මගේ මව පියා භාරකරු මම සාමාන්‍ය පෙළ ඉවර කරාම මගේ ජීවිතේ වැදගත් තීරණයක් ගත්තා. ඒ අය මගේ විනය ගරුක පාසල් ජීවිතය ගැන ගොඩක් හිතල, අපේ ඉස්කෝලෙ අනිත් ළමයි එක්ක මම හිටියෝත් මගේ දෙන්නා දෙමහල්ලෝ පත් වුන වාසනාවන්ත තත්වයට ඒ අයගෙත් දෙමහල්ලෝ වැටෙයි කියල තියන අධික විශ්වාසය නිසා මාව ඉස්කෝලෙන් අයින් කරගත්ත. ඊට පස්සේ ඒ අය මාව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරා. ඒත් ඒ ඉස්කෝලෙට යන එක මම ඉතා දැඩිව හෙලා දැක්ක කිසිම සාධාරණ හේතු දැක්වීමකින් තොරව. මොකද මම සාධාරණ හේතු දැක්වීමක් කරානම් හූනා කිරිගහට ඇන්න වගේ විශ්වාසයි මාව ආයම ගිහින් හිටිය ඉස්කෝලෙටම දානවා. මම කොහොමද අප්පා කටක් ඇරල කියන්නේ මාව දාන්න හිතාගෙන හිටිය ඉස්කෝලෙ හිටපු අහිංසක කොල්ලෝ ටිකක් මට කිවුව දේ,
“තෝ ආවොත් තෝව මරල කානුවක හංගනවා ටී........෦෦.ක්“(ඇතැම් වචන බලධාරියා විසින් කපාහරින ලදී)
මගේ බලවත් විරෝධය නිසා මාව වෙන ඉස්කෝලෙකට දැම්මා. ඒ ඉස්කා්ලෙ ගැන ටිකක් කියන්නම්. හැබැයි ඔන්න පවුල් පාලනයක් ය, අරකය මේකය, ඒකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ය, යහපාලනයක් අවශ්‍යය එහෙම කියන්න එපා හෝඳේ. ඒ ඉස්කෝලේ උප විදුහල්පතිතුමා අපෙ මාමා ඕං. උසස්පෙළ අංශභාර බාප්පා, එතකොට ගියාම ප්‍රාථමික විදුහල්පතිනි පුංචි(පුංචි කිව්වට එයා හරි සයිස්) තව පුංචි කෙනෙකුත් ප්‍රාථමිකේ හිටිය, එතකොට ගියාම නැටුම් ඉඟැන්වුවෙ අක්කි සංගීත ඉඟැන්වුවේ නැන්දා. මොකුත් හිතන්නේ නැත්නම් මේකත් කියන්නම්, ටික කාලෙකින් ප්‍රධාන ශිෂ්‍ය නායකය මං.
ඒ ඉස්කෝලෙදි තමයි මට පන වුනත් දෙන්න පුළුවන් අතිමජාත මිත්‍රයෝ ටිකක් හම්බුනේ. අද කියන්න යන්නේ ඒ අතිජාත මිත්‍රයෝත් එක්ක එකතු වෙලා ගහපු රස්තියාදුවක් ගැන.
ඉස්කෝලෙ ඉවර වුනාම මං අපේ නෑදෑ නඩේට මොකක් හරි බොරුවක් කියල යාළුවො ටිකත් එක්ක ගම වටේ ඇවිදින්න යනවා. ඇලවල් දොලවල් හොය හොය හොය යන්නේ ජීවිතේට වතුර දැකපු නැති උන් වගේ. කිලි කුනු සෝදගැනීමක් නම් නෑ. ඇඳගෙන හිටපු නිර්වස්තරේ පිටින්ම නාලා අවුවට වේලුනාම ගෙදර එන එකනේ.
