ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

ද අයියලා

ළමායි ඔන්න ඉතින් පොඩි රස්තියාදුවකට ආව. මම හය වසරේ ඉදන් 11ට වෙනකල් ගිය ඉස්කෝලේ ගොඩක් කාලෙකින් මුලින්ම පටන් ගත්තේ  අපෙන් කියල මම කියල තියනවනේ. ඉතින් අපි තමයි ද අයියලා. අපිට උඩින් තව අයියල සෙට් එකක් හිටියට අපි දෙගොල්ලෝ එකට ඉස්කෝලෙට ආව නිසා අපි දෙගොල්ලෝ අයියා පාට් දැම්මේ එකතු වෙලා. සහෝදර පේ‍්‍රමෙක මහත ලෝකෙටම පෙන්නපු සෙට් එකක් අපි.
අපිට ලොකුවටම අයියා පාර්ට් දාන්න තඩි අවස්ථාවක් පාසල් මාතාව විසින් අපිට උදා කරල දුන්න ඔං. එයා අපිට අයිය පාර්ට් දාන්න කියල පුංච් මල්ලිලා නංගිලා ටිකක් ඉස්කෝලෙට ගත්ත. නංගිලානම් ඉතිං ඒ කාලේ අදාලම නෑ. මල්ලිලාට තමයි ඉතිං අයියලා පාර්ට් දැම්මේ. වැරදි විදිහට තිතන්න එපා යකූ.. එකට කියන්නේ සහෝදර පාට් කියල.
දැන් ඉතිං මල්ලිලා සෙට් එකම හොස්ටල්නේ ඉන්නේ. අපි ඉතිං ටිකක් උඩින් තමයි යන්නේ. ඇයි ඉතිං මුං ටික මෙලෝ හසරක් දන්නේ නෑනේ ඉස්කෝලේ ගැන. පාර්ට් එක දාගෙන ඉන්න පුළුවන් වෙලාවේ උපරිම ප‍්‍රයෝජන ගන්න එපැයි. ආය කින්ඩියට හිනාවෙනවා. අයුතු ප‍්‍රයෝජන නෙමේ බොලව්. ඔන්න ඉතිං රස්තියාදුවට සෙට් වෙන සෙට් එක ඉන්නවා. වසරේ පොඩිම පාවාදීම කරන්න යන්නේ  ඕං. හිරාන් ජසින්ත නොහොත් ජසියා. මනොජ් ධනුෂ්ක නොහොත් චමියා. කසුන් රවී නොහොත් කසුනා. සදුන් එරන්දිත් නොහොත් ස`දුනා මම නොහොත් මමම තමයි.තව හිටියද කොහෙද බං( ඔං ඉතිං උඹල ටික එකතු වෙලා මගේ පුරුෂ භාවේ නැතිකරනවා එහෙම නෙමේ)
දැං ඉතිං අපි ටික හොස්ටල් එකේ උඩම තට්ටුවේ සෙට් එක. උඩම කියන්නේ ඉතිං චන්ඩි ඈ.(අඩුගානේ අපි එහෙම හිතාගෙන හරි හිටියා). ඔන්න ඉතිං මල්ලිලා ටික හොස්ටල් එකට බාර ගත්තා. අපිට ඉතිං රටක් භාරදුන්නා වගේ. අපේ ඩෝම් එකේ සෙට් එකට ඉතිං අපි අයියල කියල පෙන්නන්නත් එපැයි. අපි සෙට් එක ඉතිං පොඩි උන් සෙට් එක අල්ලගෙන වැදි බන කියන්න පටන් ගත්තා. උන් ඉතිං දොහොත් මුදුන් දීගෙන සාදු කාර හිරකරගෙන අහගෙන ඉන්නවා. බන කියල අපිටම ඇති උනා. ඊල`ග ස්ටෙප් එක. කට්ටිය පෝලිමට අරගෙන ඩෝම් එකේ එහා ඉදන් මෙහාටයි මෙහා ඉදන් හාවෝ පැන්නුව. අත් දෙක ඔළුවේ තියාගෙන කන් දෙක වගේ, ඉස්සරහට පිමි තුනයි, පස්සට දෙකයි, දැන් ඉතිං හා පැටවු ටික තාරාවෝ යන වෙලාව. බක් බක් ගගා මුන් ටික තාරාවෝ යනවා.(පස්සේ කාලෙක තමයි අපි දැනගත්තේ බක් බක් ගාන්නේ ගෙම්බෝ කියල*
මෙහෙම ඉතිං අපි මල්ලිලා ටික සහෝදර පේ‍්‍රමෙන් සෑහෙන වෙලා මැඩෙව්වා. ත‍්‍රී වීල් යනවා, විල්බැරෝ යනවා. නිකං හරියට අන්ඩර් කන්ස්ට‍්‍රක්ෂන් ඒරියා එකක් වගේ. අපි තමයි ඉන්ජිනේරුවෝ. ටික වෙලාවකින් ජසියටද කොහෙද අළුත් අයිඩියාර් එකක් ඇවිත්. මහපටගිල්ල නලලේ තියාගෙන පොඞ් ඇ`ගිල්ල පපුවේ තියාගෙන කැරකෙන්න  ඕනි. අම්මට සිරි ගජ නන්දෙට කජු මද කියාපි. පෙඩි උන් ටික වැටුන වැටුන තැන. නොමිලෙ බාර් එකකින් බොන්න දුන්නා වගේ. හතර ගාතේ දාල මුං ඇවිදින විදිහ දැක්කම මටත් නොමිලේ දෙන බාර් එකට යන්න හිතුන. මාත් ඉතිං පොඩි ටෙස්ටින් පාරක් දාල බැලූවා. අප්පට සිිරි. උපරිම වට පහක් කැරකෙන්න ඇති. කැරකෙන රෝදේ පුංචි කරත්තේ කියල මාව කැරකෙනවා නිකං මුරලි දුස්රා එකක් එක තැන කරකල අත ඇරිය වගේ. මං ඉතිං ඇ`දකට වැටිල ඇදෙනුත් බිමට වැටෙයි කියල ඇ`දේ ඇන්දත් බදාගෙන කරගෙන දෙනුවන් පියා දෙසවන් අයා ඉන්නවා දැං. දෙසවන් අයා සිටිමේ වැරැුද්දට හසුව දැවී ගියේ ඒ වෙලාවේ තමයි. මට නිකං හීනියට වගේ ඇහුන ජසින්ත. මනෝජ් ඔය ගොල්ලන්ට අරුල් සර් එන්න කියනවා කියල. හම්මේ අරුල් සර් ඉතිං එන්න කියන්නේ අපිට කියල සර්වත් රැුග් කරගන්නද දන්නේ නෑනේ. අරුන් දෙන්නට විතරක් තනියම ස්රව රැුග් කරන්නත් දෙන්න බෑනේ. ඉතිං අපි සෙට් එකම චිත්ත ධෛර්යය පරදුවට තියල ආත්ම විශ්වාසේ අතට අරගෙන සර් හම්බෙන්න ගියා.
අරුල් සර් කියන්නේ ළමයි හයේ හතරේ පොරක් කිවුවෝත් ඒක සර්ට කරන අපහාසයක් හොෙ`ද්. මොකද වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අරුල් සර් කියන්නේ හැටේ හතලිහේ පොරක්. අපිත් ඉතිං අර කලින් කියපු ඒවා අතට අරගෙන ඊට කලිං කියපු එක පරදුවට තියල සර්ව හම්බෙන්න යනවා. ඒ කාලේ ටිකක් සීතල නිසා කකුලූත් ටිකා....ක් විතර වෙවුලනවා. සී...තලට. මම ඉතිං නොමිලේ බාර් එකෙන් බිවුව නිසා කැරකි කැරකි ඉතිං යනවා.
අපි යද්දි සර් තව හොස්ටල් එකේ ළමයි ටිකකුත් එක්ක ඉන්නවා. අම්මට සිරි උන් ටික ගොම කලේට කිරි බිංදුවක් දාලද කොහෙද. සර්ගේ මූනත් එච්චර හොද නෑ. සර්ට වඩා ගැම්මෙන් ඉන්නේ අර පිටිපස්සේ ඉන්න උන් ටික. උන් නිකං ලොකු වැඩක් කරා වගේ ඉන්නවා. යකූ අපිනේ ලොකූ.....වැඩ ටිකක් කර කර ඉ`දල ආවේ.
සර් ඉතිං කතාව පටන් ගත්තා. අපි ඉතිං වැඩිහිටියන්ගේ කතා වලට මැදට පනින්න යන්නේ නෑනේ. අපි අපේ පාඩුවේ බලාගෙන හිටියා. ඒක නිසා සර් කියපුවා මෙතන කියන්නේ නෑ. නැතුව ඉතිං ඒවා මෙතන කියන්න බැරි තරම් අතිශයින්ම අසභ්‍ය ඒව නෙමේ හොෙ`ද්. කොහොම හර් සර් අන්තිමට කියපු ටිකනම් හො`දට ඇහුන. දැන් දුවපියවු යන්න පර ටී.....ක් ලා කියල. (අන්තිම ටික පැහැදිලිම නෑ හො`දේ.* ළමයි හිතුවේ අපිට බැනල සර් අපිව එලවල දැම්ම කියලද?. ඒ වෙලාවේ මාත් හිතුවේ ඔය අහිංසක සිතුවිල්ලම තමයි. නෑ යකූ. සර් අපිව එලවල තියෙන්නේ එකා පහ ගානේ නන්චි නොහොත් වැට මාර නොහොත් පොඩි සිංඥො මරං නොහොත් මොනවද ලී ජාතියක් කඩන් එනන කියලලූ. අපිට කියල වැටක් ගහ ගන්න වෙන්න ඇතිනේ. ඔක මොකක් ද ඉතිං සර්ට පොඩි වැටක් ගහල දෙනවා. දැන් ඉතිං අපි ඉතිං කැපවීමෙන්ම ගස් නැගල, ලී හොයාගෙන කපාගෙන සුද්ද කරගෙන, දත කට මැදගෙනත් එනවා. කොහෙම හරි වැඬේට සෑහෙන වෙලාවක් ගියා. හිතලම වෙලාව යැවුවා එහෙම නෙමෙයි. අපි ආය එනකොට සර් වැට ගහන්න සෑහෙන සෙනගක් එකතු කරගෙන. සෑ හෙන සෙනගක් කිවුවේ සෑ..මහෙන සෙන`ගක්. ගෑනු ළමයිගේ සමස්ථ හොස්ටල් එකයි, අපේ සමස්ථ හොස්ටල් එකයි එතන. අලූතින් ආව හා පැටවු ටිකත් සර් ගෙන්නගෙන. අනේ ඉතිං අහීන්සක මල්ලි බබාල ටික ආදරෙන් අපි දිහා බලාගෙන ඉන්නවා. අපිත් දැන් ඉතිං දළදා පෙරහැරේ කර`ඩුව අරන් යන අලි පැටවු ටික වගේ ලී ටිකත් උස්සගෙන සර් ල`ගට ගියා. සර් ඉතිං අලිංගේ පිටේ යන නිළමෙ වගේ අපිට පෝලිමක් හදාගන්න කිවුවා. වැඩි හිටියෙක් කියපු දෙයක් අහක දාන්න පුළුවන්ද ළමයි. අපි ඒ වගේ නැහැදිච්ච අය නෙමෙයි කියල සර්ට පෙන්නන්නත් එක්ක උසේ පිළිවෙලටම පෝලිම හැදුන. මම තමයි මිටිම එකා. සර්ට උසේ පිළුවෙලට එපාලූ වයසේ පිළිවෙලට එන්නලූ. දැං ඉතිං මුංගෙන් උපන් දින අහ අහ පළයංකො වයසේ පිළිවෙල හොයන්න. අපි ඉතිං උපන් දින අහන්න කලින් සර්ම පිළිවෙල හැදුව. උඩ පංතියේ ළමයි මුලින්ම. මනෝජ්, කසුන්. ඊට පස්සේ පිළිවෙන් කට්ටිය හිටිය. කොහොම හර් මම ඒත් අන්තිම. හී...අහින්සක මූනක්නේ යකූ තියෙන්නේ.
සර් ඉතිං අට පහ එකට ඉන්දනවා වගේ අපි ගෙනාපු කෝටු පහ එකට තියල අල්ල ගත්තා. මං ඉතිං කලිං කිවුවනේ සර්ගේ සයිස් එක. පහක් නෙමෙයි තව කෝටු අටක් වත් ඒ අත් අස්සට රිංගවන්න පූළුවන්. ඊට පස්සේ තමයි පෙරහැරේ ගිනිබෝල සංදර්ශනේ පටන් ගත්තේ. හම්මේ අර එකට තියපු කෝටු පහ දෙකට කැඩෙනකල් අපේ පස්ස පැත්තේ පාරවල් තිබ්බ සර්. හොස්ටල් දෙකේම උන් පෙරහැරක් නෙමෙයි, සර්කස් එකක ජෝකර්ල ටිකක් දිහා බලං ඉන්නවා වගේ හිනා වෙවී බලන් ඉන්නවා. යකෝ හරිනම් සහෝදර පේ‍්‍රමේ දොර ගලා ගිහිං මුං ටික අ`ඩන්න එපැයි. හැබැයි ඉතිං කසුනලාගේ පංතියේ අක්කල දෙන්නෙක් විතර ඇ`ඩුවද කොහෙද. අනේ අපි දන්නේ නෑනේ  ඕවා. සහෝදර බැදීම වෙන්ඩැ. දැං ඉතිං පස්ස කියනවා තවත්නම් දරාගන්න බෑ මගේ දෙයියෝ කියල. මගේ වාසනාව කොච්චරද කියනවනම් මගේ කෝටු පහ කැඩෙන්න සෑහෙන වෙලාවක් ගියා යකූ. මම ඒ වෙලාවෙම හිතාගත්තා ආය නම් හාවෙක්, තාරාවෙක් දිහා ඇහැක් ඇරල බලන්නෙ නෑ කියල. හම්මේ කතාව මෙතනින් ඉවර වෙනවනම් මාත් ආසයි බොලා වගේම්. අරුල් සර් එක්ත ඒව සුම්මා. සම්ප‍්‍රධානුකූලව හැදුව දෙපැත්තට කරල පෝලිං දෙකක්. අපි නෙමෙයි බං. සර්කස් බලන්න ආව උන්. ඊට පස්සේ සර් අර අළුතින් ආව අහිංසක හා පැටවු ටික ළ`ගට ගිහින් ඇහුව අපි එයාලට සලකපු ආදරණීය විදිහ. හම්මේ වසරෙ හොදම සමූහ නළුවන්ගේ සම්මානේ උන්ට දෙන්න පූළුවන්. අපි කරන්න කියපුව උන් ටික ර`ගපාලත් පෙන්නනවා. දැන් පැනපංකෝ හාවෝ. අපි ඉතිං ඉරි තැළුන පස්සත් උස්සගෙන මුදු වලා යටින් එකා පස්සේ එකා පෝලිමට හාවො පනිනවා. මේකත් මහ`ගු අවස්ථාවක්නේ සමස්ථයක් ඉදිරියේ අපේ දක්‍ෂතා පෙන්නන්න. අපිත් අත ඇරියේ නෑ, හාවො විතරක් පැනල ඇති ඇයි. අපි තාරාවොත් ගියා. විල් බැරෝ ත‍්‍රීවීල් හැම එකෙන්ම අපි ඒ වෙලාවේ දක්‍ෂතා පෙන්නුවා පිරිසක් ඉදිරියේ. කොහොම හරි අන්තිමට සර්ට සත්ව කරුණාව පහල වෙලා හා පැටවු ටිකව හොස්ටල් එකට දැක්කුවා. හම්මේ මට හරියටම පස්සක් තියනවා කියල එදා තමයි හො`දටම දැනුනේ. දැනුන කියන්නේ දවස්ගානක්ම දැනුන මට පස්සක් තියනවා කියල
තව එකක්. එදා තමයි මම දැනගත්තේ ජසියගේ කට්ට කළුවට තියන පස්සට හිටි හැටියෙම නිල් පාටටත් හැරෙන්න පුළුවන් කියල.(මං බැළුවේ එහෙම නෑ හො`ද්, ජසියමයි කිවුවේ, අම්මපා*

