ජීවිතය අර්ථවත් රස්තියාදුවක් විය.

මිෂන් කෙහෙල් කැන්

ඹන්න ඉතිං අප්පා ගොඩක් කාලෙක පස්සේ ආයෙත් රස්තියාදුවක් ගහන්න ආව. පහුගිය දවස්වල ඇදහැලිච්ච ධාරාණිපාත වර්ෂාව නිසා අන්තර්ජංජාලෙ පැත්තේ එනන බැරුව හිටියෙ. ඔන්න ඉතිං ඒකත් හරි.

දෙයියනේ කියල දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉස්කෝලෙකට ගිහිං පිස්සුවක් කෙල කෙල ඉන්න කාලේ තමයි මේ සිද්දිය උනේ. සමාවෙන්න පාසල් මෑණියනේ මෙහෙම වදාරනවට මොකද අපේ ඉස්කෝලෙ නාහෙට අහන්නේ නැති අන්ඩපාලයෝ ඔක්කොම වගේ ශිෂ්‍ය නායකයෝ. මක්කරන්නද ඉතිං මාත් ඒ ගොඩේම තමයි. මොකද අපි ඉතිං අහිංසක සුකුමාල විදිහට පාසල් ජීවිතේ ගත කරගෙන කරගෙන ගියානේ. සර්ලට අපිව පාලනය කරන්න උඩින්ම පුළුවන් නිසා අපිව ශිෂ්‍ය නායකයෝ කරා.

ඔන්න ඉතිං අපිත් ඉතිං දැහැමින් සෙමෙන් රට පාලනය කරගෙන ඉන්නවා. අපේ ඉස්කොලේ වටේම ඔය දවස් වල කෙසෙල් වගා කරල තිබුනා. අපි ඉතිං ඔය ගස් ටිකට ඇහැ ගහගෙන හිටියේ. නක්කලේට හිනා වෙන්න එපා යකෝ. ඇහැ ගහගෙනම හිටියේ මොකෙක් හරි නොසන්ඩාලයෝ ටිකක් කෙසෙල් කැන් ටික කපාගෙන යයි කියල තියන බයට. අපි ඒ තරම් ඒ කෙසෙල් කැන් ටිකට ආදරේ කරා. මොකද ආය ගමේ වැල ගමේ කපුටන්ට වගේ තමයි ඉස්කෝලේ කෙසෙල් ඉස්කෝලෙ කපුටන්ට. හැබැයි ඉතිං එක කපුටෙක්ට ඒකෙ වහන්න දුන්නේ නෑ අපි.

අපේ සෙට් එකේ පොරක් හිටිය අසංක කියල. ඒ උනාට සර්ලවත් දන්නේ නෑ උගේ නම අසංක කියල. අපි පොරට කිවුවේ අබා කියල. පොරක් කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක්, හැබැයි සමහර සමහර දේවල් වලට. පස්සේ කියන්නම්කෝ ඒවා. අබා හිටියේ අපේ අනිත් පංතියේ. අහ් කියන්න බැරි උනානේ. අපි මේවෙනකොට 13 වසරේ අයියලා ඕං.. මූ දවසක් අපේ පංතියේ උගන්නන වෙලාවක පංතියේ එලියෙ ඉඳන් අතින් මට කතා කරනවා. සර් මෙහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උගන්නවා. අරූ අරහෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නද කොහෙද මට කතා කරනවා. මූ සාමාන්‍යෙයන් මෙහෙම කතා කරන්නේ අතිශය වැදගත් වැඩකට වෙන්න ඕනි. ඒත් දෙයියනේ මේ අයි ගෝ ටු ද ටොයිලයට් කියල මෙතනින් නැඟිටල යන්න ඇයි. මම ඉස්සරහම පේලියේ ඉන්නෙත්. මූ මට කතා කරන්නේ සර්ගෙ පිටි පස්සේ ඉඳල නිසා සර්ට මූව පේන්නේ නෑ. ටික වෙලාවක් මූ එලියේ ආඬපාලි, දහ අට සන්නිය එහෙම නට නට ඉදල එක සැරේම මහසෝනා වගේ අවෙ නැතෑ පන්තියට. මූ පංතියට ඇවිල්ල කිවුවොත්, සර් චන්දිමාල්ට චූ බරයි එයාට ටොයිලට් යන්න ඕනිලු කියල මල මඟුලයිනේ. දැං මූ මොනා කියයි ද කියල මං බයේ. මූ ඇවිත් සර් ගාව හිටගෙන දැන් වට පිට බලනවා. මං මූව දැක්කේ නෑ වගේ වටපිට බලනවා. මූ එක සැරේම මාව අවුරුදු ගානකින් දැක්ක වගේ ,
“අහි මේ ඉන්නේ, සර් චන්දිමාල්ට ප්‍රින්ස්පල් සර් එන්න කිවුවා“
කියපි. මම ප්‍රධාන ශිෂ්‍ය නායකය නිසා එහෙම කතා කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් දෙයියනේ මට තියන ප්‍රශ්නේ මූ මොකද මාව ඔෆිස් එකට එක්කන් යන්න මෙච්චර තැටමුවේ කියල. මමත් දැන් සැදී පැහැදී මූත් එක්ක ඔෆිස් එකට යනවා. මං ඇහුව 
“ඇයි බං අබා“ 
මූ එක  සැරේම කියපි
“නෑ බං මට චූ බරයි“
අම්මප මට හොඳවයි දෙකක් නෙහෙයි දෙක තුනක්ම කටට ආවා. එත් ඉතිං පාසල් මාතාවගේ මූන බලාගෙන පරුසා වචා වදාරන එක හොඳ නැති නිසා මං වට පිට බැලුවා. අඩි දෙකේ දෙකේ පොල්ලක් හොයාගන්න මූගේ චූ බර හොඳ කරන්න. 
“නෑ නෑ වරෙන්කෝ බඩුවක් පෙන්නන්න“
කියල මූ ඒ පාර මාව එක්කන් ගියා ඉස්කෝලෙ කොනටම. මාත් ඉතිං දැං ආය පංතියට යන්න කම්මැලිකමට මුගේ පස්සේ වැටිල නැට්ට වගේ යනවා. මු දැං ඉස්කෝලේ කොනේම තියන කෙසෙල් වගාව ලඟට ගියා. මාත් ඉතිං මු වට පිට බලල රිංගුව කෙසෙල් වගාව අස්සට. මටත් මොකද මිත්‍රතොමෝ නිසා මාත් රිංගුව. මූ ඉන්නවා ගහක් යටට වෙලා සිරික්කිය දාගෙන. අප්පට සිරි ගජ නන්දෙට කජු මද කිවුවලු කෙසෙල් කැනක් ඉදිල හරියට ඕෂධී නැන්දගේ මූන වගේ. ඔවු ඔවු ඒ ඕෂධී තමයි.

දැං ඉතිං අපි වට මේසේ සාකච්චාවක් දාන්න ඕනි වෙලාව. කස්ටිය ඔක්කොම සෙට් වෙනකල් ඉඳල, එක්කොම කිවුවේ ප්‍රදීප් නොහොත් රිටා, සාලිය නොහොත් ඩයනා, අසංක නොහොත් අබා සමඟ වේදිකාමේ මම නොහොත් මමම තමයි. දැන් ඉතිං අපි, මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහනවා අපි. ලියන මහත්තය වගේ රිටා කොලේකුයි පෑනකුත් අරන් ඇවිත් නිසා අපි ඔක්කොටම කලින් ලිවුවා.
“වෙන්කර ඇත.....විදුහල්පති..“
කියල. ඊට පස්සේ එකත් කෙසෙල් ගහේ අමුණල ප්ලෑන ගැහුව. 
වේලාව   -   සවස 04.15
 ස්ථානය -  කෙසෙල් වගාව

