ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

ඉස්සරහිනුත් පාර වහලද පුතා

මේක උනේ උසස් පෙළ කියන කිරි ආහාරය අපිව වළඳල ඉවර වෙලා ටික කාලෙකින්. මම ගෙදර හිටියොත් ගෙදර ඉන්න බලු පැටිය නැහැදෙනවා කියල අපේ ලොකු තැන ඉතිං මට බැංකුවකටවත් වැඩට යන්න කිව්වා. මං ඉතිං අම්මා අප්පච්චි කියන දේ අහගෙන ඉන්න අහිංසක කොලු ගැටයෙක් නිසා ළඟම තියන මහජන බැංකුවට ඔන්න වැඩට ගියා. අම්මට සිරි ඒක සුර පුරයක්. ඔක්කොම හිටියේ මං වගේ අහිංසක අයියල අක්කල ටිකක්. දවස් දෙකයි වැඩට ගියේ බැංකුව නිකං ගෙදර වගේ. පිස්සුමයි කෙලින්නේ. 
බැංකුවේ හිටියේ වැඩට හරියට ඇලුම් කරන කොල්ලෝ ටිකක් නිසා සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස තුනේ සිට අපි පිට්ටනියේ ක්‍රිකට් ගහනවා. වැඩ ඔක්කෝම ටික කොහෙම හරි ඉවර කරගෙන හවස් වෙද්දි අපි බැංකුවෙන් පිටට පනිනවා. ඔන්න මේ කියන දවසෙත් අපි ක්‍රිකට් ගහන්න ගියා.
බැංකුවේ අයත් එක්ක ක්‍රිකට් ගහන්න පිට යාලුවොත් එනවා. මගේ උපන්දාසිට තවම ඉන්න යාළුවෙකුත් ඒ සෙට් එකේ හිටියා. නම මදුරංග කියමුකෝ. ආදරේට ඉතිං අපි කියන්නේ මැක්කා කියල. මූ ඉපදුනෙත් මං ඉපදුන හොස්පිට්ල් එකේ. අපි මොන්ටිසෝරි, දහම්පාසල්, ඉස්කෝලේ ගියේ හැම දේම කරේ එකට. කුපාඩි වැඩත් අනන්තවත් කරල තියනවා. පොඩි කාලේ කරපු කුපාඩි වැඩ පස්සේ කියන්නම්කෝ. දැන් ආවේ මේ ජම්බුගහෙන් වැටුනට පස්සේ කරපු කුපාඩි වැඩක් කියන්නනේ.
මම වෙනදා බැංකු එන්නේ බයික් එකේ. එදා මොකක්හරි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මම බස් එකේ ආවේ. මම බයික් එකේ එයි කියල මදුරංගත් බයික් එක දාලා අවිත්. උෟත් මගේ පානෙන් එලිය බලන්න ඇවිත්. දැන් එලිය තියා පහනවත් නෑ...
අපි දැන් ඉතිං ක්‍රිකට් ගහනවා...ගහනවා....ගහනවා.......පැය ගා.....නක් දැන් ඉතිං ක්‍රිකට් ගැහුවා..6.30ට විතර ඔන්න ඒක ඉවර උනා..ඊට පස්සේ ඉතිං 7 වෙනකල් ග්‍රවුන්ඩ් එකේ රෙස්ට් කරා...වල් පල් දොඩව දොඩව අනුන්ගේ රෙදි සෝද සෝද හිටිය අපි ඉතිං..7ට විතර ඔන්න ගෙවල් මතක් වෙලා (වැඩියෙන්ම බත් පිගාන මතක් වෙලා) යන්න ලෑස්ති උනා. ඊට පස්සේ ඉතිං බැංකුවේ අයියල නතර වෙලා ඉන්න චමරියට ගිිහින් එතනත් ඉතිං වාත වෙවී ටිකක් වෙලා හිටිය. අපි ඉතිං ගෑනු කස්ටිය නොවන නිසා පැයයෙන් ලිඳ ලඟ සංගමේ යන්තම් ඉවර කරගත්තා. අපි ඉතිං ඔය ගෑනු කස්ටිය වගේ අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්නේ නෑනේ. ඒක නිසා තමයි 6.30ට වැඩ ඉවර වෙලා 8 වෙනකල් වාත නොවී හිටියේ.