මම රස්තියාදුකාරයා

Share:

අයියේ අපේ පාං අර මේසේ උඩ

ඕං  සෑහෙන කාලෙකට පස්සේ රස්තියාදුවක් ගහන්න ආව. මේ රස්තියාදුව ගැහුවේ ඇච්ච බැච්ච කාලේ. දැන් කියල ඉතිං වෙනසක් නෑනේ. එතකොට නවය වසරේ විතර ඇති ඕං.ඒ වෙනකොට ගෙදරට මාව බරක් වෙලා ගෙදරින් හොස්ටල් ගෙනත් දාල තමයි හිටියේ. හොස්ටල් එකේ ඉතිං එක එක රස්තියාදු වලට හරියන එක එක යාළුවෝ හිටිය. හැබැයි ඉතිං එක වගේ කුරුල්ලෝ වහන්නේ එක අත්තේ කියල මටම සෙට් වෙන යාළුවෝ දෙන්නෙක් හිටිය. උන් දෙන්නම මල්ලිලා. එක්කෙනෙක් තරිදු, අනික් පොර සම්පත්. සාමාන්‍යෙයන් ඔය නම් දෙකෙන් කතා කරන්නේ උදේට නම් ලකුණු කරනකොට විතරයි. අපි ඉතිං කතා කරන නම් පොඩි කාලේ උනත් වැඩිහිටියන්ට පමණයි නිසා නොකිය ඉන්නම්. උන් දෙන්න රෙද්දක් ඇදල පාරේ යන්න එපැයි.
හොස්ටල් එකේ කෑම දිව්‍ය ලෝකේ කැන්ටිමේවත් නැතුව ඇති. හාල් මැස්සෝ නැති හාල්මැස්සෝ හොදියි. පරිප්පු ඇට නැති පරිප්පු හොදියි. පොල් කුඩු සම්බෝලෙයි. දැන් ඉතිං මේවගේ රස වැඩි කමට අපේ දිව නහර පිනා ගිහින් තිබුනේ. හාව හද දකිනව වගේ ගෙදරින් ගෙනාව බත් එකක් එහෙම හම්බුනොත් බත් එකටත් හිතාගන්න බැරි වෙනව පොරට මොකද උනේ කියල. කඩෙන් කන්නත් ඉතිං ඒ කාලේ අතේ සතේ නෑනේ. සතේ තිබුනත් හොස්ටල් එකෙන් එලියට පනිනවා කියන්නේ ඉතිං ආය චීන මහා ප්‍රාකාරෙ කඩල බර්ලින් තාප්පෙන් පනිනව වගේ වැඩක්. දැලි පිහියෙන් කිරි කකා අතුරේ යන එක ලේසීයි කඩෙන් කනවට වඩා.
දවසක් ඉතිං හොස්ටල් එකේ කෑම කාලා අපේ දිව නහර පිනා පිනා පිනා ගිහිල්ල අන්තිම ටිකටම ගෙවිල ගියා. කඩෙන් කෑම වෙලක් නොකෑවොත් දැන් මලා කියන තත්වේ තමයි අපි හිටියේ. ඉතිං ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු කියල තීරණයක් අරගෙන් හොද හුස්මක් එහෙම අරගෙන් ඉදගෙන හිටිය තැනින් නැගිට්ට. නැගිටල ඉතිං මොනව කියල කරන්නද ආයම වාඩි වෙලා කල්පනා කරා මේකට කරන්න පුළුවන් දෙයක්. අපි දැන් වට මේසේ සාකච්චා වටයක් තියල තුන් දෙනාගේ අදහස් විසමනවා කඩෙන් කන්නේ කොහොමද කියල. (තුන් දෙනා කොහොමද වටේ වාඩිවෙන්නේ කියල එහෙම අහන්න එපා යකූ) මුලින්ම අපි බැලුව තියන සල්ලි ගාන. හම්මේ ටොෆි තුනක් කාල චුයින්ගම් එකක් සූප්පු කරනකොට ඒ සල්ලි ටික ඉවරයි. දැන් ප්‍රධානම ප්‍රශ්නය දෙවියන්ගේ මල්ලි හොයාගන්නේ කොහෙන්ද කියල. නිධානයක් හාරන්නවත් තැනක් හොස්ටල් එක අහල පහල තිබුනේ නෑ. අතමාරුවක් ඉල්ල ගන්න පොලී මුදලාලි කෙනෙකුත් හොස්ටල් එකේ නෑ. අනික ඉතිං අතමාරුවක් ඉල්ලගෙන ආය ගෙවන්න ඉතිං සල්ලි දුන්න එකාගේ රෙදි ටික තමයි හෝදල දෙන්න වෙන්නේ.  ඔහොම ඉතිං කල්පනා කර කර ඉන්නකොට ආව ටිංකිරි අදහසක්. අපි තුන්දෙනා තුං පැත්තකට බෙදිල ගියා.( ඒකාලේ ස්කූබි හිටියේ නැති උනාට අපි දන්නව බෙදිල යන්න හරිය) තුන් පැත්තකට බෙදිල ගිහින් උගුර පාදල ගාම්භීර හඩ අවදි කරල පපුව ඉස්සරහට දාලා, දන්න හැම දහංගැටයක් ම දාල හිගා කන්න පටන් ගත්ත. අපි ගත්ත ණයක් ගෙවන්න තියනව කියල හැම එකාගෙන්ම සතේ සතේ එකතු කරා. ඇත්තටම ඉතිනං සතේ සතේ කිවුවට වැරැද්දක් නෑ. උපරිමේ කියල ඔනිනම් මොකෙක් හරි රුපියල් පහක් දෙන්න ඇති. දැං ඉතිං සතේ සතේ එකතු කරල අපි පැයකින් විතර සෙට් උනා. අම්මට සිරි පාං ගෙඩි දෙකක් කාලා අර මං ඉස්සල්ල කියපු ටොෆි තුනයි චුයිංගමුත් කන්න සල්ලි ඉතුරු වෙනවා. දැන් එක වේලකට ගානත් සෙට්. ඊලගට තමයි අමාරුම වැඩේ. අමාරුයි කිවුවට අමාරුමත් නෑ. ඒක තමයි බය හිතෙන වැඩේ. මොකද හොස්ටල් එකෙන් පැනල හදිස්සියේ වත් මාට්ටු උනෝත් අපිව හම ගහල, ඒවගෙන් බෙර හදල, මස් ටික වේලල කරවල වලට අරගෙන, කටු ටික මිනී මෝරුන්ට දානවා(හොස්ටල් එක පහලින් තිබුන බදුලු ඔයේ මිනී මෝරු හිටිය ළමයි) හදිස්සියෙවත් කටුවක් වත් ඉතිරි උනොත්....ම්..ම්....ම්....ඒ ක එහෙමම තියෙන්න අරිනවා.
කොහොම හරි ඉතිං අහින්සක බඩ ගැන හිතල අවධානමක් ගන්න වෙනවනේ. අපි ඉතිං රෑ වෙනකල් ඇගිලි ගැන ගැන හිටියා. ටිකක් කළුවර වැටුනම හොර ගල් අහුළන ඉබ්බෝ වගේ අපි හිමින් හිමින් පාද තබා ගුරුපාරෙන් එගොඩ වෙලා වෙල් දෙනි පැන දෙවට දිගේ ටවුන් එක පැත්තට යන්න පටන් ගත්තා. පොඩි කැලේ පාරක් වගේ එකක් තිබුන හැංගිල ටවුන් එකට පැන ගන්න.සම්පත් මල්ලි, පොර කවුරු හරි අදුනගනී කියල කොහෙන්ද හොයාගෙන සන්ග්ලාස් දෙකකුත් දාගෙන ඇවිත්. හැබැයි ඉතින් අඩි දෙක තුනක් යන්න කලින්ම ඌට ගෙනාට වගේ තේරුනා රෑට සන්ග්ලාස් දාන්නේ නෑ රෑට දන්නේ හනිමූන් ග්ලාස් කියල. ජීවිතේට හානි වෙන්න කලින් ඌ ඒ දෙක ගලවගත්ත. මැරුනත් යකෝ කඩෙන් පාන් කෑල්ලක් කාල මැරෙන්න ඕනිනේ. දැන් ඉතිං අපි ටවුන් එකට ඇවිත් හෙවනැලි වලට වැහි වැහී හොද කඩයක් බලල රිංගගත්තා. පානුත් ඕඩර් කරල හොදි එහෙම හොදට දාගෙන දොල දුක සන්සිදවගන්න හදනකොටම දැකපු දර්ශනේට හද සලිත වෙලා වත මිලින වෙලා කදුලින් දෑස තෙමිල ගියා. පොඩි චූ බරකුත් ආවා. හොස්ටල් බාර සර් තව මොකෙක් ද හිපාටුවෙක් එක්ක හොටෙල් එකට රිංගනවා. කිරි අප්පට විදුලි කොටන්නෙත් ඕනි නැති වෙලාවටමනේ. තව තප්පරයක් පරක්කු උනානම් අර අතට ගත්ත පාං කෑල්ල කටට දාගන්න තිබුනා. දැන් ඉතිං නයි කයිද රෝස් පාං කිවුවලු.  