ඔන්න දැං මිෂන් කෙහෙල් කැන් ප්ලෑන ගහල ඉස්කෝලේ ඇරල සතුටින් විසිර ගියා අපි නැවත හමුවෙන බලාපොරොත්තුවෙන්. දැන් ඉතිං ගෙදර ගිහින් කාල බීල කෙසෙල් කන්න බඩේ ඉඩත් තියාගෙන දොයිය බබා දොයි කියල හිටිය. නැඟිටිද්දි 04.15 පහුවෙලා..මම තනි ඇහෙන් බැලුව ෆෝන් එක දිහා. හරි, ආදර ඇමතුම් රාශියයි. ෂෝක්, මිත්‍ර ධර්මයේ නාමයෙන් මුං මං දන්නේ නැති කුනු හරප වලිනුත් මට බැනල. මම බුක් ගාල කිට මරාගෙන දිව්වා පාසල් මාතාව පොඩ්ඩක් මීට් වලො එන්න. මං යද්දි සාලිය විතරක් ඉන්නවා ගලක් උඩ වාඩි වෙලා. අනිත් උන් දෙන්න පේන්න නෑ. මං උන් ගැන අහන්න කලිං ඩෝං ගාල අහසද කොහෙද කඩාගෙන වැටුනා එතන තිබුනේ ඉංග්ලිස් යුනිට් එකේ වහලෙ උඩට. උඩ බලද්දි රිටා කුරුම්බ ගහක් මුදුනේ. මූ කුරුම්බා කඩල බිමට දානවා. සද්දෙට ක්වාටස් වල ඉන්න සර්ල එයි කියල මායි සාලියක් ඉක්මනට කෙසෙල් වගාව අස්සට රිංග ගත්තා. ඒක අස්සේ අබාත් ඉන්නවා කෙසෙල් කැන් හොය හොය. ටිකකින් රිටා ආව කුරුම්බ ගෙඩි තුනකුත් අරගෙන. ඒව විතරක් නම් කමක් නෑ මූ ඇවිත් අපිට වලහයි යාළුවෝ දෙන්නගෙයි කතාව කියනවා.. අපි පැනල දිවුවේ නෑ උපක්‍රමශීලීව පසු බැස්ස කියල මූට තේරුම් කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න ම්හ්. හරියන්නේ නෑ. මම ඉතිං තේරුම්ගත්ත මූට ඒක පැහැදිලි කරල දෙනවට වඩා ලේසිය නුවර එලිය පැත්තේ වරායක් හදල නැව් ගේන එක කියලා. කතාව වෙනස් කරන්නත් එක්ක ඔන්න ඉතිං මං මිෂන් කෙහෙල් කැන් ගැන ආයම මුං ටික දැනුවත් කලා. යන්තම් ඕං රිටා ඉන්ග්රෙඩිබල් හල්ක් තත්වෙන් මිදුනා ඕං...

දැං ඉතිං මිෂන් කෙහෙල් කැන් ක්‍රියාකාරී අදියරේ. දැං උගතෝකෝටික පුරස්නේ තමයි කෙසෙල් කැන කොහොමද කපන්නේ කියල. දුකේ බෑ ගහ කපල දාන්න. ඔන්න දැං තමයි මම මුලින්ම අබා, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොරක් කිවුව එක ක්‍රියාවට නැංවෙන්නේ.
“අනේ බං ගහට නැඟල කෙසෙල් කැන හිමීට බාමු බිමට. ඕක මහ වැඩක් යැ“
මමනම් මෙච්චර කල් එහෙම කෙසෙල් කැන් කැපිල්ලක් අහල තිබුනේ නෑ. ඒත් ඉතිං අලුත් අලුත් දෑ මොනාද නොකරන ජාතිය ලොව නොනගී කියලනවනේ, ඇයි අම්මපල්ල අර මාස්ටර් කියන්නේ මොනාද සිතුවිලි සිතනා සිතත් උදාරයි කියල. උදාරට විතරද අලුත් සිතුවිලි පහල වෙන්නේ, ඇයි අපේ අබා කළුද? ඔවු ඉතිං ඌනම් කළුයි තමයි ඒක වෙනම කතාවක්.

කෝම හරි දැං අබා කෙහෙල් ගහට නඟින්න ලෑස්තීනේ. එත් ඉතිං ප්ලෑනිං දුර්වලතා එකින් එන එලියට එන්න පටන් ගත්තා. පිහියක් නෑ කැන කපන්න. මේ ඇඳුම් ඇඳගෙන නගින්න බෑ කහට ගෑවෙනවා. මල කෙලියයි. කුරුම්බා ගෙනාවට ඒවා කපන්නත් පිහියක් නෑනේ. අපේ ඉතිං ගෙදර තිබුනේ අල්ලපු වැටේ නිසා මූං ඔක්කෝම කන්න වගේ මගේ දිහා බලාපි. මං ඉතිං ඉෂ්ට දේවතාව වගේ දුවල ගිහිං පිහියක් ගෙනාවා. (ප.ලි මේ වෙනකොට ඉෂ්ට දේවතාවන්ට දුවන්න බෑ කියා නොදැන සිටියෙමි.) ඒත් ඉතිං ඇඳුමක් තමයි ප්‍රශ්නේ. නිර්වස්ත්‍ර ඇඳගෙන නඟින්නත් බෑනේ ඒ ඇඳුමේ කහට ගෑවුනොත් ඔක්කොටම හපන්නේ.

සාලිය නිකං එක සැරේම දැන් නැඟිට්ට වගේ හරි වරෙන්කො යන්න කියල අපිවත් ඇදගෙන දැන් හිමීට හිමීට ක්වාටස් ලඟට ආවා. එතන ක්වාටස් එක අපේ පංති භාර අබේරත්න සර්ගේ. උගන්නන්නේ බී.සී. මේ වෙලාවේ ඒ.බී.සී වත් මතක් වෙන්නේ නෑ, ඇයි යකෝ හොරෙන් කෙහෙල් කැනක් කපන්න ඇවිත් සර්ලගේ ක්වාටස් අස්සේ මොන රෙද්දට රිංගනවද, අහ් කියන්න අමතක උන කාරණා දෙකක් තියනවා. ඒ, මිස්ටර් අබා මගේ ටිකක් ඈතින් නෑදෑයෙක් වීම සහ මේ දැං කතාවට ආව අබේරත්න සර් අපි දෙන්නගෙම බාප්පෙක් වීම. බාප්ප උනත් බං පංතිභාර සර්නේ. ගෞරවෙන් කටයුතු කරන්න ඕනි. සර්ගේ ගෙදර පිටිපස්සට හිමීට ගෑටුවාම තමයි නිධානේ දැක්කේ. ටිකාාාාක් පරන සරමක්. අපිට හිතන්නවත් වෙලාවක් ගියේනෑ සාලිය කුමාරයා රාජ ලීලාවෙන් ගිහින් වැලේ තිබුන සරම උගේ වගේ අරන් ආව.

දැන්  ඉතිං ඒ ප්‍රශ්නෙත් හරි. දැං ඉතිං බාප්පගේ නොහොත් අබේරත්න සර්ගේ සරම උගේ වගේ ඇඳගෙන අපේ අබා කෙසෙල් ගහේ. මං ගෙනාපු පිහියත් දැන් ඉනේ ගහගෙන මු ගහේ. අම්මප මූටනම් හොරෙන් කෙසෙල් කපල අවුරුදු ගානක අත්දැකීම් තියනවා වගේ. දැන් ඉතිං මලට නොතලා රොං ගන්නවා වගේ ගස නොතලා ගහට හොරෙන් අපි අලි කෙසෙල් කැන කැපුව ඕං..ඊට පස්සේ ඉතිං අපේ ගුරු ගෞරවේ පෙන්නන්න ආයම සරම ගිහින් දැම්ම තිබුන තැනටම.

ඒ කෙසෙල් කැන අලි කියන්නේ අලිම අලී.. කෙසෙල් ගෙඩි හතරක් පහක් කකකොට ආය බඩේ ඉඩ නෑ. අහ් කුරුම්බා වලට පොඩී ඉඩක් තිබුන. මේක ගෙදර අරන් යන්න ඇයි. මොකද කරන්නේ කියල කල්පනා කරල වටමේසේ සාකච්චාවක් දාලා අවසාන තීරනයක් සභාසම්මත කරගත්තා. මගේ යෝජනාවෙන් සාලියගේ ස්තිර කිරීමේන් එම යොජනාව සභා සම්මත වූවේය. උක්ත ආඛ්‍යාත හා අක්ෂර වින්‍යාසය ගැන හිතන්න එපා, කොහොම හරි ඔය මං කියපු විදිහට වැඩේ උනා. යොජනාව තමයි කෙහෙල් කැන අද කොහෙ හරි හංගල හෙට පංතියේ උන්ට කෙහෙල් පාටියක් දෙමු කියල.