මං ඉතිං මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි මෙහෙම වීදි සංචාරය කරන්නේ. එක්කෙනෙක් සාලිය කියමුකෝ අනිත් කෙනා ප්‍රදීප්. ගමේ ඹලිම්පික් වල කපු ගහපු පොරවල් මේ හෝඳේ. ආතල් එකට පොල් කඩල බේරෙන්න දුවල. ගෙවල් ඉස්සරහින් මල් වඩම් තියල දුවල... ඒවා ඉස්සරහට කියන්නම්කෝ. කොහොම හරි මං මේ රස්තියාදු ගහන්නේ ලෝක පූජිත පොරවල් දෙන්නෙක් එක්ක.
දවසක් ඉතිං නාන්න කියල ඉස්කෝලේ කිට් එක පිටින්ම ඇලකට ගියා. ඒ ඇල ඉතිං අරුන් දෙන්නට ගෙදර වගේ. මාලුවෝ ටික එහෙම හොඳට අදුනනවා. ඒක නිසාමද කොහෙද අපි නාන්න ගියාම මාලුවෝ අපිට ඉඩ දීල ඈතට යනවා. බලන්න ඉතිං තියන ගෞරවේ. ඔය කියපු ඇල ගාවම තමයි මගේ යාළුවෝ දෙන්නගේ ගෙවල් තිබුනේ. සාලියලගෙ ගෙදරම කඩේකුත් තිබුන. ප්‍රදීප් ගෙදර ගියා ඇදුමක් දෙකක් අරන් එන්නම් කියල. මං ඉතිං පොර එනකල් සාලියලගේ දන්සලෙන් අයිස් පැකට් එකකුත් කටේ දාගෙන ප්‍රදීප් එනකල් හිටිය. පොර ගිය පයින්ම කලිසම් කෑලි දෙකකුත් අරගෙන ඇවිත් කඩෙන් මිරිස් කුඩු 500කුත් ගත්ත ඕං අම්ම ගේන්න කියලා. දැන් ඉතිං ඒවත් අරගෙන අපි ඇලට ගියා. ඒ හෙන ලොකු ඇලක්. ඉස්කෝලෙ ඇරියම ඉස්කෝලෙ ඉන්න පොඩි උන් හැත්ත බුරුත්තම ඇලට එනවා උදේ ඉදන් සර්ල කියල දුන්න ඒව ටික සොදල දාන්න. ගෙදර යද්දි මල් වගේ යන්න එපැයි ඉස්කෝලෙ කොහෙම ආවත්. එහෙම ඉස්කෝලෙ ඉවර වෙලා ආව පොඩි කොල්ලෝ සෙට් එකකුත් සියලු වස්තර උනා දාල, ඔය ඉතිං පොඩි වස්තර කෑල්ලක් විතරක් ඇඳගෙන නානවා දැන්.
අපිත් ටිකක් ජලස්නානය කරා ඉතිං. මේ පොඩි හැත්ත බුරුත්තගෙන් බේරෙන්න බෑ උන් අපිට වැඩ පෙන්නනවා. පාලම් උඩිං පනිනවා, කරනම් ගහනවා, එක කෙලියයි. අපි ඉතිං බැරි කමට නෙමෙයි, පොඩි උන්ගේ හිත් පාරන්න හොඳ නැති නිසා පැත්තකට වෙලා හිටිය. මල් කැකුළු තලා පොඩි කරන එක දිට්ට දම්ම වේදනීය කර්මයක්නේ.
ඕං ඉතිං ටිකක් නාලා අපි ඉන්ටවල් එකක් ගත්ත. එතකොට තමයි දැක්කෙ අර පොඩි උන් සෙට් එක ඇඳුම් ගලවල තියන තැන. අනේ නිල් පාට කලිසම් පෝලිමයි. දුකේ බෑ.....අපිට ගන දෙවියෝ දුන්න නුවනට හරි අහින්සක අදහසක් පහල උනා අප්පා. ප්‍රදීප්ගෙ අම්මට මිරිස් කුඩු 250කිනුත් උයන්න පුළුවන් ඇතිනේ. ආය ඉතිං අම්මා මිරිස් කුඩු මැනල ගන්නවයැ..