කරන්න දෙයක් නෑනේ අපි තුන්දෙනා හිමීට හොටෙල් එකේ කුස්සියට රිංග ගත්ත. දැං ඉතිං අලි මදිවට හරක්ද මොක්කුද කිවුවලු. කුස්සියේ ඉන්න උන් ටික කන්න වගේ අපි දිහා බලනවා. අපිව පාං වගේ පෙනුනද දන්නේ නෑනේ. කොහොමත් සර් කාරය අපිව කනවට වඩා කුස්සියේ ඉන්න අය අපිව කන එක හොදයි. අඩු ගානේ ගෙදරට යවන්න කටු ටික හරි ඉතුරු කරයි. සර් කාරයට මාට්ටු උනෝත් ගෙදර උන් ඇවිත් තමයි අපේ කටු සූප්පු කරන්නේ. දැන් ඉතිං කුස්සියේ සෙට් එකට කියන්න දේකුත් තියේනන එපැයි. මම ඉතිං උගුර හෙම පාදල. සබාවෙන් අවසර අරන් , අයියේ ටොයිලට් කියනකොටම තරිදුවා, අපි මෙතන හොස්ටල් එකේ ඉන්නේ පාං කන්න ඕනි වෙලා හොරෙන් අවා. දැන් හොස්ටල් බාර සර් ආව කන්න. කියල නන්ස්ටොප් කියවගෙන ගියා. මමයි සම්පතයයි ඇතුළු සමස්ථ කුස්සියේ සෙට් එකම අරූ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. කුස්සියේ අයියල සෙට් එකගේ මූනට හිනවක් එන කොටම ඒකට සමානුපාතිකවම අපේ ඇගට ලේ ටිකක් ඉනුව හොදේ. අපි තුන්දෙනා දැන් ඉතිං කුස්සේ මුල්ලකට වෙලා, මිනී මරල පොලිසියට මාට්ටු උන් වගේ පුල් සරනාගත මූඩ් එකක් දාගනෙ ඉන්නවා. අයියල සෙට් එකගේ අනුකම්පාව දොර ගලල අහවල් ඒවත් පිටාර ගලල අපිට කුස්සියේ හැංගිල අවසර දුන්නා. බලනකොට සර්කාරයයි යාළුවයි තපස්සු බල්ලුක වගේ ඉදගෙන උනුත් පාං කනවා. අපේ පාං ගෙඩි දෙක අපි නැතුව මේසේ උඩ වේලෙනවා. තරිදුව ආයෙත් අර අයියල පැත්තට හැරිල, අයියේ අපේ පාං අර මේසේ උඩ කිවුවා. ඌ ඒක කියපු විදිහට මට ඌව බදාගෙන අඩන්න හිතුනා. ඒ විතරක් නෙමෙයි අඩල ඉවර වෙලා මගේ මස් වලින් උගේ බඩ පුරවන්නත් හිතුනා. අනේ ඉතිං අර අයිය බබෙක් ගිහින් ඒ ටිකත් අපිට ගෙනත් දුන්නා. දැන් සර් කාරය ඉස්සරහ කනවා. අපි කුස්සියෙ කනවා.
අපි දැන් කාල ඉවර වෙලා බලනකොටත් සර් කාරය කනවා. උට යන්න හිතක් ඇත්තෙම නැද්ද කොහෙද. අපේ පපුව ඩෝං ඩෝං ගාල ගැහෙන සද්දෙත් ඌට ඇහෙන්න ඇති. දැං ඉතිං කමක් නෑ පාං කාලනේ ගුටි කන්නේ කියල අපි හිත හදාගෙන ඉන්නවා. අප්පට සිරි, ගිනියම් අවුවේ මහ වරුසාවේ නෙමෙයි දෙයියෝ වැඩ ඉන්නේ කුස්සියේ කියල කුස්සියේ අයියල සෙට් එක අපි තුන් දෙනාට ප්ලේන්ටිත් හදල දුන්න. කුස්සියටම ආපු මිනිහෙක්ට තේ එකක් නොදී යවන එක හරි නෑනේ කියල අයියල ටිකට හිතෙන්න ඇති. අපිටත් ඉතිං දුන්න තේ එක නොබී ගියොත් අයියලගෙත් හිතට හරි නෑනේ කියල පැනල තේ ටිකත් බිවුවා. දැන් ඉතිං බිල කීයද දන්නේ නෑ කියල හිමීට අහිංසක පාට් එකේ ඇහුව බිල කීයද කියල. අනේ ඉතිං අර අයියලගේ කටේ පාං ඔබන්න හිතුනා. සල්ලි ඔනි නෑ මල්ලි යන්න පරිස්සමින් කිවුවා. පාං දාන්න පාං ඉතුරු වෙලා තිබුනේ නැති නිසා අපි මොකුත් කටේ නොදා හිටියා. සල්ලි ඉල්ලුවන්ම් ඉතිං අපි කැටේ කැඩුව වගේ අරන් ආව ඔක්කොම ටික ගනන් නොකරම අයියලගේ අතේ තියනවා. කාසි සාක්කුවේ දාගෙන යද්දිත් සලං බලං ගානවනේ, හොර වැඩ කරන්නත් අමාරුයිනේ.
ආය ඔලුව දාල බලද්දි සර් කාරය ගිහින්. අපි තුන්දෙනත් ලැසි ගමනිනු සැදි මුව හසරැල්ලක් දාගෙන එලියට පැන්න. අර අයියල සෙට් එකට පින් දෙන්න අමතක කරෙත් නෑ. ඒ දුන්න පින් වල හැටියට උන් සෙට් එක ක්ෂණිකව නිවන් යන්න ඕනි. දැන් ඉතිං අපි හොටෙල් එකෙන් එලියට බැහැල අඩි දෙකක් එන්න නෑ මෙන්න යකෝ සර් කාරය හැරිල ආයම එනවා. බය වෙන්නවත් වෙලාවක් තිබුනේ නෑ මම අරුන් දෙන්නවත් ඇදගෙන එතන තිබුණ ෆෝන් බූත් එකක් ඇතුලට රිංග ගත්තා. තුන්දෙනා  ඩබල් දාල බොක්ස් එකක ෆිල්ම එකක් බලන්න ගියා වගේ දැන් ඉන්නවා.( මේ කාලේ වෙන කොට බොක්ස් වලට ගිහින් තියා අහල දැකල වත් නෑ හොදේ චී......පස්සේ කාලේ කියලත් ඉතින් වෙනසක් නෑ) සර් කාරය ආයම හොටෙල් එක ඇතුලට රිංගනකල් ඉදල අපි හිමීට එතනින් මාරු උනා. පොලොවටවත් දැනෙන් නැතුව හොස්ටල් එකෙන් ආව අපි කඩාගෙන බිදගෙන කුඩුපට්ටං පොඩි කරගෙන ආයෙත් හොස්ටල් එකට දිව්වා. හොස්ටල් එකේ තත්වේ ය. පරිදි තථා ආකාරයේන තියනවා. කාටවත් අපි නැති අඩුව දැනිල නෑ. කොහොම හරි ඉතිං එදා අපි සල්ලිත් ඉතුරු කරගෙන කඩෙනුත් කෑව ඕං.

මං රස්තියාදුකාරයා
Share:

මිෂන් කෙහෙල් කැන්

ඹන්න ඉතිං අප්පා ගොඩක් කාලෙක පස්සේ ආයෙත් රස්තියාදුවක් ගහන්න ආව. පහුගිය දවස්වල ඇදහැලිච්ච ධාරාණිපාත වර්ෂාව නිසා අන්තර්ජංජාලෙ පැත්තේ එනන බැරුව හිටියෙ. ඔන්න ඉතිං ඒකත් හරි.

දෙයියනේ කියල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉස්කෝලෙකට ගිහිං පිස්සුවක් කෙල කෙල ඉන්න කාලේ තමයි මේ සිද්දිය උනේ. සමාවෙන්න පාසල් මෑණියනේ මෙහෙම වදාරනවට මොකද අපේ ඉස්කෝලෙ නාහෙට අහන්නේ නැති අන්ඩපාලයෝ ඔක්කොම වගේ ශිෂ්‍ය නායකයෝ. මක්කරන්නද ඉතිං මාත් ඒ ගොඩේම තමයි. මොකද අපි ඉතිං අහිංසක සුකුමාල විදිහට පාසල් ජීවිතේ ගත කරගෙන කරගෙන ගියානේ. සර්ලට අපිව පාලනය කරන්න උඩින්ම පුළුවන් නිසා අපිව ශිෂ්‍ය නායකයෝ කරා.

ඔන්න ඉතිං අපිත් ඉතිං දැහැමින් සෙමෙන් රට පාලනය කරගෙන ඉන්නවා. අපේ ඉස්කොලේ වටේම ඔය දවස් වල කෙසෙල් වගා කරල තිබුනා. අපි ඉතිං ඔය ගස් ටිකට ඇහැ ගහගෙන හිටියේ. නක්කලේට හිනා වෙන්න එපා යකෝ. ඇහැ ගහගෙනම හිටියේ මොකෙක් හරි නොසන්ඩාලයෝ ටිකක් කෙසෙල් කැන් ටික කපාගෙන යයි කියල තියන බයට. අපි ඒ තරම් ඒ කෙසෙල් කැන් ටිකට ආදරේ කරා. මොකද ආය ගමේ වැල ගමේ කපුටන්ට වගේ තමයි ඉස්කෝලේ කෙසෙල් ඉස්කෝලෙ කපුටන්ට. හැබැයි ඉතිං එක කපුටෙක්ට ඒකෙ වහන්න දුන්නේ නෑ අපි.