ඔන්න දැං ඉතිං ඉර මාමා බැහැල හිහින් හඳ මාමා ඇවිත් ආයෙත් ඉර මාමා ඇවිත් දහසක් බුදුන් බුදුවන උදෑසනක් ආවලු. අපිත් ඉතිං අහිංසක ගිරා පෝතක තිත්ත පැටවු වගේ පුංච් දෙපා තබා  ළදු දෙනි පැන දෙවැට දිගේ ගුරු පාරින් එගොඩ වෙලා ඉස්කෝලෙට ගියාලු.

ඉස්කෝලෙත් ඉතිං වෙනද වගේ සාමකාමී සැහැහැවත් සර්ව සම්පූර්ණයි, එක කෙහෙල කැනක් ඇරුනම. දැං ඉතිං උදේ රැස්වීමටත් වෙලාව හරි, වෙනදට උදේට පිපුණු කඩුපුල් මලක් වගේ පිපිල ඉන්න අපේ ප්‍රින්සිපල් සර්ගේ මුන ටිකක් විතර වෙනස් වෙලා. මං අනිත් උන්ගේ මූන බැලුව. උන්ටත් වැඩේ තේරිලා. කොහොම හරි සර්ගෙ කතාව වෙලාවේ සර් මරු කතාවක් කියපි. අවසර මොකුත් නෑ. සුබ පැතුම් මොකුත් නෑ, සර් කතාව පටන් ගත්තා.
“මේ ඉස්කෝලේ කෙසෙල් කැන් 24ක් තිබුන දැන් තියෙන්නේ 23යි.“
කියල පටන්ගත්ත කතාව ටිකක් සැරට ඇදීල ගියා. අපිටනම් ඒ කතාව හරි හැඟුම් බරයි. ඒ වගේම ඇඞුම් බරයි. අපි දැන් ශෝකයෙන් ගැබ්බරයි. ඇයි යකෝ අපිට වඩා හොඳට ප්‍රින්සිපල් සර් කෙසෙල් කැන් වලට ඇහැ ගහගෙන ඉඳලනේ. තව ටික වෙලාවකින් සර් අඩු උන කෙහෙල් කැලේ තිබුන ගෙඩි ගානත් කියයි. අපි ඉතිං කෙසෙල් කාපු කටින් කෙල බිංදුවක් හලන්නේ නැතුව හිටිය. ඒත් අනේ පලවෙනි පීරියඩ් එකේම මට කැඳවුමක් ලැබුන ඔෆිස් එකට. මං ඉතිං ආත්මාරක්ෂාවට මොකටත් සාලියත් එක්කගෙන ගියා. මැරෙන්න උනත් යං කිවුවම දෙයියනේ කියල මගේ යාළුවො ටික බෑ කියන්නේ නෑ. 
“ දෙන්නගෙම බැජ් දෙක ගලවල දෙනවා. තමුසෙලා මේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෝ.. බ්ලා බ්ලා බ්ලා“
ඕක තමයි මං බලාගෙන ගියේ. ඒ උනාට උනේ අනිත් පැත්ත.
“ මට අදම ඕනි කෙසෙල් කැන කපපු උන්ව හොයල. අපි මේකෙන් හොරු බිහිකරන්න නෙමෙයිනෙ උගන්නන්නේ.“
හොරාගේ අම්මගෙන් පේන අහල නරියට කුකුල් කොටුව බාර දුන්න වගේ. දැන් හොයපියකෝ හොරු. උගතෝකෝටික ප්‍රශ්නයක්. අපි දහ අතේ කල්පනා කරලා. රිටා කියනවා අපි පොලීසියට භාර වෙමුලු. ඊ... විලි ලැජ්ජයි. එතකොට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

අදහසක් ආවා. අපි මුලින්ම පංති පංති ගානේ ගිහින් හොඳින් ඇහුව කවුද කෙහෙල් කැන කැපුවේ කියල. අඩේ කවුරුවත් කපල නෑනේ. ඊට පස්සේ ඉතිං තව පොඩි මල්ලිලා තුන් හතර දෙනෙක් එක්ක බොරුවට ඉතිං හෙවුව ඔන්න කෙහෙල් කැන. බලන්නකෝ මේ මල්ලිලාගේ හපන්කම්. ඊයේ කවුද හොරාට කපල ගෙඩි ටිකක් කාල හංගල තිබුන කෙහෙල් කැන හොයාගත්තනේ. අපිටත් ඉතිං අපේ ඉදිරි පරම්පරාව ගැන මාර සතුටුයි. මුං ටික ඉතිං නිධානයක් හමුබුනා වගේ අරක උස්සන් ගිහන් ප්‍රින්සිපල් සර්ට දුන්නා. අපි ඉතිං කිව්වා හොරු නෑ බඩු විතරයි, උන්න හැටියට මලා මදැයි කියල. සර් ඉතිං දෙයියනේ කියල අපේ කීම පිලිගත්ත. ඒකනේ අපේ ප්‍රින්සිපල් සර් දෙයියෙක් කියන්නේ.

දැං ඉතිං අපි මොකුත් උනේ නෑ වගේ ඉන්නවා. අබේරත්න සර්ටත් සරම ගැන ගානක් නෑ වගේ. අපිට දුක ඉතිං මිෂන් කෙහෙල් කැන් සාර්ථක වෙලා අතට ආව කෙහෙල් කැන කටට දාගන්න බැරි උන එකට.

කොහෙම හරි ඉතිං අපි හිත හදාගමු රංජනී කියල ඉන්නකොට ඉන්ටවල් එක වෙලාවේ අබේරත්න සර් එනවා පංතියට කෙසෙල් ඇවරි දෙකකුත් අරගෙන. අප්පට සිරි. ප්‍රින්සිපල් සර් ගුරු මංඩලේ අයට කෙසෙල් දීල. සර්ට ඉතිං ඉන්න සුවච කීකරු ගෝලයෝ ටික මතක් වලො හදවත කීංං.....ගාන්න අරගෙන සර්ට දුන්න කෙසෙල් අපිට ගෙනත් දුන්නා. අපිත් ඉතිං සර් එක්කම සර්ගේ සරමටත් පිං දිිදී කෙසෙල් කෑව.

තවම ඉතිං අපේ ප්‍රින්සිපල් සර් දන්නේ නෑ 24ක් තිබුන කෙසෙල් කැන්ටික 23 උනේ කොහොමද කියල. ඒත් සර් දන්නවා උත්තුංග දේහදාරී යුග ශීෂ්‍ය නායකයින් හතර දෙනෙක් විසින් වික්‍රමාන්විත අයුරින් නැවතත් ඒ නැති උන කෙසෙල් කැන අබ්බගාතකොට හරි හොයල දුන්න කියල. කාටද ආඩම්බර. ඈ.......

මං රස්තියාදුකාරයා...


Share:

ඉස්සරහිනුත් පාර වහලද පුතා

මේක උනේ උසස් පෙළ කියන කිරි ආහාරය අපිව වළඳල ඉවර වෙලා ටික කාලෙකින්. මම ගෙදර හිටියොත් ගෙදර ඉන්න බලු පැටිය නැහැදෙනවා කියල අපේ ලොකු තැන ඉතිං මට බැංකුවකටවත් වැඩට යන්න කිව්වා. මං ඉතිං අම්මා අප්පච්චි කියන දේ අහගෙන ඉන්න අහිංසක කොලු ගැටයෙක් නිසා ළඟම තියන මහජන බැංකුවට ඔන්න වැඩට ගියා. අම්මට සිරි ඒක සුර පුරයක්. ඔක්කොම හිටියේ මං වගේ අහිංසක අයියල අක්කල ටිකක්. දවස් දෙකයි වැඩට ගියේ බැංකුව නිකං ගෙදර වගේ. පිස්සුමයි කෙලින්නේ. 
බැංකුවේ හිටියේ වැඩට හරියට ඇලුම් කරන කොල්ලෝ ටිකක් නිසා සෑම බ්‍රහස්පතින්දා දිනකම සවස තුනේ සිට අපි පිට්ටනියේ ක්‍රිකට් ගහනවා. වැඩ ඔක්කෝම ටික කොහෙම හරි ඉවර කරගෙන හවස් වෙද්දි අපි බැංකුවෙන් පිටට පනිනවා. ඔන්න මේ කියන දවසෙත් අපි ක්‍රිකට් ගහන්න ගියා.
බැංකුවේ අයත් එක්ක ක්‍රිකට් ගහන්න පිට යාලුවොත් එනවා. මගේ උපන්දාසිට තවම ඉන්න යාළුවෙකුත් ඒ සෙට් එකේ හිටියා. නම මදුරංග කියමුකෝ. ආදරේට ඉතිං අපි කියන්නේ මැක්කා කියල. මූ ඉපදුනෙත් මං ඉපදුන හොස්පිට්ල් එකේ. අපි මොන්ටිසෝරි, දහම්පාසල්, ඉස්කෝලේ ගියේ හැම දේම කරේ එකට. කුපාඩි වැඩත් අනන්තවත් කරල තියනවා. පොඩි කාලේ කරපු කුපාඩි වැඩ පස්සේ කියන්නම්කෝ. දැන් ආවේ මේ ජම්බුගහෙන් වැටුනට පස්සේ කරපු කුපාඩි වැඩක් කියන්නනේ.
මම වෙනදා බැංකු එන්නේ බයික් එකේ. එදා මොකක්හරි නොවැලැක්විය හැකි හේතුවක් නිසා මම බස් එකේ ආවේ. මම බයික් එකේ එයි කියල මදුරංගත් බයික් එක දාලා අවිත්. උෟත් මගේ පානෙන් එලිය බලන්න ඇවිත්. දැන් එලිය තියා පහනවත් නෑ...
අපි දැන් ඉතිං ක්‍රිකට් ගහනවා...ගහනවා....ගහනවා.......පැය ගා.....නක් දැන් ඉතිං ක්‍රිකට් ගැහුවා..6.30ට විතර ඔන්න ඒක ඉවර උනා..ඊට පස්සේ ඉතිං 7 වෙනකල් ග්‍රවුන්ඩ් එකේ රෙස්ට් කරා...වල් පල් දොඩව දොඩව අනුන්ගේ රෙදි සෝද සෝද හිටිය අපි ඉතිං..7ට විතර ඔන්න ගෙවල් මතක් වෙලා (වැඩියෙන්ම බත් පිගාන මතක් වෙලා) යන්න ලෑස්ති උනා. ඊට පස්සේ ඉතිං බැංකුවේ අයියල නතර වෙලා ඉන්න චමරියට ගිිහින් එතනත් ඉතිං වාත වෙවී ටිකක් වෙලා හිටිය. අපි ඉතිං ගෑනු කස්ටිය නොවන නිසා පැයයෙන් ලිඳ ලඟ සංගමේ යන්තම් ඉවර කරගත්තා. අපි ඉතිං ඔය ගෑනු කස්ටිය වගේ අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්නේ නෑනේ. ඒක නිසා තමයි 6.30ට වැඩ ඉවර වෙලා 8 වෙනකල් වාත නොවී හිටියේ.
දැන් ඉතිං ගෙදර යන්න බයික් එකත් නැති නිසා මදුරංගයි මායි බස් එකක් එනකල් පයින් යන්න තීරණය කරා ඔන්න. ඉස්සර පොඩි කාලෙත් ගෙදර යන්න දෙන සල්ලි වලට අයිස් කාල අපි පයින් ගෙදර ගිය නිසා ආයෙත් යන එක ගේමක් නෙමේනෙ කියල පයින් යන්න පටන් ගත්තා. දැන් ඉතිං අපි පයින් යනවා. ඉස්සර කරපු වැඩක් මතක් වෙලා කඩෙන් ගත්තා ගිනි පෙට්ටියක්. දැන් ඉතිං පාර දෙපැත්තේ තියන කොල ගොඩවල් වලට ගිනි තිතිය අපි යනවා. කරුමේ කියන්නේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබුන කොල ගොඩක් ගිනි තියන්න ගිහින් දන්නෙම නැතුව බස් එකක් ගියා. අපි ඉතිං හිතාගත්ත මේ කොට කලිසම් කෑල්ලක් ගහගෙන දාඩිය පෙරාගෙන ඉන්න අපිව කොහෙමත් ඒ බස් එකට වැද්ද ගන්නේ නෑ. ඒක නිසා කමක් නෑ කියල. අනික අපි ජාතික සත්කාරයක්නේ මේ කරන්නේ. ඇයි අප්පා ආසියාවේ අහවල් එකට හරි, යහ පාලන අහවල් එකටද මොකක්ද එකට හරි යන්න ඉතිං රටේ කුනු තියාගෙන බෑනේ. අපි ඉතිං අපේ රට පිරිසිදුව තියාගන්න එපැයි. හැබැයි ඉතිං ඒ වැඩේ වැඩි වෙලා කරන්න උනේ නෑ මගේ අතින් ගිනි පෙට්ටිය වැටුනා ගිනි ගොඩට. දැන් ඉතිං හුලු අත්තක්වත් පත්තු කරගන්න විදිහක් නෑ කිය කියා අපි දෙන්නා පයින් යනවා. 
ඔය දවස් වල අපේ පැත්තේ පාර හදනවා. අර රට පුරා පාරවල් කාපට් කරපු කාලේ මේ. එක නිසා පාරේ එක පැත්තක් වහල අනිත් පැත්ත ඇරල. පාරේ එක පැත්තකින් තමයි වාහන යන්නේ. අනිත් පැත්ත පාර හොදටම කඩල මඩ වෙලා. පාර කහපාට අර පීත්ත පටි වගේ අහවල් යැයි හදුන්වන පටි වර්ගෙකින් දෙපැත්තට බෙදල තියෙන්නේ.( ඒ පටි වල නම මතක නෑ අෆ්ෆා.) පාර පටන් ගන්න තැනින් අර මඩ වෙලා වලවල් තියන පැත්ත වහල තියෙන්නේ. අනිත් පැත්ත කාපට් කරල. දැන් ඉතිං අපි කාපට් කරපු පැත්තෙන් පයින් යන්න පටන් ගත්ත්. අම්මේ කෆීර් එකක් අාවා කාපට් පාරේ 180ට විතර ආව නිසා ඒ වාහනේ ආරක්ෂාව පතා අපිට උනා අර මඩ තියන පැත්තට පනින්න. දැන් ඉතිං සපත්තු වලත් මඩ. ඒ විදිහට පාර බෙදල තියන එක 2කි.මී වගේ තියනවා. යකෝ මේ වගේ වාහන තුන හතරක් ආවොත් අපි අනාතයිනේ. අපි දෙන්න කල්කනා කරා නිරුපද්‍රිතව කිලෝමීටර් දෙක යන්න ක්‍රමයක්. මගේ ටිකිරි මොලේට මරු අදහසක් ආව. මදූ දිහා බැලුව ඌටත් අදහසක් පහල වෙලා වගේ නක්කල් හිනාවක් දාගෙන ඉන්නවා. 
“පාර වහමු“
“එකෙන්ම“
ඔච්චරයි දෙන්න කතා උනේ පාර පටන් ගන්න තැනට හැරිල ගියා ආයම. මං කිවුවා වාහනයක් හරි මිනිහෙක් හරි එනවද බලපං කියල. පාර දෙපැත්තම ක්ලියර් වෙනකල් ඉදල මං ඉක්මනට පාර කැඩිල තියන පැත්තේ තිබුන අර කහපාර අහවල් පටිය ගලවලා එහෙමම ගෙනාව පාර හොඳ පැත්තට. එකල්ලා ගැටගැහුව ඒක ගහක. දැන් පාරේ එන වාහන වලට කාපට් පාර ක්ලෝස්. කැඩිච්ච පාර ඕපන්. කොහොමද ටිකිරි මොලේ. හැබැයි ඉතිං දැන් අනිත් පැත්තෙන් වාහනයක් ආවොත් වැඩේ අතේ මාට්ටු. ඒක නිදා අපි දෙන්න ඉක්මනට එතනින් මාරු
දෙයියනේ කියල අපි දෙන්න කිසිම අවුලක් නැතුව කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැතුව පාඩුවේ අනිත් පැත්තේ කොනටම ආවා. අපි  ඉතිං කාවත් කරදරයක් නොකර පාඩුවේ ජීවත් වෙන අහිංසක කොල්ලෝ නිසා එක වාහනයක් වත් ආවේ නෑ ඒ වෙනකල්. අපි ඉතිං කල්පනා කරා අසරණ රියදුරෝ පවුනේ. පාරේ එක පැත්තකින් ගිහින් අනිත් පැත්තේ අග හිර වෙනවනේ. එහෙම කරන්න හොඳ නෑනේ. අපි හැමෝම මිනිස්සුනේ. ඒක නිසා ඔන්න ඔහේ අපි අනිත් පැත්තෙත් හොඳ පැත්ත වහල මඩ වෙලා තියන පැත්ත ඇරියා. කොච්චර කරත් අපිත් හිත් පිත් තියන හිත් උනු වෙන මිනිස්සුනේ. 