අපි ඉතිං බුක් ගාලා වට මේසේ සාකච්චාවක් කැඳෙව්වා. පොඩි උන්ගේ කලිසම් වලට මිරිස් දැමීමේ අදහසට ඡන්දය තියන්න අපි තීරණය කරා. අපේ වැඩ ඉතිං සර්ව සාධාරණයිනේ. මං කැමති නෑ අප්පා ඔය අසාධාරණ වැඩ වලට. ඒක නිසා වැඩි ඡන්දෙන් එන අදහසට ඉඩ දෙන්න අපි තීරණය කරා. දැං ඉතිං ඡන්ද ප්‍රතිඵල. 3ට 0යි. ආය ඉතිං අහන්නත් දෙයක්ද පොඩි උන්ගේ කලිසම් වලට මිරිස් දැමීමේ අදහස කිසිම විපක්ෂ මතේකින් තොරව ඒක මතිකව ස්ථිර වූනා.
වැඩේ කරන්න පොරකුත් දැන් තෝර ගන්න එපැයි. මං කිවුවා අපි ඒකටත් ඡන්දයක් තියමු කියල. අාය මොන ඡන්දද ඒ වෙනකොටත් සාලිය මිරිස් කුඩු පැකට් එක අරගෙන කලිසම් ගාවට ගිහින් ඉවරයි. අපි ඉතිං සාතිශය සංවේගෙන් බලාගෙන හිටිය සාලිය කරන අහිංසක වැඩේ දිහා. සාලිය මිරිස් දාපු විදිහට මට තේරුනා ප්‍රදීප්ලගෙ අම්මට උයන්න මිරිස් කුඩු 250ක් වත් ඉතුරු වෙන්නේ නැති විත්තිය.
“හිත හදාගනින් මචං“
මං ඉතිං ප්‍රදීප්ගේ හිත හැදුව. මං කිවුවා සාලියලගේ අම්මා නැති වෙලාවක තව මිරිස් කුඩු 500කට විදිමු කියල. කොහෙමත් ඉතිං කලිනුත් මූ මිරිස් කුඩු ගෙනාවේ සල්ලි දීල නෙමේනෙ.
සාලිය වැඩේ ඉවර කරල දැං පොර සේ එනවා. මුගේ අතේ තිබුනේ හිස් මිරිස් පැකට් එක විතරයි. කාපු බීපු තැනක බල්ලෙක් බළලෙක් වත් ඉන්නේ නැති එකේ මේ වගේ වැඩක් කරල හෘද සාක්ෂියක් තියන පොරවල් විදිහට අපිට තවත් එතන ඉන්න හිත දුන්නේ නෑ. අපි කොහෙමද බලන් ඉන්නේ මල්ලි කෙනෙක්ට අත් වෙන්න යන වාසනාවන්ත ඉරණම දිහා. මං ඉතිං සිරාවට ආව චිත්ත වේදනාවට කිවුවා.
“ ඕව පෙර කළ පවු මචං, අපි කරේ නැතත් කවුරු හරි ඔය වැඩේ කරනවා.ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ මචං.,
කොච්චර කරත් අපි සාධාරණේට වැඩ කරන මිනිස්සුනේ. අපි ඉතිං මොකුත් උනේ නෑ වගේ සාලියලගෙ කඩේට ඇවිත් තව මිරිස් 500ක් ගත්ත. ඇත්තම කිවුවොත් සාලියලගේ දන්සලට ඇවිත්. සාලිය අපෙන් ණය එකතු කරානම් පොර අද කෝටිපතියෙක්. සිරිවට ඈ. මිරිසුත් අරගෙන අපි තුන් දෙනාම ප්‍රදීප්ලගේ ගෙදරට ගියා. නිකං මිරිස් අරන් යන එකේ ගෙදර තියන මොනා හරි ටිකක් බඩට දාගත්තම මක් වෙනවද. අනික ඉතිං බඩගින්නේ ඉන්න මනුස්සයෙකුට කෑම දෙන එක කොච්චර පිනක් ද?. ප්‍රදීප්ලගේ අම්මට පිං පොඩ්ඩක් අරන් දෙන්න අපි ඉතිං ප්‍රදීප්ලගේ කුස්සියටම රිංගුවා. අඩි දෙකක් එහා පැත්තේ සාලියලගේ ගෙවල් තිබුන්ත ඌත් බොක්කෙන්ම බැහැල ප්‍රදීප්ලගේ අම්මට පිං ටිකක් අරන් දෙනන එනවා.