අපේ සෙට් එකේ පොරක් හිටිය අසංක කියල. ඒ උනාට සර්ලවත් දන්නේ නෑ උගේ නම අසංක කියල. අපි පොරට කිවුවේ අබා කියල. පොරක් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක්, හැබැයි සමහර සමහර දේවල් වලට. පස්සේ කියන්නම්කෝ ඒවා. අබා හිටියේ අපේ අනිත් පංතියේ. අහ් කියන්න බැරි උනානේ. අපි මේවෙනකොට 13 වසරේ අයියලා ඕං.. මූ දවසක් අපේ පංතියේ උගන්නන වෙලාවක පංතියේ එලියෙ ඉඳන් අතින් මට කතා කරනවා. සර් මෙහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උගන්නවා. අරූ අරහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නද කොහෙද මට කතා කරනවා. මූ සාමාන්‍යෙයන් මෙහෙම කතා කරන්නේ අතිශය වැදගත් වැඩකට වෙන්න ඕනි. ඒත් දෙයියනේ මේ අයි ගෝ ටු ද ටොයිලයට් කියල මෙතනින් නැඟිටල යන්න ඇයි. මම ඉස්සරහම පේලියේ ඉන්නෙත්. මූ මට කතා කරන්නේ සර්ගෙ පිටි පස්සේ ඉඳල නිසා සර්ට මූව පේන්නේ නෑ. ටික වෙලාවක් මූ එලියේ ආඬපාලි, දහ අට සන්නිය එහෙම නට නට ඉදල එක සැරේම මහසෝනා වගේ අවෙ නැතෑ පන්තියට. මූ පංතියට ඇවිල්ල කිවුවොත්, සර් චන්දිමාල්ට චූ බරයි එයාට ටොයිලට් යන්න ඕනිලු කියල මල මඟුලයිනේ. දැං මූ මොනා කියයි ද කියල මං බයේ. මූ ඇවිත් සර් ගාව හිටගෙන දැන් වට පිට බලනවා. මං මූව දැක්කේ නෑ වගේ වටපිට බලනවා. මූ එක සැරේම මාව අවුරුදු ගානකින් දැක්ක වගේ ,
“අහි මේ ඉන්නේ, සර් චන්දිමාල්ට ප්‍රින්ස්පල් සර් එන්න කිවුවා“
කියපි. මම ප්‍රධාන ශිෂ්‍ය නායකය නිසා එහෙම කතා කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් දෙයියනේ මට තියන ප්‍රශ්නේ මූ මොකද මාව ඔෆිස් එකට එක්කන් යන්න මෙච්චර තැටමුවේ කියල. මමත් දැන් සැදී පැහැදී මූත් එක්ක ඔෆිස් එකට යනවා. මං ඇහුව 
“ඇයි බං අබා“ 
මූ එක  සැරේම කියපි
“නෑ බං මට චූ බරයි“
අම්මප මට හොඳවයි දෙකක් නෙහෙයි දෙක තුනක්ම කටට ආවා. එත් ඉතිං පාසල් මාතාවගේ මූන බලාගෙන පරුසා වචා වදාරන එක හොඳ නැති නිසා මං වට පිට බැලුවා. අඩි දෙකේ දෙකේ පොල්ලක් හොයාගන්න මූගේ චූ බර හොඳ කරන්න. 
“නෑ නෑ වරෙන්කෝ බඩුවක් පෙන්නන්න“
කියල මූ ඒ පාර මාව එක්කන් ගියා ඉස්කෝලෙ කොනටම. මාත් ඉතිං දැං ආය පංතියට යන්න කම්මැලිකමට මුගේ පස්සේ වැටිල නැට්ට වගේ යනවා. මු දැං ඉස්කෝලේ කොනේම තියන කෙසෙල් වගාව ලඟට ගියා. මාත් ඉතිං මු වට පිට බලල රිංගුව කෙසෙල් වගාව අස්සට. මටත් මොකද මිත්‍රතොමෝ නිසා මාත් රිංගුව. මූ ඉන්නවා ගහක් යටට වෙලා සිරික්කිය දාගෙන. අප්පට සිරි ගජ නන්දෙට කජු මද කිවුවලු කෙසෙල් කැනක් ඉදිල හරියට ඕෂධී නැන්දගේ මූන වගේ. ඔවු ඔවු ඒ ඕෂධී තමයි.

දැං ඉතිං අපි වට මේසේ සාකච්චාවක් දාන්න ඕනි වෙලාව. කස්ටිය ඔක්කොම සෙට් වෙනකල් ඉඳල, එක්කොම කිවුවේ ප්‍රදීප් නොහොත් රිටා, සාලිය නොහොත් ඩයනා, අසංක නොහොත් අබා සමඟ වේදිකාමේ මම නොහොත් මමම තමයි. දැන් ඉතිං අපි, මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහනවා අපි. ලියන මහත්තය වගේ රිටා කොලේකුයි පෑනකුත් අරන් ඇවිත් නිසා අපි ඔක්කොටම කලින් ලිවුවා.
“වෙන්කර ඇත.....විදුහල්පති..“
කියල. ඊට පස්සේ එකත් කෙසෙල් ගහේ අමුණල ප්ලෑන ගැහුව. 
වේලාව   -   සවස 04.15
 ස්ථානය -  කෙසෙල් වගාව

ඔන්න දැං මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහල ඉස්කෝලේ ඇරල සතුටින් විසිර ගියා අපි නැවත හමුවෙන බලාපොරොත්තුවෙන්. දැන් ඉතිං ගෙදර ගිහින් කාල බීල කෙසෙල් කන්න බඩේ ඉඩත් තියාගෙන දොයිය බබා දොයි කියල හිටිය. නැඟිටිද්දි 04.15 පහුවෙලා..මම තනි ඇහෙන් බැලුව ෆෝන් එක දිහා. හරි, ආදර ඇමතුම් රාශියයි. ෂෝක්, මිත්‍ර ධර්මයේ නාමයෙන් මුං මං දන්නේ නැති කුනු හරප වලිනුත් මට බැනල. මම බුක් ගාල කිට මරාගෙන දිව්වා පාසල් මාතාව පොඩ්ඩක් මීට් වලො එන්න. මං යද්දි සාලිය විතරක් ඉන්නවා ගලක් උඩ වාඩි වෙලා. අනිත් උන් දෙන්න පේන්න නෑ. මං උන් ගැන අහන්න කලිං ඩෝං ගාල අහසද කොහෙද කඩාගෙන වැටුනා එතන තිබුනේ ඉංග්ලිස් යුනිට් එකේ වහලෙ උඩට. උඩ බලද්දි රිටා කුරුම්බ ගහක් මුදුනේ. මූ කුරුම්බා කඩල බිමට දානවා. සද්දෙට ක්වාටස් වල ඉන්න සර්ල එයි කියල මායි සාලියක් ඉක්මනට කෙසෙල් වගාව අස්සට රිංග ගත්තා. ඒක අස්සේ අබාත් ඉන්නවා කෙසෙල් කැන් හොය හොය. ටිකකින් රිටා ආව කුරුම්බ ගෙඩි තුනකුත් අරගෙන. ඒව විතරක් නම් කමක් නෑ මූ ඇවිත් අපිට වලහයි යාළුවෝ දෙන්නගෙයි කතාව කියනවා.. අපි පැනල දිවුවේ නෑ උපක්‍රමශීලීව පසු බැස්ස කියල මූට තේරුම් කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න ම්හ්. හරියන්නේ නෑ. මම ඉතිං තේරුම්ගත්ත මූට ඒක පැහැදිලි කරල දෙනවට වඩා ලේසිය නුවර එලිය පැත්තේ වරායක් හදල නැව් ගේන එක කියලා. කතාව වෙනස් කරන්නත් එක්ක ඔන්න ඉතිං මං මිෂන් කෙහෙල් කැන් ගැන ආයම මුං ටික දැනුවත් කලා. යන්තම් ඕං රිටා ඉන්ග්රෙඩිබල් හල්ක් තත්වෙන් මිදුනා ඕං...

දැං ඉතිං මිෂන් කෙහෙල් කැන් ක්‍රියාකාරී අදියරේ. දැං උගතෝකෝටික පුරස්නේ තමයි කෙසෙල් කැන කොහොමද කපන්නේ කියල. දුකේ බෑ ගහ කපල දාන්න. ඔන්න දැං තමයි මම මුලින්ම අබා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක් කිවුව එක ක්‍රියාවට නැංවෙන්නේ.
“අනේ බං ගහට නැඟල කෙසෙල් කැන හිමීට බාමු බිමට. ඕක මහ වැඩක් යැ“
මමනම් මෙච්චර කල් එහෙම කෙසෙල් කැන් කැපිල්ලක් අහල තිබුනේ නෑ. ඒත් ඉතිං අලුත් අලුත් දෑ මොනාද නොකරන ජාතිය ලොව නොනගී කියලනවනේ, ඇයි අම්මපල්ල අර මාස්ටර් කියන්නේ මොනාද සිතුවිලි සිතනා සිතත් උදාරයි කියල. උදාරට විතරද අලුත් සිතුවිලි පහල වෙන්නේ, ඇයි අපේ අබා කළුද? ඔවු ඉතිං ඌනම් කළුයි තමයි ඒක වෙනම කතාවක්.

කෝම හරි දැං අබා කෙහෙල් ගහට නඟින්න ලෑස්තීනේ. එත් ඉතිං ප්ලෑනිං දුර්වලතා එකින් එන එලියට එන්න පටන් ගත්තා. පිහියක් නෑ කැන කපන්න. මේ ඇඳුම් ඇඳගෙන නගින්න බෑ කහට ගෑවෙනවා. මල කෙලියයි. කුරුම්බා ගෙනාවට ඒවා කපන්නත් පිහියක් නෑනේ. අපේ ඉතිං ගෙදර තිබුනේ අල්ලපු වැටේ නිසා මූං ඔක්කෝම කන්න වගේ මගේ දිහා බලාපි. මං ඉතිං ඉෂ්ට දේවතාව වගේ දුවල ගිහිං පිහියක් ගෙනාවා. (ප.ලි මේ වෙනකොට ඉෂ්ට දේවතාවන්ට දුවන්න බෑ කියා නොදැන සිටියෙමි.) ඒත් ඉතිං ඇඳුමක් තමයි ප්‍රශ්නේ. නිර්වස්ත්‍ර ඇඳගෙන නඟින්නත් බෑනේ ඒ ඇඳුමේ කහට ගෑවුනොත් ඔක්කොටම හපන්නේ.

සාලිය නිකං එක සැරේම දැන් නැඟිට්ට වගේ හරි වරෙන්කො යන්න කියල අපිවත් ඇදගෙන දැන් හිමීට හිමීට ක්වාටස් ලඟට ආවා. එතන ක්වාටස් එක අපේ පංති භාර අබේරත්න සර්ගේ. උගන්නන්නේ බී.සී. මේ වෙලාවේ ඒ.බී.සී වත් මතක් වෙන්නේ නෑ, ඇයි යකෝ හොරෙන් කෙහෙල් කැනක් කපන්න ඇවිත් සර්ලගේ ක්වාටස් අස්සේ මොන රෙද්දට රිංගනවද, අහ් කියන්න අමතක උන කාරණා දෙකක් තියනවා. ඒ, මිස්ටර් අබා මගේ ටිකක් ඈතින් නෑදෑයෙක් වීම සහ මේ දැං කතාවට ආව අබේරත්න සර් අපි දෙන්නගෙම බාප්පෙක් වීම. බාප්ප උනත් බං පංතිභාර සර්නේ. ගෞරවෙන් කටයුතු කරන්න ඕනි. සර්ගේ ගෙදර පිටිපස්සට හිමීට ගෑටුවාම තමයි නිධානේ දැක්කේ. ටිකාාාාක් පරන සරමක්. අපිට හිතන්නවත් වෙලාවක් ගියේනෑ සාලිය කුමාරයා රාජ ලීලාවෙන් ගිහින් වැලේ තිබුන සරම උගේ වගේ අරන් ආව.

