කෙසෙල් කැන්ටික 23 උනේ කොහොමද කියල. ඒත් සර් දන්නවා උත්තුංග දේහදාරී යුග ශීෂ්‍ය නායකයින් හතර දෙනෙක් විසින් වික්‍රමාන්විත අයුරින් නැවතත් ඒ නැති උන කෙසෙල් කැන අබ්බගාතකොට හරි හොයල දුන්න කියල. කාටද ආඩම්බර. ඈ.......

මං රස්තියාදුකාරයා...


Share:

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.