අපි ඉතිං පිළිවෙලට වැඩ කරන පාසල් ශිෂ්‍ය ප්‍රජාව විදිහට එක කොනක ඉදන් පටන්ගෙන කුස්සිය සුද්දකරන්න පටන් ගත්ත.මොකද ප්‍රදීප්ලගේ අම්මවත්, තාත්තවත් ඒ වෙලාවෙ ගෙදර හිටියේ නෑ. හැබැයි ඉතිං අපි සුද්ද කරපු විදිහට අම්මට පැයක් විතර ආයම සුද්දකරන්න වෙනවා ෂුවර්. අපි ඉතිං මෙහෙම සුද්ද කර කර ඉන්නකොට ඈතිං ගෑනු කෙනෙක්ගෙ හරි මදුර කටහඩක් ඇහෙනවා.
“ඕකුන්ට හෙන ගහන්න ඕනි. මෙච්චරකල් දෙන්නයි හිටියේ. දැන් තව වසවර්තියෙක් එකතු වෙලා.,“
අපි ඉතිං අහල පහල වලි වලට හොට දාන නරක ළමයි නෙමෙයි නිසා පාඩුවේ ප්‍රදීප්ලගේ කුස්සියට සුද්දයක් දීගෙන හිටිය. හැබැයි ඉතිං ටික ටික අර සද්දෙ ලං වෙනවා ඇහෙනවා. කොච්චර ලඟට ආවද කියනවනම් දැන් ඒක ඇහෙන්නේ ප්‍රදීප්ලගෙ ගෙදර මිදුලෙන්.
“බහින්න කියපං ටී෦෦..............෦෦..........ක් ට එලියට ...........පරයෝ. තොපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ. එක එකාගෙ කලිසම් අස්සට මිරිස් දාන්නේ දාගනිවු තොපේ ටී..................෦෦..........................෦ක්....////....//........///.. තොපි දන්නෑ මේ සෝමාගේ හැටි... බැහැපවු යකෝ මං ඇතුලට එන්න කලිං. අද බාවනව තොපි තුන් දෙනාව.“
ප්‍රදීප්ලගේ මිදුලටම ඇවිත් තොපි තුන් දෙනා කියන්නෙ නම් සිරාවටම අපි තුන් දෙනාට කියල තේරුම් ගන්න ආය ඉතිං අටුවා ටීකා ඕනි උනේ නෑ අපිට. ඒත් ඉතිං අපි කුරා කූඹියෙකුටවත් වරදක් නැති අහිංසක මල් වගේ ළමයිනේ. මොකටත් කියල මං ජනේලෙකින් ඔලුව දාල හොරන් බැලුව මිදුල දිහා.... හප්පට සිරි ඒ අවස්ථාවෙදී මිදුලේ දුටු දර්ශනයෙන් මා හද සලිත වී මිලින වී ඔද්දල් වී වෙන්න පුළුවන් හැම දෙම විය. ව්‍යාකරණ හරිද මංදා. ඒත් ඉතිං එහෙමම වූනා. අම්මපා..
මොකද හයේ හතරේ ගෑනු කෙනෙක් නිල් කොට කලිසමකුත් අතේ තියාගෙන මිදුලට වෙලා බෙරිහන් දෙනවා. නිල් කලිසමේ හැම තැනම මිරිස් කුඩු. ඒ කලිසමේ අයිති කාරයනම් ෂුවර් එකට මිරිස් ටැංකියකට වැටිල තියනවා.