දැන්  ඉතිං ඒ ප්‍රශ්නෙත් හරි. දැං ඉතිං බාප්පගේ නොහොත් අබේරත්න සර්ගේ සරම උගේ වගේ ඇඳගෙන අපේ අබා කෙසෙල් ගහේ. මං ගෙනාපු පිහියත් දැන් ඉනේ ගහගෙන මු ගහේ. අම්මප මූටනම් හොරෙන් කෙසෙල් කපල අවුරුදු ගානක අත්දැකීම් තියනවා වගේ. දැන් ඉතිං මලට නොතලා රොං ගන්නවා වගේ ගස නොතලා ගහට හොරෙන් අපි අලි කෙසෙල් කැන කැපුව ඕං..ඊට පස්සේ ඉතිං අපේ ගුරු ගෞරවේ පෙන්නන්න ආයම සරම ගිහින් දැම්ම තිබුන තැනටම.

ඒ කෙසෙල් කැන අලි කියන්නේ අලිම අලී.. කෙසෙල් ගෙඩි හතරක් පහක් කකකොට ආය බඩේ ඉඩ නෑ. අහ් කුරුම්බා වලට පොඩී ඉඩක් තිබුන. මේක ගෙදර අරන් යන්න ඇයි. මොකද කරන්නේ කියල කල්පනා කරල වටමේසේ සාකච්චාවක් දාලා අවසාන තීරනයක් සභාසම්මත කරගත්තා. මගේ යෝජනාවෙන් සාලියගේ ස්තිර කිරීමේන් එම යොජනාව සභා සම්මත වූවේය. උක්ත ආඛ්‍යාත හා අක්ෂර වින්‍යාසය ගැන හිතන්න එපා, කොහොම හරි ඔය මං කියපු විදිහට වැඩේ උනා. යොජනාව තමයි කෙහෙල් කැන අද කොහෙ හරි හංගල හෙට පංතියේ උන්ට කෙහෙල් පාටියක් දෙමු කියල.

ඔන්න දැං ඉතිං ඉර මාමා බැහැල හිහින් හඳ මාමා ඇවිත් ආයෙත් ඉර මාමා ඇවිත් දහසක් බුදුන් බුදුවන උදෑසනක් ආවලු. අපිත් ඉතිං අහිංසක ගිරා පෝතක තිත්ත පැටවු වගේ පුංච් දෙපා තබා  ළදු දෙනි පැන දෙවැට දිගේ ගුරු පාරින් එගොඩ වෙලා ඉස්කෝලෙට ගියාලු.

ඉස්කෝලෙත් ඉතිං වෙනද වගේ සාමකාමී සැහැහැවත් සර්ව සම්පූර්ණයි, එක කෙහෙල කැනක් ඇරුනම. දැං ඉතිං උදේ රැස්වීමටත් වෙලාව හරි, වෙනදට උදේට පිපුණු කඩුපුල් මලක් වගේ පිපිල ඉන්න අපේ ප්‍රින්සිපල් සර්ගේ මුන ටිකක් විතර වෙනස් වෙලා. මං අනිත් උන්ගේ මූන බැලුව. උන්ටත් වැඩේ තේරිලා. කොහොම හරි සර්ගෙ කතාව වෙලාවේ සර් මරු කතාවක් කියපි. අවසර මොකුත් නෑ. සුබ පැතුම් මොකුත් නෑ, සර් කතාව පටන් ගත්තා.
“මේ ඉස්කෝලේ කෙසෙල් කැන් 24ක් තිබුන දැන් තියෙන්නේ 23යි.“
කියල පටන්ගත්ත කතාව ටිකක් සැරට ඇදීල ගියා. අපිටනම් ඒ කතාව හරි හැඟුම් බරයි. ඒ වගේම ඇඞුම් බරයි. අපි දැන් ශෝකයෙන් ගැබ්බරයි. ඇයි යකෝ අපිට වඩා හොඳට ප්‍රින්සිපල් සර් කෙසෙල් කැන් වලට ඇහැ ගහගෙන ඉඳලනේ. තව ටික වෙලාවකින් සර් අඩු උන කෙහෙල් කැලේ තිබුන ගෙඩි ගානත් කියයි. අපි ඉතිං කෙසෙල් කාපු කටින් කෙල බිංදුවක් හලන්නේ නැතුව හිටිය. ඒත් අනේ පලවෙනි පීරියඩ් එකේම මට කැඳවුමක් ලැබුන ඔෆිස් එකට. මං ඉතිං ආත්මාරක්ෂාවට මොකටත් සාලියත් එක්කගෙන ගියා. මැරෙන්න උනත් යං කිවුවම දෙයියනේ කියල මගේ යාළුවො ටික බෑ කියන්නේ නෑ. 
“ දෙන්නගෙම බැජ් දෙක ගලවල දෙනවා. තමුසෙලා මේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ.. බ්ලා බ්ලා බ්ලා“
ඕක තමයි මං බලාගෙන ගියේ. ඒ උනාට උනේ අනිත් පැත්ත.
“ මට අදම ඕනි කෙසෙල් කැන කපපු උන්ව හොයල. අපි මේකෙන් හොරු බිහිකරන්න නෙමෙයිනෙ උගන්නන්නේ.“
හොරාගේ අම්මගෙන් පේන අහල නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ. දැන් හොයපියකෝ හොරු. උගතෝකෝටික ප්‍රශ්නයක්. අපි දහ අතේ කල්පනා කරලා. රිටා කියනවා අපි පොලීසියට භාර වෙමුලු. ඊ... විලි ලැජ්ජයි. එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

අදහසක් ආවා. අපි මුලින්ම පංති පංති ගානේ ගිහින් හොඳින් ඇහුව කවුද කෙහෙල් කැන කැපුවේ කියල. අඩේ කවුරුවත් කපල නෑනේ. ඊට පස්සේ ඉතිං තව පොඩි මල්ලිලා තුන් හතර දෙනෙක් එක්ක බොරුවට ඉතිං හෙවුව ඔන්න කෙහෙල් කැන. බලන්නකෝ මේ මල්ලිලාගේ හපන්කම්. ඊයේ කවුද හොරාට කපල ගෙඩි ටිකක් කාල හංගල තිබුන කෙහෙල් කැන හොයාගත්තනේ. අපිටත් ඉතිං අපේ ඉදිරි පරම්පරාව ගැන මාර සතුටුයි. මුං ටික ඉතිං නිධානයක් හමුබුනා වගේ අරක උස්සන් ගිහන් ප්‍රින්සිපල් සර්ට දුන්නා. අපි ඉතිං කිව්වා හොරු නෑ බඩු විතරයි, උන්න හැටියට මලා මදැයි කියල. සර් ඉතිං දෙයියනේ කියල අපේ කීම පිලිගත්ත. ඒකනේ අපේ ප්‍රින්සිපල් සර් දෙයියෙක් කියන්නේ.

දැං ඉතිං අපි මොකුත් උනේ නෑ වගේ ඉන්නවා. අබේරත්න සර්ටත් සරම ගැන ගානක් නෑ වගේ. අපිට දුක ඉතිං මිෂන් කෙහෙල් කැන් සාර්ථක වෙලා අතට ආව කෙහෙල් කැන කටට දාගන්න බැරි උන එකට.

කොහෙම හරි ඉතිං අපි හිත හදාගමු රංජනී කියල ඉන්නකොට ඉන්ටවල් එක වෙලාවේ අබේරත්න සර් එනවා පංතියට කෙසෙල් ඇවරි දෙකකුත් අරගෙන. අප්පට සිරි. ප්‍රින්සිපල් සර් ගුරු මංඩලේ අයට කෙසෙල් දීල. සර්ට ඉතිං ඉන්න සුවච කීකරු ගෝලයෝ ටික මතක් වලො හදවත කීංං.....ගාන්න අරගෙන සර්ට දුන්න කෙසෙල් අපිට ගෙනත් දුන්නා. අපිත් ඉතිං සර් එක්කම සර්ගේ සරමටත් පිං දිිදී කෙසෙල් කෑව.

තවම ඉතිං අපේ ප්‍රින්සිපල් සර් දන්නේ නෑ 24ක් තිබුන කෙසෙල් කැන්ටික 23 උනේ කොහොමද කියල. ඒත් සර් දන්නවා උත්තුංග දේහදාරී යුග ශීෂ්‍ය නායකයින් හතර දෙනෙක් විසින් වික්‍රමාන්විත අයුරින් නැවතත් ඒ නැති උන කෙසෙල් කැන අබ්බගාතකොට හරි හොයල දුන්න කියල. කාටද ආඩම්බර. ඈ.......

මං රස්තියාදුකාරයා...


Share:

ඉස්සරහිනුත් පාර වහලද පුතා

මේක උනේ උසස් පෙළ කියන කිරි ආහාරය අපිව වළඳල ඉවර වෙලා ටික කාලෙකින්. මම ගෙදර හිටියොත් ගෙදර ඉන්න බලු පැටිය නැහැදෙනවා කියල අපේ ලොකු තැන ඉතිං මට බැංකුවකටවත් වැඩට යන්න කිව්වා. මං ඉතිං අම්මා අප්පච්චි කියන දේ අහගෙන ඉන්න අහිංසක කොලු ගැටයෙක් නිසා ළඟම තියන මහජන බැංකුවට ඔන්න වැඩට ගියා. අම්මට සිරි ඒක සුර පුරයක්. ඔක්කොම හිටියේ මං වගේ අහිංසක අයියල අක්කල ටිකක්. දවස් දෙකයි වැඩට ගියේ බැංකුව නිකං ගෙදර වගේ. පිස්සුමයි කෙලින්නේ. 
බැංකුවේ හිටියේ වැඩට හරියට ඇලුම් කරන කොල්ලෝ ටිකක් නිසා සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස තුනේ සිට අපි පිට්ටනියේ ක්‍රිකට් ගහනවා. වැඩ ඔක්කෝම ටික කොහෙම හරි ඉවර කරගෙන හවස් වෙද්දි අපි බැංකුවෙන් පිටට පනිනවා. ඔන්න මේ කියන දවසෙත් අපි ක්‍රිකට් ගහන්න ගියා.
බැංකුවේ අයත් එක්ක ක්‍රිකට් ගහන්න පිට යාලුවොත් එනවා. මගේ උපන්දාසිට තවම ඉන්න යාළුවෙකුත් ඒ සෙට් එකේ හිටියා. නම මදුරංග කියමුකෝ. ආදරේට ඉතිං අපි කියන්නේ මැක්කා කියල. මූ ඉපදුනෙත් මං ඉපදුන හොස්පිට්ල් එකේ. අපි මොන්ටිසෝරි, දහම්පාසල්, ඉස්කෝලේ ගියේ හැම දේම කරේ එකට. කුපාඩි වැඩත් අනන්තවත් කරල තියනවා. පොඩි කාලේ කරපු කුපාඩි වැඩ පස්සේ කියන්නම්කෝ. දැන් ආවේ මේ ජම්බුගහෙන් වැටුනට පස්සේ කරපු කුපාඩි වැඩක් කියන්නනේ.
මම වෙනදා බැංකු එන්නේ බයික් එකේ. එදා මොකක්හරි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මම බස් එකේ ආවේ. මම බයික් එකේ එයි කියල මදුරංගත් බයික් එක දාලා අවිත්. උෟත් මගේ පානෙන් එලිය බලන්න ඇවිත්. දැන් එලිය තියා පහනවත් නෑ...
අපි දැන් ඉතිං ක්‍රිකට් ගහනවා...ගහනවා....ගහනවා.......පැය ගා.....නක් දැන් ඉතිං ක්‍රිකට් ගැහුවා..6.30ට විතර ඔන්න ඒක ඉවර උනා..ඊට පස්සේ ඉතිං 7 වෙනකල් ග්‍රවුන්ඩ් එකේ රෙස්ට් කරා...වල් පල් දොඩව දොඩව අනුන්ගේ රෙදි සෝද සෝද හිටිය අපි ඉතිං..7ට විතර ඔන්න ගෙවල් මතක් වෙලා (වැඩියෙන්ම බත් පිගාන මතක් වෙලා) යන්න ලෑස්ති උනා. ඊට පස්සේ ඉතිං බැංකුවේ අයියල නතර වෙලා ඉන්න චමරියට ගිිහින් එතනත් ඉතිං වාත වෙවී ටිකක් වෙලා හිටිය. අපි ඉතිං ගෑනු කස්ටිය නොවන නිසා පැයයෙන් ලිඳ ලඟ සංගමේ යන්තම් ඉවර කරගත්තා. අපි ඉතිං ඔය ගෑනු කස්ටිය වගේ අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්නේ නෑනේ. ඒක නිසා තමයි 6.30ට වැඩ ඉවර වෙලා 8 වෙනකල් වාත නොවී හිටියේ.
දැන් ඉතිං ගෙදර යන්න බයික් එකත් නැති නිසා මදුරංගයි මායි බස් එකක් එනකල් පයින් යන්න තීරණය කරා ඔන්න. ඉස්සර පොඩි කාලෙත් ගෙදර යන්න දෙන සල්ලි වලට අයිස් කාල අපි පයින් ගෙදර ගිය නිසා ආයෙත් යන එක ගේමක් නෙමේනෙ කියල පයින් යන්න පටන් ගත්තා. දැන් ඉතිං අපි පයින් යනවා. ඉස්සර කරපු වැඩක් මතක් වෙලා කඩෙන් ගත්තා ගිනි පෙට්ටියක්. දැන් ඉතිං පාර දෙපැත්තේ තියන කොල ගොඩවල් වලට ගිනි තිතිය අපි යනවා. කරුමේ කියන්නේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන කොල ගොඩක් ගිනි තියන්න ගිහින් දන්නෙම නැතුව බස් එකක් ගියා. අපි ඉතිං හිතාගත්ත මේ කොට කලිසම් කෑල්ලක් ගහගෙන දාඩිය පෙරාගෙන ඉන්න අපිව කොහෙමත් ඒ බස් එකට වැද්ද ගන්නේ නෑ. ඒක නිසා කමක් නෑ කියල. අනික අපි ජාතික සත්කාරයක්නේ මේ කරන්නේ. ඇයි අප්පා ආසියාවේ අහවල් එකට හරි, යහ පාලන අහවල් එකටද මොකක්ද එකට හරි යන්න ඉතිං රටේ කුනු තියාගෙන බෑනේ. අපි ඉතිං අපේ රට පිරිසිදුව තියාගන්න එපැයි. හැබැයි ඉතිං ඒ වැඩේ වැඩි වෙලා කරන්න උනේ නෑ මගේ අතින් ගිනි පෙට්ටිය වැටුනා ගිනි ගොඩට. දැන් ඉතිං හුලු අත්තක්වත් පත්තු කරගන්න විදිහක් නෑ කිය කියා අපි දෙන්නා පයින් යනවා. 
ඔය දවස් වල අපේ පැත්තේ පාර හදනවා. අර රට පුරා පාරවල් කාපට් කරපු කාලේ මේ. එක නිසා පාරේ එක පැත්තක් වහල අනිත් පැත්ත ඇරල. පාරේ එක පැත්තකින් තමයි වාහන යන්නේ. අනිත් පැත්ත පාර හොදටම කඩල මඩ වෙලා. පාර කහපාට අර පීත්ත පටි වගේ අහවල් යැයි හදුන්වන පටි වර්ගෙකින් දෙපැත්තට බෙදල තියෙන්නේ.( ඒ පටි වල නම මතක නෑ අෆ්ෆා.) පාර පටන් ගන්න තැනින් අර මඩ වෙලා වලවල් තියන පැත්ත වහල තියෙන්නේ. අනිත් පැත්ත කාපට් කරල. දැන් ඉතිං අපි කාපට් කරපු පැත්තෙන් පයින් යන්න පටන් ගත්ත්. අම්මේ කෆීර් එකක් අාවා කාපට් පාරේ 180ට විතර ආව නිසා ඒ වාහනේ ආරක්ෂාව පතා අපිට උනා අර මඩ තියන පැත්තට පනින්න. දැන් ඉතිං සපත්තු වලත් මඩ. ඒ විදිහට පාර බෙදල තියන එක 2කි.මී වගේ තියනවා. යකෝ මේ වගේ වාහන තුන හතරක් ආවොත් අපි අනාතයිනේ. අපි දෙන්න කල්කනා කරා නිරුපද්‍රිතව කිලෝමීටර් දෙක යන්න ක්‍රමයක්. මගේ ටිකිරි මොලේට මරු අදහසක් ආව. මදූ දිහා බැලුව ඌටත් අදහසක් පහල වෙලා වගේ නක්කල් හිනාවක් දාගෙන ඉන්නවා. 
“පාර වහමු“
“එකෙන්ම“
ඔච්චරයි දෙන්න කතා උනේ පාර පටන් ගන්න තැනට හැරිල ගියා ආයම. මං කිවුවා වාහනයක් හරි මිනිහෙක් හරි එනවද බලපං කියල. පාර දෙපැත්තම ක්ලියර් වෙනකල් ඉදල මං ඉක්මනට පාර කැඩිල තියන පැත්තේ තිබුන අර කහපාර අහවල් පටිය ගලවලා එහෙමම ගෙනාව පාර හොඳ පැත්තට. එකල්ලා ගැටගැහුව ඒක ගහක. දැන් පාරේ එන වාහන වලට කාපට් පාර ක්ලෝස්. කැඩිච්ච පාර ඕපන්. කොහොමද ටිකිරි මොලේ. හැබැයි ඉතිං දැන් අනිත් පැත්තෙන් වාහනයක් ආවොත් වැඩේ අතේ මාට්ටු. ඒක නිදා අපි දෙන්න ඉක්මනට එතනින් මාරු
දෙයියනේ කියල අපි දෙන්න කිසිම අවුලක් නැතුව කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ අනිත් පැත්තේ කොනටම ආවා. අපි  ඉතිං කාවත් කරදරයක් නොකර පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෝ නිසා එක වාහනයක් වත් ආවේ නෑ ඒ වෙනකල්. අපි ඉතිං කල්පනා කරා අසරණ රියදුරෝ පවුනේ. පාරේ එක පැත්තකින් ගිහින් අනිත් පැත්තේ අග හිර වෙනවනේ. එහෙම කරන්න හොඳ නෑනේ. අපි හැමෝම මිනිස්සුනේ. ඒක නිසා ඔන්න ඔහේ අපි අනිත් පැත්තෙත් හොඳ පැත්ත වහල මඩ වෙලා තියන පැත්ත ඇරියා. කොච්චර කරත් අපිත් හිත් පිත් තියන හිත් උනු වෙන මිනිස්සුනේ. 