දැං ඉතිං අපි ආයෙත් පරණ පාරේ. කොහෙන්වත් වහල නෑ කාපට් නෑ. වලවල් නෑ පාඩුවේ යන්න පුළුවන්. අපේ කරුමෙට බසුත් නෑ. තව කොහෙමත් 2කි.මී වගේ යන්නත් තියනවා. අපේ ඉස්සරහට වාහන හෝ ගාලා එනවා.එත් අප්පා ගෙවල් පැත්තට යන්න එකක් වත් තවම ආවේ නෑ.
ඔහොම ටික දුරක් යද්දි කහපාට තඩි ලොරියක් එනවා ඈතින්. අර වැලි අරන් යන ටිපර් එකක්. මොක මොකද අප්පා වැලේ වැල් නැතුව ඉන්න වෙලාවට. දවල් ඉඳල නටල නටල පුදුම මහන්සියකින්නේ ඉන්නෙත්. අපි ඉතිං උදෙ හවස දෙයියෝ බුදුන් අදහන් ඉන්න ධර්මිෂ්ට උපාසක අහිංසක සුකුමාල ළමයි දෙන්නෙක් නිසා අනිවාර්යෙන් ටිපර් එක නවත්තනවා කියල හිතාගෙන පාර මැදටම පැනල අත දැම්මා. අනේ ඉතිං දෙවියෙක් වගේ ඩ්‍රයිවර් මාමා කෙනෙක් දැං ඕන් ටිපර් එක නැවැත්තුවා. අපිත් ඉතිං දඩබඩෝං ගාල ටිපර් එකට නැඟ ගත්තා. අප්පට සිරි අඳුනන මාමා කෙනෙක්නේ. අපි එයාට නන්දේ මාමා කියමුකෝ....
මාමාගේ මූණ නම් එච්චර හොඳ පෙනුමක් තිබුනේ නෑ.....මං ඉතිං හිතාගත්තා නැන්ද හොඳට සලකනවා ඇති කියල මාමාට. මං ඉතිං එහෙම හිතල හිත හදාගත්තට මදුරංගයට හිත හදාගන්න බැරිවෙලා.
“මාමා මොකෝ විසි එක්දාහට අරන් තිස්පන්දාහට දීල වගේ“
සිරාවට ඉතිං මූ කොමස් කරාට ගනන් දන්නේ නෑනේ. මාමාගේ මොලේ බ්‍රෑන්ඩ් එන වෙනස් හරි අපේ මොලේම වෙන වර්ෂන් එකක් නිසා හරි මුගේ ගොන් කතාව මාමාට තේරුනේ නෑ. ඒක නිසා මාමා ගැලපෙන උත්තරේ ගානට දුන්නා.
“බලන්නකෝ පුතා මේ ටී...............ක් මිනිහෙක් පාර උගේ වගේ කඩාගෙන ගියා ලොරියේ පැත්තක්ම ඉවරයි මඩ. අද මේ සර්විස් කරගෙන එන ගමන්. මුං හිතං ඉන්නේ පාගල යන්න පුළුවන් උන පලියට පාර උන්ගේ කියලා. ටී......ක් රෙද්ද. මුංට යකෝ. මට කටට එනවා ඉතිං පුතා හොඳ හොඳ පද“ (ඇතැම් කුඩා ළමුන්ට නුසුදුසු පද බලධාරියා විසින් කපාහැර ඇති බව කරුණාවෙන් සලකන්න)
අම්මෝ නන්දේ මාමා....හොඳ හොඳ පද ආවට කියන්න එපා,අපි පුරුදුවෙයි. අපි මල් වගේ අහින්සක සුකිරිබටිල්ලෝ...කියල මං හිතාගත්තට කිවුවේ නෑ හොඳ්‍ෙ. 
ආය ඉතිං මදුරංගටත් මොකේ අඩන්න හිටපු මිනිහට ඇගිල්ලෙන් ඇනල අඩපං පුතේ කිවුවා වගේ මූත් පටන්ගත්තේ නැතෑ ඩ්‍රයිවර්ලට බනින්න. නන්දේ මාමාට හිතෙන්න ඇති නංගගත්ත මෝඩ කමක් කියල. මාමා පරාදයිනේ මුගේ කටට.
ආය ඉතිං කතා කරල වැඩක් නෑ මාමා. දැං හැදෙන ඩ්‍රයිවර්ලනම්....චී....................මෙලෝ රහක් නෑ.....ඒකට අපේ කාලේ......!!!!!.....????,1!!!,,!,!,!,!,!,!,!????!?!?!,!,,!,!,
යකෝ මූ කතා කරන්නේ හැට පැනල හොට බිම ඇනගත්ත සීයා කෙනෙක් වගේනේ.“අපේ කාලේ“ පුහ් යකෝ මු මාවත් නාකි කරනවලේ. මගේ කාලේ කියපං එක්කෝ.....
ඉස්සල්ල අපිව නංගගත්ත මෝඩ කමක් කියල නන්දේ මාමට හිතුනේ නැතැත් ඊලඟට මාමා කියන්න පටන් ගත්ත ටික ඇහුවම අම්මප මට හිතුන නැගපු මෝඩ කම කියල...
“ඒ විතරක්නම් මදැයි පුතා තව මොකෙක්ට ටී......................ක් එකෙක් පාරේ පටි ටික මාරු කරලනේ. යසටවත් කාපට් එකේ එන්න තිබුන මඩ නාන්නේ නැතුව. මේ ටී.......ක් ටී...............................................ක් ටී..ක්...ටී.....ක්//////////!!!!@@@@@###$$#@@!#$$%^%$#@@!!!**((())*^%$$##@!#!%@^&)()*()*&^%$!^&()&*^%$$##@@!@#$^&!&*!*!!!)(&*@%$@#%$@*@%@$@#@%&(@)_)@&*@^@$@^&!*@()@_)@*@^@%@#$@^&@&%$#$$$$$$^#^&#&$&*((%...........................
එතනින් එහාට සැරා.........යි....ඔය ඔක්කෝම එ්වා කියල, මාමා කාරය අන්තිමට මදුරංගය දිහා බලල කිවුවා,
ඕං දැං හැදෙන එවුන“කියල 
කාල වරෙංකෝ...මදුරංග ඉතිං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට හදාගෙන ගැස්සි ගැස්සි ඉන්නවා. උට හිනාව හිරකරගන්න බැරුව. මූ හිනාඋනොත් නම් පුතේ ෂුවර් එකටම අපි නැග්ග පයින් ආයම බිම තමා.
මූ හිනාවෙන්න කලිං මාත් පටන්ගත්ත ඉතිං කියවන්න.
“අපි එද්දිත් ඔහොමයි අප්පා....මොකෙක් හරි බූරුවෙක්ගේ වැඩක්. අපිත් මඩ නෑවනේ....ඉස්කෝලේ ඇරල යන පොඩි උන්ගේ වැඩ ඔය. දෙන දෙයක් කාල ඉන්න බෑනේ මුන්ට...තෙල වැඩිවෙලා......
දෙයියනේ කියල බහින තැනට ඇවිත්. නන්දේ මාමාට දහ අතේ පින් දීල ටිපර් එක එහෙනම් ආයම සෝද ගන්න කියල අපි දෙන්න බැහැල බිම වාඩි වෙලා බඩ අල්ලගෙන බදාගෙන කරගෙන පෙරලි පෙරලි හිනා උනා....ගෙදර ගිහින් වත් කියන්න පුළුවන් ඇයි... අපේ අම්මා, අම්මටත් එක්ක බනිනවා ඔවා කිවුවොත්....අදම කිව්වොත් තමය බනින්නේල පස්සේ කිව්වට අවුලක් නෑ.
අනිත් දවසෙ ඉතිං උදයම පිබිදී, මුහුනට දිය දී. කුළ දෙවි නමදී. බයික් එකට නගී.....බැංකු යන්න පිටත් උනා... යකෝ උදේ 7.30 වෙනකනුත් පාර වහලනේ....අම්මප මොකා කරාද දන්නේ නෑ කියල මම පාර වහල තියෙද්දිම කහ පටිය උස්සල ඒක අස්සෙන් ගියා..අම්මට සිරි ඉස්සරහට පොලිස් ජීප් එක එනවා. පොලිස් මාමා කොහෙම හරි කාපට් පාරට දාගෙන.ඇයි යකෝ පොලිස්නේ දාගත්තේ නැත්තම්නේ පුදුමෙ...දැං ඉතිං වාහන දෙක මාරු වෙන්නත් එපැයි. මං ඉතිං වැඩි හිටියන්ට ගරු කරල බයික් එක අයිනට කරගත්තා. ලං වෙලා පොලිස් මාමා නතර කරේ නැතෑ ජීප් එක......මාත් ඉතිං හීන් හිනාවක් දාගෙන හිටියා. අහ් පොර අදුනන පොලිස් මාමා කෙනෙක්.
“ඉස්සරහිනුත් පාර වහලද පුතා“
මට ඉතිං ඕං හීං හිනා එනවා
“ඔවු අංකල්, ඊයේ රෑ ඉඳල නේද? මාත් පටිය උස්සලා යටින් ආවේ.“
ඒපාර අංකල් කියපි
“මාත් අර පැත්තේ ගලවලා ආයම ගැටගහල ආවේ......“
කිරි අප්පට විදුලි කොටාපි
“බංඩාර ඔය පැත්තෙන් පටිය පොඩ්ඩක් උස්සන්නකෝ, මඩ උනාට කමක් නෑ. වහල තියෙන්නේ ඇයිද දන්නෑනේ.“
බංඩාරද කවුද ඔන්න බැහැල දැන් කහ පටිය උස්සල මඩපාර පැත්තට පොලිස් ජීප් එක දාගන්න සප් එකක් දුන්නා. මාත් ඉතිං දැං යන්නේ නැතුව බලාගෙන ඉන්නවා. පොලිස් අංකල් ඉතිං මට හෝන් එකකුත් ගහගෙන මඩ වලවල් ගොඩේ නැවක් යනවා වගේ එහෙට මෙහෙට පැද්දි පැද්දි හිමීට යනවා. මං ඉතිං කාපට පාරේ ගිහින් කහ පටිය උස්සල ඒකට යටින් රිංගල ගියා....
ඇත්තටම ඇයිද දන්නේ නෑ මේ හොඳට තියන කාපට් පාර වහල මඩ පාර ඇරල තියෙන්නේ......කාටවත් උත්තරේ නම් හම්බෙන්න නැතුව ඇති. හැබැයි ඉතිං පාරේ වැඩ කරන මිනිස්සු එනකල් වාහන ඔක්කෝම මඩ පාරේ සෝයි එකට ගියා.