දැන් ඉතිං ගෙදර යන්න බයික් එකත් නැති නිසා මදුරංගයි මායි බස් එකක් එනකල් පයින් යන්න තීරණය කරා ඔන්න. ඉස්සර පොඩි කාලෙත් ගෙදර යන්න දෙන සල්ලි වලට අයිස් කාල අපි පයින් ගෙදර ගිය නිසා ආයෙත් යන එක ගේමක් නෙමේනෙ කියල පයින් යන්න පටන් ගත්තා. දැන් ඉතිං අපි පයින් යනවා. ඉස්සර කරපු වැඩක් මතක් වෙලා කඩෙන් ගත්තා ගිනි පෙට්ටියක්. දැන් ඉතිං පාර දෙපැත්තේ තියන කොල ගොඩවල් වලට ගිනි තිතිය අපි යනවා. කරුමේ කියන්නේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන කොල ගොඩක් ගිනි තියන්න ගිහින් දන්නෙම නැතුව බස් එකක් ගියා. අපි ඉතිං හිතාගත්ත මේ කොට කලිසම් කෑල්ලක් ගහගෙන දාඩිය පෙරාගෙන ඉන්න අපිව කොහෙමත් ඒ බස් එකට වැද්ද ගන්නේ නෑ. ඒක නිසා කමක් නෑ කියල. අනික අපි ජාතික සත්කාරයක්නේ මේ කරන්නේ. ඇයි අප්පා ආසියාවේ අහවල් එකට හරි, යහ පාලන අහවල් එකටද මොකක්ද එකට හරි යන්න ඉතිං රටේ කුනු තියාගෙන බෑනේ. අපි ඉතිං අපේ රට පිරිසිදුව තියාගන්න එපැයි. හැබැයි ඉතිං ඒ වැඩේ වැඩි වෙලා කරන්න උනේ නෑ මගේ අතින් ගිනි පෙට්ටිය වැටුනා ගිනි ගොඩට. දැන් ඉතිං හුලු අත්තක්වත් පත්තු කරගන්න විදිහක් නෑ කිය කියා අපි දෙන්නා පයින් යනවා. 
ඔය දවස් වල අපේ පැත්තේ පාර හදනවා. අර රට පුරා පාරවල් කාපට් කරපු කාලේ මේ. එක නිසා පාරේ එක පැත්තක් වහල අනිත් පැත්ත ඇරල. පාරේ එක පැත්තකින් තමයි වාහන යන්නේ. අනිත් පැත්ත පාර හොදටම කඩල මඩ වෙලා. පාර කහපාට අර පීත්ත පටි වගේ අහවල් යැයි හදුන්වන පටි වර්ගෙකින් දෙපැත්තට බෙදල තියෙන්නේ.( ඒ පටි වල නම මතක නෑ අෆ්ෆා.) පාර පටන් ගන්න තැනින් අර මඩ වෙලා වලවල් තියන පැත්ත වහල තියෙන්නේ. අනිත් පැත්ත කාපට් කරල. දැන් ඉතිං අපි කාපට් කරපු පැත්තෙන් පයින් යන්න පටන් ගත්ත්. අම්මේ කෆීර් එකක් අාවා කාපට් පාරේ 180ට විතර ආව නිසා ඒ වාහනේ ආරක්ෂාව පතා අපිට උනා අර මඩ තියන පැත්තට පනින්න. දැන් ඉතිං සපත්තු වලත් මඩ. ඒ විදිහට පාර බෙදල තියන එක 2කි.මී වගේ තියනවා. යකෝ මේ වගේ වාහන තුන හතරක් ආවොත් අපි අනාතයිනේ. අපි දෙන්න කල්කනා කරා නිරුපද්‍රිතව කිලෝමීටර් දෙක යන්න ක්‍රමයක්. මගේ ටිකිරි මොලේට මරු අදහසක් ආව. මදූ දිහා බැලුව ඌටත් අදහසක් පහල වෙලා වගේ නක්කල් හිනාවක් දාගෙන ඉන්නවා. 