මං ඉතිං පැහැදිලිව කියන්න පුළුවන් තේරෙන සිංහලෙන් අරුන් දෙන්නට සිද්දිය කිවුවා. දැං එලියට ගියොත්නම් ෂුවර් එකටම ඒ කලිසම අපිට අන්දනවා.
“මගේ කොල්ලට මිරිස් ගාන්න තොපි කවුද යකෝ..තොපි ළමයි නෙමෙයි අමනුස්සයෝ...ටී....................................෦෦...ක් ගලවනවා තොපේ කලිසම් ඔලුවෙන්.“
කරන්න කිසි අදහසක් පහල වෙන්නෙත් නෑ බෙරිහන් දෙනවනේ මේ ගෑනු කෙනා. මගෙ ඔළුවට හොද අදහසක් පහල වුනා. කරන්න කලිං සභා සම්මත කරගන්න එපැයි.
“ අපි ගිහිං දොරේ ගහමු බාලගිරි දෝසය අද නෙමේ හෙට කියල“
මෙන්න මුං දෙන්න මූන බෙරි කරගත්ත. මගේ අදහස 2ට 1ක් විදිහට පැරදුනා ඉතිං.
මං ඉතිං පටන් ගද්දිම මුන්ට කිවුවා මල් කැකුළු තලන එක දිට්ඨ දම්ම වේදණීය කර්මයක් කියල. ඇහුවේ නෑනේ මුං එකෙක් වත්. මොකද මුං දෙන්න දන්නේ නෑ දිට්ඨ දම්ම වේදනීය කර්ම කියනේ මොනවටද කියල.
“තොපි බහිනවද මං දොර කඩන්නද යකෝ“
කිවුවට දොර කඩන්න බැරි බව අපි දන්න නිසා ඒ ගැන හිතන්නනේ නැතුව කරන්න දෙයක් කල්පනා කරා. හැබැයි ඉතිං අපි ඒ ගැන හිතුවේ නැති උනාට වෙන කෙනෙක් ඒ ගැන හිතල තිබුන. ඒ ප්‍රදීප්ලගේ ආත්තම්මා. එයාට වයස 80ක් විතර ඇති. කටේ බෙහෙතකට දතක් නෑ. හැබැයි ආත්තම්මට කටේ නැත්තේ දත් මිසක් පන නෙමෙයි කියල එදා මට තේරුනා
“ඈ යකින්නියේ උඹ එනවද මගේ ගෙදර දොර කඩන්න මං අහවල් එකක් කොරාටද සොමෝ..උඹ දන්නෑ මගේ හැටි“
ආච්චිගේ කටේ දත් නැති නිසා සෝමා කියද්දි කටෙන් සූ...ස් ගාල හුලන් යනවා. අපිට මේ ජරමර අස්සේ එකටත් හිනා. දැන් ඉතිං දෙවන ලොක යුද්දෙට ඇමරිකාව යුද පෙරමුණට ආව නිසා බය වෙන්න දෙයක් නෑ.
දැං ඉතිං අර ගෑනු කෙනා ආත්තම්මට විස්තරේ කියනවා. අපි පොඩි එකාගෙ කලිසමට මිරිස් දැම්මලු. අරකලු මේකලු. එක, හතර අට කරල කියනවා දැං.
මේක අස්සේ සෝමා නැන්ද විතරක් නෙමෙයි ආත්තම්මත් පරල උනානේ. හපොයි ඇමරිකාව යුද්දේ පාවා දුන්න.
“මේකව හම ගහන්න එපැයි මේ කරන වැඩ වලට. සමන් දෙයිහාමුදුරුවනේ..... ඉස්පිරිතාලෙකට ගිහිං වත් පෙන්නන්න පුළුවන් තැනකට යැ මුං මිරිස් දාලා තියෙන්න්“
ආත්තම්මත් හුලං යන කටිං එහෙම කියපි. අත්තම්මට අවුල ඉස්පිරිතාලෙටවත් ගිහිං පෙන්නන්න බැරි එක. එයා හිතල තියන දුර. කොන්ඩේ සුදු වෙලා තියෙන්නේ වයසට නෙමේ.. මදැයි, අපිට විරුද්දව දැන් ආත්තම්මත් සටන් බිමට බරටම බැස්සා.