මං රස්තියාදුකාරයා

Share:

මචං ඒ මං දන්න අක්කා කෙනෙක්

මේ සිද්ධියත් උනේ මගේ අතිමජාත මිත්‍රයෝ සෙට් එකත් එක්ක රස්තියාදු ගහන්න ගිහින් තමයි.... ඒ" ඉස්කෝලේ ස්පෝට් මීට් දවස් වල....අපිත් ඉතිං මෙහෙම හිටියට හොඳ ස්පෝට් මීට් කොල්ලෝනේ...ඒක නිසා ඉතිං මායි මගේ අතිමජාත මිත්‍රයෝ දෙන්නයි බැහැලම වැඩ මීට් එක ගොඩ දාන්න..සාලියට ඉතිං මේ දවස් රජ මගුල්.....මොකද 10, 11 පංති පැත්තේ කැරකි කැරකි ඉන්න පුළුවන්නේ...10, 11 පංති වල ඉන්න නංගිල ගැන සාලියගේ හිතේ පුදුම සහෝදර කැක්කුමක් තියෙන්නේ.. ඒ අහිංසක හුරුබුහුටි නංගිලාගේ අම්මල අප්පලටවත් නැතුව ඇති එහෙම කැක්කුමක්..මෙහෙම සහෝදරවරු ඉන්න එක ජාතියටත් ආඩම්බරයක්නේ...ප්‍රදීප් සහොදර ප්‍රේමෙන් බලාගත්තේ අපේ පංතියේ ගෑනු දරුවෝ නිසා උෟට රට වටේ ඇවිදින්න ඕනි උනේ නෑ.... ඒක නිසා පොර කටුව අස්සට රිංගපු අර මොකාද එකා වගේ පංතිය ඇතුලෙමයි..අපිනම් ඔන්න අහින්සකයි හො‍ඳ‍ේ.....අපේ උන්ගේ සහෝදර ප්‍රේම ගැන කියන්න ගියොත් ඉතිං මේකෙ ඉඩ මදිවෙන නිසා මම කියන්න හදපු කතාව කියන්නම්කෝ.
ඔන්න ඉතිං අපි වකුගඩුවෙන්ම කැපවෙලා වැඩ කරපු නිසා දුර වලට දහයිය ගෙනත් දාන වැඩෙත් අපි තුන්දෙනාටම සෙට් උනා...අපිත් ඉතින් ලොරි කබලක් හොයාගෙන ආම් බාං කරන්න පුළුවන් පොඩි කොල්ලේ දහයක් විතර සෙට් කරගෙන වී මෝලක් හොයාගෙන ගියා ඔන්න..ඉස්කෝලෙන් වැඩේ වකුගඩුවෙන්ම කරන්න බාරගෙන ආවට, එලියට ආවම අපි සුපර්වයිසර්ස්ලා වෙනවනේ...ඇයි අප්ප ඉස්කෝලෙ වෙනුවෙන් පොඩි උන්ගෙන් වැඩ ගත්තට මක්වෙනවයි....
ඔන්න ඉතිං ඉස්කෝලේ ලඟ පාතින්ම කොහෙම හරි මෝලක් හොයාගත්ත. අපි දැන් ලොරිය උඩට වෙලා උපදෙස් දෙනවා. පොඩි කොල්ලෝ දහයියා පටවනවා. ලොරිය දහයිය වලකටම දාල තමයි දහයිය පටවගන්නේ... ලොරිය වටේටම දහයිය ගොඩවල් පිරිල තියනවා.. සමහර දහයියා ගොඩවල් ලොරියටත් වඩා උසයි... සාලිය ඉතිං දැන් ලොරියේ වහල උඩට නැගල පොඩි නඩේට අයියා පාට් දානවා... සාලියගේ පිටිපස්සට වෙලා හිටපු මට ඉතිං සාලියවයි සාලියට එහා පැත්තෙන් තියන අලිපත දහයිය ගොඩයි හොඳට පේනවා.... මං ප්‍රදීප් දිහා බැලුව. පොර මට එහාපැත්තෙන් නිදාගෙන අහස දිහා බලාගෙන විසිල් ගහ ගහ ඉන්නවා... සහෝදර ප්‍රේමෙ මතක් වෙලාද කොහෙද.. සාලිය ඉන්න විදිහ දැක්කම ඉතිං මං නලියනවා නලියනවා වගේ. මූව අර දහයිය ගොඩට තල්ලුකරල දාන්නමයි හිත.. 
මං ඉතිං හොර පූසා වගේ හිමීට සාලිය ලඟට ගියා... දහයිය ගොඩ දිහා බැලුවා. අවුලක් නෑ, මූ වගේ තව දුසිමක් උනත් ඒකේ ඔබන්න පුළුවන්.. මං ඉතිං උදේට කාපුව සිහිකරගෙන, මුලු ඇ‍ඟ‍ේම හයිය අත්දෙකට අරගෙන පෝඩි සද්දෙකුත් දාලා මූව තල්ලු කරා දහයිය ගොඩට.... පොර නිකන් දෙමල චිත්‍රපටියක දුශ්ඨයා උඩින් විසිවෙලා යනව වගේ ගිහින් දහයිය ගොඩට වැටුන.... මට මුගේ කරනම දැකල හිනාවෙන්න වෙලාවක් තිබුනේ නෑ.. මොකද සාලිය තනියම දහයිය ගොඩට වැටුනේ නෑනේ.. මු පැත්තකට වෙලා තමංගේ පාඩුවේ වැඩක් බලාගෙන හිටපු මාවත් ඇදගෙනම තමයි දහහයිය ගොඩට වැටුනේ....
හප්පේ කටෙත් එක්ක දහයිය පිිරිල... කටේනම් තව කමක් නෑ කලිසම් අස්සෙත් දහයිය... ඇග කසනවා හෝ ගාලා. මං වැටිල කල්පනා කරේ මට කොතනද වැරදුනේ කියල.. මට බුක් ගාලා හිතුනා අතට කලිං කට වැඩ කරපු නිසා තමයි කියල. සද්ද නැතුව තල්ලු කරානම් දැං ලොරිය උඩ ඉඳගෙන දැං බක බක ගාලා හිනා වෙනවා...දැං ඉතිං කට වරද්දගෙන හිනාවෙන්නවත් ක්‍රමයක් නෑනේ..වැටුන නිසා නෙමෙයි. කට පුරවල දහයියනේ...මට කල්පනා කරන්න පුළුවන් උනේ ඔච්චරයි... අහස කලු කරනවා වගේ කලු උනා..මං දහයියගොඩේ පෙරලිගෙනම උඩ බැලුව..අහසක් දැක්කනම් හිත හදාගන්න තිබුනා.. මං දැක්කේ ඉස්කූල් යුනිෆෝම එකක් ලොරිය උඩ ඉදල මගේ ඇඟට වැටෙනවා විතරයි.. ඒක යුනිෆෝම් එක විතරක් උනානම් ඒත් හිත හදාගන්න තිබුනා.. ඒක ඇතුලේ ප්‍රදීපුත් හිටපු නිසා මං ආයෙත් දහයියා ටොන් එකකට විතර යට උනා... දැන්නම් ඉතිං කටේ දහයින නෙමෙයි මොන මගුල තිබුනත් හිනානොවී ඉන්න පුළුවන් කමක් නැති නිසා අපි තව ටිකක් අර දහයියා ගොඩේ පෙරලි පෙරලි හිනා උනා.. පොඩි උන් ටික බය වෙලා බලන් ඉන්නවා... උන්ට හිතෙන්න ඇති අපේ දහයියා ගෑවෙලා මොලේ කොලොප්පන් වෙලාකියලා...හැබැයි අපිට මොලයක් කියල එකක් තිබුනනම් ඒ වෙලාවේ ඒකෙත් දහයිය පිරිලා...
කොහොම හරි ඔය වෙද්දි ලොරියට දහයිය පටවලා ඉවරයි.. ඒ වගේම අපිත් ඉවරෙටම ඉවර වෙලා හිටියේ..කහනවා කහනවා ඉවරයක් නෑ..සාලියට තනියෙන් කසන්න අත්වෙන්න තිබුන ඉරණම දැන් තුන් දෙනා සමව කසා ගන්නවා.. අන්න සහෝදර ප්‍රෙමේ....