“පාර වහමු“
“එකෙන්ම“
ඔච්චරයි දෙන්න කතා උනේ පාර පටන් ගන්න තැනට හැරිල ගියා ආයම. මං කිවුවා වාහනයක් හරි මිනිහෙක් හරි එනවද බලපං කියල. පාර දෙපැත්තම ක්ලියර් වෙනකල් ඉදල මං ඉක්මනට පාර කැඩිල තියන පැත්තේ තිබුන අර කහපාර අහවල් පටිය ගලවලා එහෙමම ගෙනාව පාර හොඳ පැත්තට. එකල්ලා ගැටගැහුව ඒක ගහක. දැන් පාරේ එන වාහන වලට කාපට් පාර ක්ලෝස්. කැඩිච්ච පාර ඕපන්. කොහොමද ටිකිරි මොලේ. හැබැයි ඉතිං දැන් අනිත් පැත්තෙන් වාහනයක් ආවොත් වැඩේ අතේ මාට්ටු. ඒක නිදා අපි දෙන්න ඉක්මනට එතනින් මාරු
දෙයියනේ කියල අපි දෙන්න කිසිම අවුලක් නැතුව කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ අනිත් පැත්තේ කොනටම ආවා. අපි  ඉතිං කාවත් කරදරයක් නොකර පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෝ නිසා එක වාහනයක් වත් ආවේ නෑ ඒ වෙනකල්. අපි ඉතිං කල්පනා කරා අසරණ රියදුරෝ පවුනේ. පාරේ එක පැත්තකින් ගිහින් අනිත් පැත්තේ අග හිර වෙනවනේ. එහෙම කරන්න හොඳ නෑනේ. අපි හැමෝම මිනිස්සුනේ. ඒක නිසා ඔන්න ඔහේ අපි අනිත් පැත්තෙත් හොඳ පැත්ත වහල මඩ වෙලා තියන පැත්ත ඇරියා. කොච්චර කරත් අපිත් හිත් පිත් තියන හිත් උනු වෙන මිනිස්සුනේ. 
දැං ඉතිං අපි ආයෙත් පරණ පාරේ. කොහෙන්වත් වහල නෑ කාපට් නෑ. වලවල් නෑ පාඩුවේ යන්න පුළුවන්. අපේ කරුමෙට බසුත් නෑ. තව කොහෙමත් 2කි.මී වගේ යන්නත් තියනවා. අපේ ඉස්සරහට වාහන හෝ ගාලා එනවා.එත් අප්පා ගෙවල් පැත්තට යන්න එකක් වත් තවම ආවේ නෑ.
ඔහොම ටික දුරක් යද්දි කහපාට තඩි ලොරියක් එනවා ඈතින්. අර වැලි අරන් යන ටිපර් එකක්. මොක මොකද අප්පා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවට. දවල් ඉඳල නටල නටල පුදුම මහන්සියකින්නේ ඉන්නෙත්. අපි ඉතිං උදෙ හවස දෙයියෝ බුදුන් අදහන් ඉන්න ධර්මිෂ්ට උපාසක අහිංසක සුකුමාල ළමයි දෙන්නෙක් නිසා අනිවාර්යෙන් ටිපර් එක නවත්තනවා කියල හිතාගෙන පාර මැදටම පැනල අත දැම්මා. අනේ ඉතිං දෙවියෙක් වගේ ඩ්‍රයිවර් මාමා කෙනෙක් දැං ඕන් ටිපර් එක නැවැත්තුවා. අපිත් ඉතිං දඩබඩෝං ගාල ටිපර් එකට නැඟ ගත්තා. අප්පට සිරි අඳුනන මාමා කෙනෙක්නේ. අපි එයාට නන්දේ මාමා කියමුකෝ....
මාමාගේ මූණ නම් එච්චර හොඳ පෙනුමක් තිබුනේ නෑ.....මං ඉතිං හිතාගත්තා නැන්ද හොඳට සලකනවා ඇති කියල මාමාට. මං ඉතිං එහෙම හිතල හිත හදාගත්තට මදුරංගයට හිත හදාගන්න බැරිවෙලා.