දැං ඉතිං අපි ආයෙත් පරණ පාරේ. කොහෙන්වත් වහල නෑ කාපට් නෑ. වලවල් නෑ පාඩුවේ යන්න පුළුවන්. අපේ කරුමෙට බසුත් නෑ. තව කොහෙමත් 2කි.මී වගේ යන්නත් තියනවා. අපේ ඉස්සරහට වාහන හෝ ගාලා එනවා.එත් අප්පා ගෙවල් පැත්තට යන්න එකක් වත් තවම ආවේ නෑ.
ඔහොම ටික දුරක් යද්දි කහපාට තඩි ලොරියක් එනවා ඈතින්. අර වැලි අරන් යන ටිපර් එකක්. මොක මොකද අප්පා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවට. දවල් ඉඳල නටල නටල පුදුම මහන්සියකින්නේ ඉන්නෙත්. අපි ඉතිං උදෙ හවස දෙයියෝ බුදුන් අදහන් ඉන්න ධර්මිෂ්ට උපාසක අහිංසක සුකුමාල ළමයි දෙන්නෙක් නිසා අනිවාර්යෙන් ටිපර් එක නවත්තනවා කියල හිතාගෙන පාර මැදටම පැනල අත දැම්මා. අනේ ඉතිං දෙවියෙක් වගේ ඩ්‍රයිවර් මාමා කෙනෙක් දැං ඕන් ටිපර් එක නැවැත්තුවා. අපිත් ඉතිං දඩබඩෝං ගාල ටිපර් එකට නැඟ ගත්තා. අප්පට සිරි අඳුනන මාමා කෙනෙක්නේ. අපි එයාට නන්දේ මාමා කියමුකෝ....
මාමාගේ මූණ නම් එච්චර හොඳ පෙනුමක් තිබුනේ නෑ.....මං ඉතිං හිතාගත්තා නැන්ද හොඳට සලකනවා ඇති කියල මාමාට. මං ඉතිං එහෙම හිතල හිත හදාගත්තට මදුරංගයට හිත හදාගන්න බැරිවෙලා.
“මාමා මොකෝ විසි එක්දාහට අරන් තිස්පන්දාහට දීල වගේ“
සිරාවට ඉතිං මූ කොමස් කරාට ගනන් දන්නේ නෑනේ. මාමාගේ මොලේ බ්‍රෑන්ඩ් එන වෙනස් හරි අපේ මොලේම වෙන වර්ෂන් එකක් නිසා හරි මුගේ ගොන් කතාව මාමාට තේරුනේ නෑ. ඒක නිසා මාමා ගැලපෙන උත්තරේ ගානට දුන්නා.
“බලන්නකෝ පුතා මේ ටී...............ක් මිනිහෙක් පාර උගේ වගේ කඩාගෙන ගියා ලොරියේ පැත්තක්ම ඉවරයි මඩ. අද මේ සර්විස් කරගෙන එන ගමන්. මුං හිතං ඉන්නේ පාගල යන්න පුළුවන් උන පලියට පාර උන්ගේ කියලා. ටී......ක් රෙද්ද. මුංට යකෝ. මට කටට එනවා ඉතිං පුතා හොඳ හොඳ පද“ (ඇතැම් කුඩා ළමුන්ට නුසුදුසු පද බලධාරියා විසින් කපාහැර ඇති බව කරුණාවෙන් සලකන්න)
අම්මෝ නන්දේ මාමා....හොඳ හොඳ පද ආවට කියන්න එපා,අපි පුරුදුවෙයි. අපි මල් වගේ අහින්සක සුකිරිබටිල්ලෝ...කියල මං හිතාගත්තට කිවුවේ නෑ හොඳ්‍ෙ. 
ආය ඉතිං මදුරංගටත් මොකේ අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇනල අඩපං පුතේ කිවුවා වගේ මූත් පටන්ගත්තේ නැතෑ ඩ්‍රයිවර්ලට බනින්න. නන්දේ මාමාට හිතෙන්න ඇති නංගගත්ත මෝඩ කමක් කියල. මාමා පරාදයිනේ මුගේ කටට.
ආය ඉතිං කතා කරල වැඩක් නෑ මාමා. දැං හැදෙන ඩ්‍රයිවර්ලනම්....චී....................මෙලෝ රහක් නෑ.....ඒකට අපේ කාලේ......!!!!!.....????,1!!!,,!,!,!,!,!,!,!????!?!?!,!,,!,!,
යකෝ මූ කතා කරන්නේ හැට පැනල හොට බිම ඇනගත්ත සීයා කෙනෙක් වගේනේ.“අපේ කාලේ“ පුහ් යකෝ මු මාවත් නාකි කරනවලේ. මගේ කාලේ කියපං එක්කෝ.....
ඉස්සල්ල අපිව නංගගත්ත මෝඩ කමක් කියල නන්දේ මාමට හිතුනේ නැතැත් ඊලඟට මාමා කියන්න පටන් ගත්ත ටික ඇහුවම අම්මප මට හිතුන නැගපු මෝඩ කම කියල...
“ඒ විතරක්නම් මදැයි පුතා තව මොකෙක්ට ටී......................ක් එකෙක් පාරේ පටි ටික මාරු කරලනේ. යසටවත් කාපට් එකේ එන්න තිබුන මඩ නාන්නේ නැතුව. මේ ටී.......ක් ටී...............................................ක් ටී..ක්...ටී.....ක්//////////!!!!@@@@@###$$#@@!#$$%^%$#@@!!!**((())*^%$$##@!#!%@^&)()*()*&^%$!^&()&*^%$$##@@!@#$^&!&*!*!!!)(&*@%$@#%$@*@%@$@#@%&(@)_)@&*@^@$@^&!*@()@_)@*@^@%@#$@^&@&%$#$$$$$$^#^&#&$&*((%...........................
එතනින් එහාට සැරා.........යි....ඔය ඔක්කෝම එ්වා කියල, මාමා කාරය අන්තිමට මදුරංගය දිහා බලල කිවුවා,
ඕං දැං හැදෙන එවුන“කියල 
කාල වරෙංකෝ...මදුරංග ඉතිං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට හදාගෙන ගැස්සි ගැස්සි ඉන්නවා. උට හිනාව හිරකරගන්න බැරුව. මූ හිනාඋනොත් නම් පුතේ ෂුවර් එකටම අපි නැග්ග පයින් ආයම බිම තමා.
මූ හිනාවෙන්න කලිං මාත් පටන්ගත්ත ඉතිං කියවන්න.
“අපි එද්දිත් ඔහොමයි අප්පා....මොකෙක් හරි බූරුවෙක්ගේ වැඩක්. අපිත් මඩ නෑවනේ....ඉස්කෝලේ ඇරල යන පොඩි උන්ගේ වැඩ ඔය. දෙන දෙයක් කාල ඉන්න බෑනේ මුන්ට...තෙල වැඩිවෙලා......
දෙයියනේ කියල බහින තැනට ඇවිත්. නන්දේ මාමාට දහ අතේ පින් දීල ටිපර් එක එහෙනම් ආයම සෝද ගන්න කියල අපි දෙන්න බැහැල බිම වාඩි වෙලා බඩ අල්ලගෙන බදාගෙන කරගෙන පෙරලි පෙරලි හිනා උනා....ගෙදර ගිහින් වත් කියන්න පුළුවන් ඇයි... අපේ අම්මා, අම්මටත් එක්ක බනිනවා ඔවා කිවුවොත්....අදම කිව්වොත් තමය බනින්නේල පස්සේ කිව්වට අවුලක් නෑ.
අනිත් දවසෙ ඉතිං උදයම පිබිදී, මුහුනට දිය දී. කුළ දෙවි නමදී. බයික් එකට නගී.....බැංකු යන්න පිටත් උනා... යකෝ උදේ 7.30 වෙනකනුත් පාර වහලනේ....අම්මප මොකා කරාද දන්නේ නෑ කියල මම පාර වහල තියෙද්දිම කහ පටිය උස්සල ඒක අස්සෙන් ගියා..අම්මට සිරි ඉස්සරහට පොලිස් ජීප් එක එනවා. පොලිස් මාමා කොහෙම හරි කාපට් පාරට දාගෙන.ඇයි යකෝ පොලිස්නේ දාගත්තේ නැත්තම්නේ පුදුමෙ...දැං ඉතිං වාහන දෙක මාරු වෙන්නත් එපැයි. මං ඉතිං වැඩි හිටියන්ට ගරු කරල බයික් එක අයිනට කරගත්තා. ලං වෙලා පොලිස් මාමා නතර කරේ නැතෑ ජීප් එක......මාත් ඉතිං හීන් හිනාවක් දාගෙන හිටියා. අහ් පොර අදුනන පොලිස් මාමා කෙනෙක්.
“ඉස්සරහිනුත් පාර වහලද පුතා“
මට ඉතිං ඕං හීං හිනා එනවා
“ඔවු අංකල්, ඊයේ රෑ ඉඳල නේද? මාත් පටිය උස්සලා යටින් ආවේ.“
ඒපාර අංකල් කියපි
“මාත් අර පැත්තේ ගලවලා ආයම ගැටගහල ආවේ......“
කිරි අප්පට විදුලි කොටාපි
“බංඩාර ඔය පැත්තෙන් පටිය පොඩ්ඩක් උස්සන්නකෝ, මඩ උනාට කමක් නෑ. වහල තියෙන්නේ ඇයිද දන්නෑනේ.“
බංඩාරද කවුද ඔන්න බැහැල දැන් කහ පටිය උස්සල මඩපාර පැත්තට පොලිස් ජීප් එක දාගන්න සප් එකක් දුන්නා. මාත් ඉතිං දැං යන්නේ නැතුව බලාගෙන ඉන්නවා. පොලිස් අංකල් ඉතිං මට හෝන් එකකුත් ගහගෙන මඩ වලවල් ගොඩේ නැවක් යනවා වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දි හිමීට යනවා. මං ඉතිං කාපට පාරේ ගිහින් කහ පටිය උස්සල ඒකට යටින් රිංගල ගියා....
ඇත්තටම ඇයිද දන්නේ නෑ මේ හොඳට තියන කාපට් පාර වහල මඩ පාර ඇරල තියෙන්නේ......කාටවත් උත්තරේ නම් හම්බෙන්න නැතුව ඇති. හැබැයි ඉතිං පාරේ වැඩ කරන මිනිස්සු එනකල් වාහන ඔක්කෝම මඩ පාරේ සෝයි එකට ගියා.