කොහෙම හරි දැං මේ විදිහට ඉස්කෝලෙට යන්න බෑනේ.. මං කිවුව අපි අපේ ගෙදරට ගිහිං නාගෙන යමු කියල.. ඉස්කෝලෙ වැට මායිමේ ගෙදර තියන එකනේ.... සාලියයි ප්‍රදීපුයි ඉතිං  ඒ අදහසට එක පයින් විරුද්ධ වූනා..මං ඉතිං ප්‍රජාතන්ත්‍රවාදෙට ගරුකරන මනුස්පයානේ.. මං අැහුව ඉතිං කොහෙන්ද එහෙනම් නාන්නේ කියල... තැනක් තියනවා කියල ලොරියයි පොඩි උන් ටිකයි යවල මුං දෙන්න මාවත් ඇදගෙන පොඩි ඇලක් ලඟට ගියා...
ඇලේ පිහිටීම කියනවනම් අපි නාන්න කියල සෙට් උන තැන පොඩි පාලමක් එක්ක වැලි පාරකට සෙට් වෙනවා.... පාරෙ යන මිනිහෙක් හොදට බැලුවොත් ඇර අපිව පේන්නේ නෑ.. නැත්තම් ඉතිං අපි කෑගහල අපි නානවා කියල පෙන්නන්න ඕනි.. දෙවෙනි කාරනේ කරන්න අපිට කොහෙමත් උවමනාවක් තිබුනේ නෑ. මොකද ඉතිං අපිට නාන්න වෙන්නේ නිර්වස්ත්‍ර ඇඳගෙනනේ.. කොහෙම හරි ඉතිං තුන් දෙනා දැන් වට පිට බලල නිර්වස්ත්‍ර ඇඳගෙන ඇලට බැස්ස... අපි ඉතිං පුවක් ගහෙත් නැන්ගොත් දෙබලක් කියල වතුර තියෙන්නේ දණහිසෙන් පොඩ්ඩක් උඩට එන්න විතරයි... ඒක නිසා ඉතිං අපි දැං හොඳට වතුරෙ එබිල නානවා....
ඔහොම ටික වෙලාවක් නානකොට පාරෙ මනුස්සයෙක් එනවා දැකල සාලිය බෙරිහන් දෙන්න පටන්ගත්තා... ප්‍රදීප්ටයි මටයි දෙලෝ රත්වෙලා එලෝ පොල් පෙනුනා.. අපි දෙන්න මූනෙන් මූණ බලාගත්තා..දැං ඉතිං මූ කෑගහල ඉවරයිනේ. අර මනුස්සයා දැක්කොත් ගමකින්ම ගුටි කන්න වෙන්නේ.. මං දෙසරයක් හිතන්නේ නැතුව හොඳ හුස්මක් අරගෙන වතුර  යට ගිලුනා..මාත් එක්කම ප්‍රදීපුත් යටට අවා..අපේ වෙලාවට අර මනුස්සයට මුගේ කෑගැහිල්ල ඇහිල තිබුනේ නෑ.. මනුස්සයා ගියාට පස්සේ දන්න සුද්ද සිංහල ඔක්කෝම දාල අපි සාලියට දෙහි කැපුවා. මූ උට නෙමේ වගේ ඉන්නවා..එත් එක්කම මට ප්‍රදීප් ඇහෙන් මොකක්ද පෙන්නුවා.. මල කෙලියට හෙන ගහනවා, තවත් මනුස්සයෙක් ඈතින් එනවා.. අපි කපපු දෙහි වල හැටියට මේ සැරේනම් අනිවා සාලිය අර මනුස්සයට ඇහෙන්නම කෑගහනවා කියල සීයට දෙසීයක් බුදු ෂුවර්.. ඒක නිසා ගන්න පුලුවන් ඉක්මන්ම හා ක්‍රියාකාරීම ක්‍රියාමාර්ගෙ අපි ගත්ත.. තප්පරයක් වත් පරක්කු වෙන්නේ නැතුව අපි දෙන්නා සාලියගෙ ඇගට පැනලා පොර වතුරෙ යට ඔබා ගත්තා.. මැරෙන්න ඔන්න මෙන්න තියල අර මනුස්සයා ගිය නිසා සාලියට තව ජීවත් වෙන්න වාසනාව ලැබුනා. මු ඉහින් කනින් වතුර පෙරාගෙන අපි කපපු දෙහි ඔක්කෝම අපිට කැපුවා.
කොහොම කොහොම හරි අපි ඉතිං ආයම මුල ඉදල නාන්න පටන්ගත්තා.. දැං ඉතිං ඔහොම ටික වෙලාවක් සාමකාමීව අපි නෑවා.. ප්‍රදීප් පොරගේ සහෝදර ප්‍රේමේ ගැන මට කියන්න පටන්ගත්ත. මාත් දැං ඉතිං එක අහගෙන ඉන්නවා.. ඔහොම ඉන්නකොට ඉතිං සාලිය ගැන බලන්න වෙලාවක් අපිට නැති උනා.. ටික වෙලාවකින් ගෑනු කෙනෙක් බෙරිහන් දෙන සද්දෙට තමයි අපිට සාලියව මීටර් වුනේ...
සාලියට කලිං අපි දැක්කේ වයස 40ක විතර ගැණු කෙනෙක් පාර දිගේ පිටිපස්ස බල බලා දුවනවා.. සාලියත් බක බක හිනාවක් දාගෙන ඉන්නවා.. මට තේරුනා එන පොට හොද නෑ කියලා.. ගෑනු කෙනා පස්ස බල බලා දුවපු විදිහට අනතුරක සේයාවක් ලඟ ලඟම පෙනුනා.. මං වැඩි පුර හිතුවේ නෑ. අරුන් දෙන්නට ආරාධනා පත්‍ර බෙදන්න ගිය‍ෙත් නෑ. ටක් ගාල ගොඩ වෙලා නිර්වස්තර ටික ගලවලා දාල, වස්තර ටික ඇඟට දාගත්තා. අරුන් දෙන්නත් මාත් එක්කම ලෑස්ති උනා.. උනේ මොකක්ද කියල සිද්ධිය අහගන්නවත් පරක්කු නොවී මං මීටර් 100 දුවන්න ලෑස්ති වූනේ. ස්පෝට් මීට් දවස්නේ. හැබැයි ඉතිං මීටර් 100න් මං තුංවෙනියා..මොකද මං දුවන්න ලෑස්තිවෙනකොට අරුන් දෙන්නා බාගෙට ඇඳගෙන දුවලත් ඉවරයි. යකෝ ඔක්කොටම කලිං ගොඩ උනේ මං. මුං දෙන්න අර ගෑණු කෙනා දිවුවට වඩා වේගෙන් දුවන්න පටන් අරන්. අඥ්ඥදත්ත කුහරයෝ.
චන්ඩි වගේ කෑගැහුවට තුන්දෙනාම ඉස්කෝලෙට යනකල්ම පිටි පස්ස නොබලම දිවුවා ඔන්න.. දැං ඉස්කොලෙට ඇවාති , සර්ලට එහෙම මූණ පෙන්නලා සාලිය මොකුත් නොවුන තාලෙට ඉන්නවා..යකෝ මීටර් 500ක් විතර පස්ස නොබල දිවුව හේතුව දැනගන්න අපිට මානව හිමිකම් කොමිසන් සභාවෙන්ම අවසර දීල තියල නිසා ප්‍රදීපුයි මායි අරූව අල්ලලා මුල්ලක තියාගෙන ඇහුව මොකද උනේ කියලා...
“මචං ඒ මං දන්න අක්කා කෙනෙක්... මං ඉතිං ෆිට් එකට කතා කරේ බං, කතා කරාම ඒකි මාව අදුනගත්තේ නෑ. කවුද බලන්න ලඟට ආවා. පාලම ලගට ආවම මං ඉතිං කතා කරන්න නැගිට්ට. ඒ බං මේකි යකෙක් දැක්ක වගේ මං දිහා බලන් ඉදල බෙරිහන් දීගෙන දුවන්න පටන් ගත්තනේ...උබල දිහා බලනකොට තමයි මට මීටර් උනේ බං වතුර තියෙන්නේ දනිහ ලගට විතරයි කියලා....“
“නොදකිං ගල් මූසලායා“
මං හිතුවේ ප්‍රදීප් ආයෙත් සාලියට දෙහි කපන්න හදනවා කියලා...
“උඔ මට කිවුවනම් මං නැගිටිනවනේ, උබ කලුවට කලුවේ කලු කුමාරයා වගේ නැගිට්ටම මෝහිනී උනත් බය වෙනව යකෝ..අර අක්කට බබෙක් හම්බෙලාද දන්නෑ දැන්ටම.“..........