“මාමා මොකෝ විසි එක්දාහට අරන් තිස්පන්දාහට දීල වගේ“
සිරාවට ඉතිං මූ කොමස් කරාට ගනන් දන්නේ නෑනේ. මාමාගේ මොලේ බ්‍රෑන්ඩ් එන වෙනස් හරි අපේ මොලේම වෙන වර්ෂන් එකක් නිසා හරි මුගේ ගොන් කතාව මාමාට තේරුනේ නෑ. ඒක නිසා මාමා ගැලපෙන උත්තරේ ගානට දුන්නා.
“බලන්නකෝ පුතා මේ ටී...............ක් මිනිහෙක් පාර උගේ වගේ කඩාගෙන ගියා ලොරියේ පැත්තක්ම ඉවරයි මඩ. අද මේ සර්විස් කරගෙන එන ගමන්. මුං හිතං ඉන්නේ පාගල යන්න පුළුවන් උන පලියට පාර උන්ගේ කියලා. ටී......ක් රෙද්ද. මුංට යකෝ. මට කටට එනවා ඉතිං පුතා හොඳ හොඳ පද“ (ඇතැම් කුඩා ළමුන්ට නුසුදුසු පද බලධාරියා විසින් කපාහැර ඇති බව කරුණාවෙන් සලකන්න)
අම්මෝ නන්දේ මාමා....හොඳ හොඳ පද ආවට කියන්න එපා,අපි පුරුදුවෙයි. අපි මල් වගේ අහින්සක සුකිරිබටිල්ලෝ...කියල මං හිතාගත්තට කිවුවේ නෑ හොඳ්‍ෙ. 
ආය ඉතිං මදුරංගටත් මොකේ අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇනල අඩපං පුතේ කිවුවා වගේ මූත් පටන්ගත්තේ නැතෑ ඩ්‍රයිවර්ලට බනින්න. නන්දේ මාමාට හිතෙන්න ඇති නංගගත්ත මෝඩ කමක් කියල. මාමා පරාදයිනේ මුගේ කටට.
ආය ඉතිං කතා කරල වැඩක් නෑ මාමා. දැං හැදෙන ඩ්‍රයිවර්ලනම්....චී....................මෙලෝ රහක් නෑ.....ඒකට අපේ කාලේ......!!!!!.....????,1!!!,,!,!,!,!,!,!,!????!?!?!,!,,!,!,
යකෝ මූ කතා කරන්නේ හැට පැනල හොට බිම ඇනගත්ත සීයා කෙනෙක් වගේනේ.“අපේ කාලේ“ පුහ් යකෝ මු මාවත් නාකි කරනවලේ. මගේ කාලේ කියපං එක්කෝ.....
ඉස්සල්ල අපිව නංගගත්ත මෝඩ කමක් කියල නන්දේ මාමට හිතුනේ නැතැත් ඊලඟට මාමා කියන්න පටන් ගත්ත ටික ඇහුවම අම්මප මට හිතුන නැගපු මෝඩ කම කියල...
“ඒ විතරක්නම් මදැයි පුතා තව මොකෙක්ට ටී......................ක් එකෙක් පාරේ පටි ටික මාරු කරලනේ. යසටවත් කාපට් එකේ එන්න තිබුන මඩ නාන්නේ නැතුව. මේ ටී.......ක් ටී...............................................ක් ටී..ක්...ටී.....ක්//////////!!!!@@@@@###$$#@@!#$$%^%$#@@!!!**((())*^%$$##@!#!%@^&)()*()*&^%$!^&()&*^%$$##@@!@#$^&!&*!*!!!)(&*@%$@#%$@*@%@$@#@%&(@)_)@&*@^@$@^&!*@()@_)@*@^@%@#$@^&@&%$#$$$$$$^#^&#&$&*((%...........................
එතනින් එහාට සැරා.........යි....ඔය ඔක්කෝම එ්වා කියල, මාමා කාරය අන්තිමට මදුරංගය දිහා බලල කිවුවා,
ඕං දැං හැදෙන එවුන“කියල 
කාල වරෙංකෝ...මදුරංග ඉතිං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට හදාගෙන ගැස්සි ගැස්සි ඉන්නවා. උට හිනාව හිරකරගන්න බැරුව. මූ හිනාඋනොත් නම් පුතේ ෂුවර් එකටම අපි නැග්ග පයින් ආයම බිම තමා.
මූ හිනාවෙන්න කලිං මාත් පටන්ගත්ත ඉතිං කියවන්න.