මං රස්තියාදුකාරයා

Share:

මචං ඒ මං දන්න අක්කා කෙනෙක්

මේ සිද්ධියත් උනේ මගේ අතිමජාත මිත්‍රයෝ සෙට් එකත් එක්ක රස්තියාදු ගහන්න ගිහින් තමයි.... ඒ" ඉස්කෝලේ ස්පෝට් මීට් දවස් වල....අපිත් ඉතිං මෙහෙම හිටියට හොඳ ස්පෝට් මීට් කොල්ලෝනේ...ඒක නිසා ඉතිං මායි මගේ අතිමජාත මිත්‍රයෝ දෙන්නයි බැහැලම වැඩ මීට් එක ගොඩ දාන්න..සාලියට ඉතිං මේ දවස් රජ මගුල්.....මොකද 10, 11 පංති පැත්තේ කැරකි කැරකි ඉන්න පුළුවන්නේ...10, 11 පංති වල ඉන්න නංගිල ගැන සාලියගේ හිතේ පුදුම සහෝදර කැක්කුමක් තියෙන්නේ.. ඒ අහිංසක හුරුබුහුටි නංගිලාගේ අම්මල අප්පලටවත් නැතුව ඇති එහෙම කැක්කුමක්..මෙහෙම සහෝදරවරු ඉන්න එක ජාතියටත් ආඩම්බරයක්නේ...ප්‍රදීප් සහොදර ප්‍රේමෙන් බලාගත්තේ අපේ පංතියේ ගෑනු දරුවෝ නිසා උෟට රට වටේ ඇවිදින්න ඕනි උනේ නෑ.... ඒක නිසා පොර කටුව අස්සට රිංගපු අර මොකාද එකා වගේ පංතිය ඇතුලෙමයි..අපිනම් ඔන්න අහින්සකයි හො‍ඳ‍ේ.....අපේ උන්ගේ සහෝදර ප්‍රේම ගැන කියන්න ගියොත් ඉතිං මේකෙ ඉඩ මදිවෙන නිසා මම කියන්න හදපු කතාව කියන්නම්කෝ.
ඔන්න ඉතිං අපි වකුගඩුවෙන්ම කැපවෙලා වැඩ කරපු නිසා දුර වලට දහයිය ගෙනත් දාන වැඩෙත් අපි තුන්දෙනාටම සෙට් උනා...අපිත් ඉතින් ලොරි කබලක් හොයාගෙන ආම් බාං කරන්න පුළුවන් පොඩි කොල්ලේ දහයක් විතර සෙට් කරගෙන වී මෝලක් හොයාගෙන ගියා ඔන්න..ඉස්කෝලෙන් වැඩේ වකුගඩුවෙන්ම කරන්න බාරගෙන ආවට, එලියට ආවම අපි සුපර්වයිසර්ස්ලා වෙනවනේ...ඇයි අප්ප ඉස්කෝලෙ වෙනුවෙන් පොඩි උන්ගෙන් වැඩ ගත්තට මක්වෙනවයි....
ඔන්න ඉතිං ඉස්කෝලේ ලඟ පාතින්ම කොහෙම හරි මෝලක් හොයාගත්ත. අපි දැන් ලොරිය උඩට වෙලා උපදෙස් දෙනවා. පොඩි කොල්ලෝ දහයියා පටවනවා. ලොරිය දහයිය වලකටම දාල තමයි දහයිය පටවගන්නේ... ලොරිය වටේටම දහයිය ගොඩවල් පිරිල තියනවා.. සමහර දහයියා ගොඩවල් ලොරියටත් වඩා උසයි... සාලිය ඉතිං දැන් ලොරියේ වහල උඩට නැගල පොඩි නඩේට අයියා පාට් දානවා... සාලියගේ පිටිපස්සට වෙලා හිටපු මට ඉතිං සාලියවයි සාලියට එහා පැත්තෙන් තියන අලිපත දහයිය ගොඩයි හොඳට පේනවා.... මං ප්‍රදීප් දිහා බැලුව. පොර මට එහාපැත්තෙන් නිදාගෙන අහස දිහා බලාගෙන විසිල් ගහ ගහ ඉන්නවා... සහෝදර ප්‍රේමෙ මතක් වෙලාද කොහෙද.. සාලිය ඉන්න විදිහ දැක්කම ඉතිං මං නලියනවා නලියනවා වගේ. මූව අර දහයිය ගොඩට තල්ලුකරල දාන්නමයි හිත.. 
මං ඉතිං හොර පූසා වගේ හිමීට සාලිය ලඟට ගියා... දහයිය ගොඩ දිහා බැලුවා. අවුලක් නෑ, මූ වගේ තව දුසිමක් උනත් ඒකේ ඔබන්න පුළුවන්.. මං ඉතිං උදේට කාපුව සිහිකරගෙන, මුලු ඇ‍ඟ‍ේම හයිය අත්දෙකට අරගෙන පෝඩි සද්දෙකුත් දාලා මූව තල්ලු කරා දහයිය ගොඩට.... පොර නිකන් දෙමල චිත්‍රපටියක දුශ්ඨයා උඩින් විසිවෙලා යනව වගේ ගිහින් දහයිය ගොඩට වැටුන.... මට මුගේ කරනම දැකල හිනාවෙන්න වෙලාවක් තිබුනේ නෑ.. මොකද සාලිය තනියම දහයිය ගොඩට වැටුනේ නෑනේ.. මු පැත්තකට වෙලා තමංගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටපු මාවත් ඇදගෙනම තමයි දහහයිය ගොඩට වැටුනේ....
හප්පේ කටෙත් එක්ක දහයිය පිිරිල... කටේනම් තව කමක් නෑ කලිසම් අස්සෙත් දහයිය... ඇග කසනවා හෝ ගාලා. මං වැටිල කල්පනා කරේ මට කොතනද වැරදුනේ කියල.. මට බුක් ගාලා හිතුනා අතට කලිං කට වැඩ කරපු නිසා තමයි කියල. සද්ද නැතුව තල්ලු කරානම් දැං ලොරිය උඩ ඉඳගෙන දැං බක බක ගාලා හිනා වෙනවා...දැං ඉතිං කට වරද්දගෙන හිනාවෙන්නවත් ක්‍රමයක් නෑනේ..වැටුන නිසා නෙමෙයි. කට පුරවල දහයියනේ...මට කල්පනා කරන්න පුළුවන් උනේ ඔච්චරයි... අහස කලු කරනවා වගේ කලු උනා..මං දහයියගොඩේ පෙරලිගෙනම උඩ බැලුව..අහසක් දැක්කනම් හිත හදාගන්න තිබුනා.. මං දැක්කේ ඉස්කූල් යුනිෆෝම එකක් ලොරිය උඩ ඉදල මගේ ඇඟට වැටෙනවා විතරයි.. ඒක යුනිෆෝම් එක විතරක් උනානම් ඒත් හිත හදාගන්න තිබුනා.. ඒක ඇතුලේ ප්‍රදීපුත් හිටපු නිසා මං ආයෙත් දහයියා ටොන් එකකට විතර යට උනා... දැන්නම් ඉතිං කටේ දහයින නෙමෙයි මොන මගුල තිබුනත් හිනානොවී ඉන්න පුළුවන් කමක් නැති නිසා අපි තව ටිකක් අර දහයියා ගොඩේ පෙරලි පෙරලි හිනා උනා.. පොඩි උන් ටික බය වෙලා බලන් ඉන්නවා... උන්ට හිතෙන්න ඇති අපේ දහයියා ගෑවෙලා මොලේ කොලොප්පන් වෙලාකියලා...හැබැයි අපිට මොලයක් කියල එකක් තිබුනනම් ඒ වෙලාවේ ඒකෙත් දහයිය පිරිලා...
කොහොම හරි ඔය වෙද්දි ලොරියට දහයිය පටවලා ඉවරයි.. ඒ වගේම අපිත් ඉවරෙටම ඉවර වෙලා හිටියේ..කහනවා කහනවා ඉවරයක් නෑ..සාලියට තනියෙන් කසන්න අත්වෙන්න තිබුන ඉරණම දැන් තුන් දෙනා සමව කසා ගන්නවා.. අන්න සහෝදර ප්‍රෙමේ....
කොහෙම හරි දැං මේ විදිහට ඉස්කෝලෙට යන්න බෑනේ.. මං කිවුව අපි අපේ ගෙදරට ගිහිං නාගෙන යමු කියල.. ඉස්කෝලෙ වැට මායිමේ ගෙදර තියන එකනේ.... සාලියයි ප්‍රදීපුයි ඉතිං  ඒ අදහසට එක පයින් විරුද්ධ වූනා..මං ඉතිං ප්‍රජාතන්ත්‍රවාදෙට ගරුකරන මනුස්පයානේ.. මං අැහුව ඉතිං කොහෙන්ද එහෙනම් නාන්නේ කියල... තැනක් තියනවා කියල ලොරියයි පොඩි උන් ටිකයි යවල මුං දෙන්න මාවත් ඇදගෙන පොඩි ඇලක් ලඟට ගියා...
ඇලේ පිහිටීම කියනවනම් අපි නාන්න කියල සෙට් උන තැන පොඩි පාලමක් එක්ක වැලි පාරකට සෙට් වෙනවා.... පාරෙ යන මිනිහෙක් හොදට බැලුවොත් ඇර අපිව පේන්නේ නෑ.. නැත්තම් ඉතිං අපි කෑගහල අපි නානවා කියල පෙන්නන්න ඕනි.. දෙවෙනි කාරනේ කරන්න අපිට කොහෙමත් උවමනාවක් තිබුනේ නෑ. මොකද ඉතිං අපිට නාන්න වෙන්නේ නිර්වස්ත්‍ර ඇඳගෙනනේ.. කොහෙම හරි ඉතිං තුන් දෙනා දැන් වට පිට බලල නිර්වස්ත්‍ර ඇඳගෙන ඇලට බැස්ස... අපි ඉතිං පුවක් ගහෙත් නැන්ගොත් දෙබලක් කියල වතුර තියෙන්නේ දණහිසෙන් පොඩ්ඩක් උඩට එන්න විතරයි... ඒක නිසා ඉතිං අපි දැං හොඳට වතුරෙ එබිල නානවා....
ඔහොම ටික වෙලාවක් නානකොට පාරෙ මනුස්සයෙක් එනවා දැකල සාලිය බෙරිහන් දෙන්න පටන්ගත්තා... ප්‍රදීප්ටයි මටයි දෙලෝ රත්වෙලා එලෝ පොල් පෙනුනා.. අපි දෙන්න මූනෙන් මූණ බලාගත්තා..දැං ඉතිං මූ කෑගහල ඉවරයිනේ. අර මනුස්සයා දැක්කොත් ගමකින්ම ගුටි කන්න වෙන්නේ.. මං දෙසරයක් හිතන්නේ නැතුව හොඳ හුස්මක් අරගෙන වතුර  යට ගිලුනා..මාත් එක්කම ප්‍රදීපුත් යටට අවා..අපේ වෙලාවට අර මනුස්සයට මුගේ කෑගැහිල්ල ඇහිල තිබුනේ නෑ.. මනුස්සයා ගියාට පස්සේ දන්න සුද්ද සිංහල ඔක්කෝම දාල අපි සාලියට දෙහි කැපුවා. මූ උට නෙමේ වගේ ඉන්නවා..එත් එක්කම මට ප්‍රදීප් ඇහෙන් මොකක්ද පෙන්නුවා.. මල කෙලියට හෙන ගහනවා, තවත් මනුස්සයෙක් ඈතින් එනවා.. අපි කපපු දෙහි වල හැටියට මේ සැරේනම් අනිවා සාලිය අර මනුස්සයට ඇහෙන්නම කෑගහනවා කියල සීයට දෙසීයක් බුදු ෂුවර්.. ඒක නිසා ගන්න පුලුවන් ඉක්මන්ම හා ක්‍රියාකාරීම ක්‍රියාමාර්ගෙ අපි ගත්ත.. තප්පරයක් වත් පරක්කු වෙන්නේ නැතුව අපි දෙන්නා සාලියගෙ ඇගට පැනලා පොර වතුරෙ යට ඔබා ගත්තා.. මැරෙන්න ඔන්න මෙන්න තියල අර මනුස්සයා ගිය නිසා සාලියට තව ජීවත් වෙන්න වාසනාව ලැබුනා. මු ඉහින් කනින් වතුර පෙරාගෙන අපි කපපු දෙහි ඔක්කෝම අපිට කැපුවා.
කොහොම කොහොම හරි අපි ඉතිං ආයම මුල ඉදල නාන්න පටන්ගත්තා.. දැං ඉතිං ඔහොම ටික වෙලාවක් සාමකාමීව අපි නෑවා.. ප්‍රදීප් පොරගේ සහෝදර ප්‍රේමේ ගැන මට කියන්න පටන්ගත්ත. මාත් දැං ඉතිං එක අහගෙන ඉන්නවා.. ඔහොම ඉන්නකොට ඉතිං සාලිය ගැන බලන්න වෙලාවක් අපිට නැති උනා.. ටික වෙලාවකින් ගෑනු කෙනෙක් බෙරිහන් දෙන සද්දෙට තමයි අපිට සාලියව මීටර් වුනේ...
සාලියට කලිං අපි දැක්කේ වයස 40ක විතර ගැණු කෙනෙක් පාර දිගේ පිටිපස්ස බල බලා දුවනවා.. සාලියත් බක බක හිනාවක් දාගෙන ඉන්නවා.. මට තේරුනා එන පොට හොද නෑ කියලා.. ගෑනු කෙනා පස්ස බල බලා දුවපු විදිහට අනතුරක සේයාවක් ලඟ ලඟම පෙනුනා.. මං වැඩි පුර හිතුවේ නෑ. අරුන් දෙන්නට ආරාධනා පත්‍ර බෙදන්න ගිය‍ෙත් නෑ. ටක් ගාල ගොඩ වෙලා නිර්වස්තර ටික ගලවලා දාල, වස්තර ටික ඇඟට දාගත්තා. අරුන් දෙන්නත් මාත් එක්කම ලෑස්ති උනා.. උනේ මොකක්ද කියල සිද්ධිය අහගන්නවත් පරක්කු නොවී මං මීටර් 100 දුවන්න ලෑස්ති වූනේ. ස්පෝට් මීට් දවස්නේ. හැබැයි ඉතිං මීටර් 100න් මං තුංවෙනියා..මොකද මං දුවන්න ලෑස්තිවෙනකොට අරුන් දෙන්නා බාගෙට ඇඳගෙන දුවලත් ඉවරයි. යකෝ ඔක්කොටම කලිං ගොඩ උනේ මං. මුං දෙන්න අර ගෑණු කෙනා දිවුවට වඩා වේගෙන් දුවන්න පටන් අරන්. අඥ්ඥදත්ත කුහරයෝ.
චන්ඩි වගේ කෑගැහුවට තුන්දෙනාම ඉස්කෝලෙට යනකල්ම පිටි පස්ස නොබලම දිවුවා ඔන්න.. දැං ඉස්කොලෙට ඇවාති , සර්ලට එහෙම මූණ පෙන්නලා සාලිය මොකුත් නොවුන තාලෙට ඉන්නවා..යකෝ මීටර් 500ක් විතර පස්ස නොබල දිවුව හේතුව දැනගන්න අපිට මානව හිමිකම් කොමිසන් සභාවෙන්ම අවසර දීල තියල නිසා ප්‍රදීපුයි මායි අරූව අල්ලලා මුල්ලක තියාගෙන ඇහුව මොකද උනේ කියලා...
“මචං ඒ මං දන්න අක්කා කෙනෙක්... මං ඉතිං ෆිට් එකට කතා කරේ බං, කතා කරාම ඒකි මාව අදුනගත්තේ නෑ. කවුද බලන්න ලඟට ආවා. පාලම ලගට ආවම මං ඉතිං කතා කරන්න නැගිට්ට. ඒ බං මේකි යකෙක් දැක්ක වගේ මං දිහා බලන් ඉදල බෙරිහන් දීගෙන දුවන්න පටන් ගත්තනේ...උබල දිහා බලනකොට තමයි මට මීටර් උනේ බං වතුර තියෙන්නේ දනිහ ලගට විතරයි කියලා....“
“නොදකිං ගල් මූසලායා“
මං හිතුවේ ප්‍රදීප් ආයෙත් සාලියට දෙහි කපන්න හදනවා කියලා...
“උඔ මට කිවුවනම් මං නැගිටිනවනේ, උබ කලුවට කලුවේ කලු කුමාරයා වගේ නැගිට්ටම මෝහිනී උනත් බය වෙනව යකෝ..අර අක්කට බබෙක් හම්බෙලාද දන්නෑ දැන්ටම.“..........



මං රස්තියාදුකාරයා........
Share:

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.