“වරෙන් කෙල්ලේ ගෙට, බලපං ඔය වසවර්තියා ඉන්නවද කියල“
එන පොට හොඳ නෑ.විදේශාධාරවත් නැතුව අපි කුස්සියේ හිරවෙලා. ඒ වෙලාවේ කරන්න තියන හොඳම දේ උපක්‍රමශීලීව පසු බසින එක කියල අපේ ටිකිරි මොලවලට තේරුනා. මිරිස් දානකොට දෙයියෝ බුදුන් මතක් වූනේ නැති වුනාට දැන්නම් ගජරාමෙට මතක් වෙනවා. මේ වෙලාවටනම් ඉතිභිසෝ ගාතාවත් කටපාඩම් දෙන්න පුළුවන්.
දැං අර සෝමා නැන්දත් ගෙට එන්න හදන්නේ. කුස්සියට ආවොත්නම් අපි අනාතයි. ඊට කලිං ප්‍රදීප්ලගේ ගෙදර වෙන කවුරුහරි ආවොත් තවත් අනාතයි. ඒ නැන්ද සාලෙට ආව ගමන් කුස්සියෙ දොරෙන් එලියට පැනල මිදුලට දුවන්න අපි කතා වුනා. ඊට පස්සෙ නැන්ද සාලෙන් කුස්සියට යනකොට පන එපා කියල සාලියලගෙ ගෙදරට දුවන්න අපි කතා කරගත්ත. මොකටත් කියල දකුණු කකුල මුලින්ම එලියට තියමු කියලත් අපි කතා කරගත්තා. මොකද සුභ කටයුත්තකට යද්දි දකුණු කකුල පෙරට තියල යන්න කියල තමයි අපිට ඉස්කෝලෙදි කියල දුන්නේ. අද ඉතිං මීට වඩා සුභ කටයුත්තක් තියනවද?
කොහෙම හරි අවුලක් නැතිව නිරුපද්‍රිතව යුධ මුක්ත කලාපෙකට එන්න අපි තුන් දෙනාට පුළුවන් වුනා.
පස්සේ දවසකනම් බස් හෝල්ට් එකකදි අල්ලගෙන ප්‍රදීප්ට සෝමා නැන්ද හොඳට දෙහි කපලා තිබුනා. මං මොකටත් කියල සති ගානක් ඒ පැත්තේ නොයා හිටියා. ඊට වඩා සන්තෝසම වැඩේ තමයි අර මිරිස් කලිසමේ පොඩි එකාට දවස් ගානක් චොකලට් අරන් දෙන්න වුනා ඌව ශේප් කරගන්න. මොකද පොර වුන සිද්ධිය ඉස්කෝලෙදි කිවුවොත් අපි අනාතයිනේ. ඒත් ඉතිං චොකලට් අරන් දුන්නට පොර පොරොන්දු රැක්කේ නෑ. හැබැයි ඉතිං ඒකෙන් වැඩේ වැරදුනේත් ඒ අසරණ මල්ලි කොල්ලට තමයි. මොකද කවුරුත් ඒ වෙනකල් දැනගෙන හිටියේ නෑනේ ඒ වගේ තැනකට මිරිස් ගෑවුනාම මොකද වෙන්නේ කියල. හැමෝටම අන්තිමට ඒ මල්ලිගෙන් ඒක දැනගන්න ඕනි උනා. ඒ කට්ටියට මාත් අයිතියි. ඒත් ඉතිං මං ඒක ඇහුවම පොර මට කුනු හරපෙන් බැන්නනේ.
මං රස්තියාදුකාරයා.