“අපි එද්දිත් ඔහොමයි අප්පා....මොකෙක් හරි බූරුවෙක්ගේ වැඩක්. අපිත් මඩ නෑවනේ....ඉස්කෝලේ ඇරල යන පොඩි උන්ගේ වැඩ ඔය. දෙන දෙයක් කාල ඉන්න බෑනේ මුන්ට...තෙල වැඩිවෙලා......
දෙයියනේ කියල බහින තැනට ඇවිත්. නන්දේ මාමාට දහ අතේ පින් දීල ටිපර් එක එහෙනම් ආයම සෝද ගන්න කියල අපි දෙන්න බැහැල බිම වාඩි වෙලා බඩ අල්ලගෙන බදාගෙන කරගෙන පෙරලි පෙරලි හිනා උනා....ගෙදර ගිහින් වත් කියන්න පුළුවන් ඇයි... අපේ අම්මා, අම්මටත් එක්ක බනිනවා ඔවා කිවුවොත්....අදම කිව්වොත් තමය බනින්නේල පස්සේ කිව්වට අවුලක් නෑ.
අනිත් දවසෙ ඉතිං උදයම පිබිදී, මුහුනට දිය දී. කුළ දෙවි නමදී. බයික් එකට නගී.....බැංකු යන්න පිටත් උනා... යකෝ උදේ 7.30 වෙනකනුත් පාර වහලනේ....අම්මප මොකා කරාද දන්නේ නෑ කියල මම පාර වහල තියෙද්දිම කහ පටිය උස්සල ඒක අස්සෙන් ගියා..අම්මට සිරි ඉස්සරහට පොලිස් ජීප් එක එනවා. පොලිස් මාමා කොහෙම හරි කාපට් පාරට දාගෙන.ඇයි යකෝ පොලිස්නේ දාගත්තේ නැත්තම්නේ පුදුමෙ...දැං ඉතිං වාහන දෙක මාරු වෙන්නත් එපැයි. මං ඉතිං වැඩි හිටියන්ට ගරු කරල බයික් එක අයිනට කරගත්තා. ලං වෙලා පොලිස් මාමා නතර කරේ නැතෑ ජීප් එක......මාත් ඉතිං හීන් හිනාවක් දාගෙන හිටියා. අහ් පොර අදුනන පොලිස් මාමා කෙනෙක්.
“ඉස්සරහිනුත් පාර වහලද පුතා“
මට ඉතිං ඕං හීං හිනා එනවා
“ඔවු අංකල්, ඊයේ රෑ ඉඳල නේද? මාත් පටිය උස්සලා යටින් ආවේ.“
ඒපාර අංකල් කියපි
“මාත් අර පැත්තේ ගලවලා ආයම ගැටගහල ආවේ......“
කිරි අප්පට විදුලි කොටාපි
“බංඩාර ඔය පැත්තෙන් පටිය පොඩ්ඩක් උස්සන්නකෝ, මඩ උනාට කමක් නෑ. වහල තියෙන්නේ ඇයිද දන්නෑනේ.“
බංඩාරද කවුද ඔන්න බැහැල දැන් කහ පටිය උස්සල මඩපාර පැත්තට පොලිස් ජීප් එක දාගන්න සප් එකක් දුන්නා. මාත් ඉතිං දැං යන්නේ නැතුව බලාගෙන ඉන්නවා. පොලිස් අංකල් ඉතිං මට හෝන් එකකුත් ගහගෙන මඩ වලවල් ගොඩේ නැවක් යනවා වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දි හිමීට යනවා. මං ඉතිං කාපට පාරේ ගිහින් කහ පටිය උස්සල ඒකට යටින් රිංගල ගියා....
ඇත්තටම ඇයිද දන්නේ නෑ මේ හොඳට තියන කාපට් පාර වහල මඩ පාර ඇරල තියෙන්නේ......කාටවත් උත්තරේ නම් හම්බෙන්න නැතුව ඇති. හැබැයි ඉතිං පාරේ වැඩ කරන මිනිස්සු එනකල් වාහන ඔක්කෝම මඩ පාරේ සෝයි එකට ගියා.



මං රස්තියාදුකාරයා

Share:

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.