මං රස්තියාදුකාරයා........
Share:

ගලවනවා කලිසම් ඔලුවෙන්

මගේ මව පියා භාරකරු මම සාමාන්‍ය පෙළ ඉවර කරාම මගේ ජීවිතේ වැදගත් තීරණයක් ගත්තා. ඒ අය මගේ විනය ගරුක පාසල් ජීවිතය ගැන ගොඩක් හිතල, අපේ ඉස්කෝලෙ අනිත් ළමයි එක්ක මම හිටියෝත් මගේ දෙන්නා දෙමහල්ලෝ පත් වුන වාසනාවන්ත තත්වයට ඒ අයගෙත් දෙමහල්ලෝ වැටෙයි කියල තියන අධික විශ්වාසය නිසා මාව ඉස්කෝලෙන් අයින් කරගත්ත. ඊට පස්සේ ඒ අය මාව වෙන ඉස්කෝලෙකට දාන්න තීරණය කරා. ඒත් ඒ ඉස්කෝලෙට යන එක මම ඉතා දැඩිව හෙලා දැක්ක කිසිම සාධාරණ හේතු දැක්වීමකින් තොරව. මොකද මම සාධාරණ හේතු දැක්වීමක් කරානම් හූනා කිරිගහට ඇන්න වගේ විශ්වාසයි මාව ආයම ගිහින් හිටිය ඉස්කෝලෙටම දානවා. මම කොහොමද අප්පා කටක් ඇරල කියන්නේ මාව දාන්න හිතාගෙන හිටිය ඉස්කෝලෙ හිටපු අහිංසක කොල්ලෝ ටිකක් මට කිවුව දේ,
“තෝ ආවොත් තෝව මරල කානුවක හංගනවා ටී........෦෦.ක්“(ඇතැම් වචන බලධාරියා විසින් කපාහරින ලදී)
මගේ බලවත් විරෝධය නිසා මාව වෙන ඉස්කෝලෙකට දැම්මා. ඒ ඉස්කා්ලෙ ගැන ටිකක් කියන්නම්. හැබැයි ඔන්න පවුල් පාලනයක් ය, අරකය මේකය, ඒකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ය, යහපාලනයක් අවශ්‍යය එහෙම කියන්න එපා‍‍‍ හෝඳ‍ේ. ඒ ඉස්කෝලේ උප විදුහල්පතිතුමා අපෙ මාමා ඕං. උසස්පෙළ අංශභාර බාප්පා, එතකොට ගියාම ප්‍රාථමික විදුහල්පතිනි පුංචි(පුංචි කිව්වට එයා හරි සයිස්) තව පුංචි කෙනෙකුත් ප්‍රාථමිකේ හිටිය, එතකොට ගියාම නැටුම් ඉඟැන්වුවෙ අක්කි සංගීත ඉඟැන්වුවේ නැන්දා. මොකුත් හිතන්නේ නැත්නම් මේකත් කියන්නම්, ටික කාලෙකින් ප්‍රධාන ශිෂ්‍ය නායකය මං. 
ඒ ඉස්කෝලෙදි තමයි මට පන වුනත් දෙන්න පුළුවන් අතිමජාත මිත්‍රයෝ ටිකක් හම්බුනේ. අද කියන්න යන්නේ ඒ අතිජාත මිත්‍රයෝත් එක්ක එකතු වෙලා ගහපු රස්තියාදුවක් ගැන.
ඉස්කෝලෙ ඉවර වුනාම මං අපේ නෑදෑ නඩේට මොකක් හරි බොරුවක් කියල යාළුවො ටිකත් එක්ක ගම වටේ ඇවිදින්න යනවා. ඇලවල් දොලවල් හොය හොය හොය යන්නේ ජීවිතේට වතුර දැකපු නැති උන් වගේ. කිලි කුනු සෝදගැනීමක් නම් නෑ. ඇඳගෙන හිටපු නිර්වස්තරේ පිටින්ම නාලා අවුවට වේලුනාම ගෙදර එන එකනේ. 
මං ඉතිං මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක තමයි මෙහෙම වීදි සංචාරය කරන්නේ. එක්කෙනෙක් සාලිය කියමුකෝ අනිත් කෙනා ප්‍රදීප්. ගමේ ඹලිම්පික් වල කපු ගහපු පොරවල් මේ හෝ‍ඳ‍ේ. ආතල් එකට පොල් කඩල බේරෙන්න දුවල. ගෙවල් ඉස්සරහින් මල් වඩම් තියල දුවල... ඒවා ඉස්සරහට කියන්නම්කෝ. කොහොම හරි මං මේ රස්තියාදු ගහන්නේ ලෝක පූජිත පොරවල් දෙන්නෙක් එක්ක.
දවසක් ඉතිං නාන්න කියල ඉස්කෝලේ කිට් එක පිටින්ම ඇලකට ගියා. ඒ ඇල ඉතිං අරුන් දෙන්නට ගෙදර වගේ. මාලුවෝ ටික එහෙම හොඳට අදුනනවා. ඒක නිසාමද කොහෙද අපි නාන්න ගියාම මාලුවෝ අපිට ඉඩ දීල ඈතට යනවා. බලන්න ඉතිං තියන ගෞරවේ. ඔය කියපු ඇල ගාවම තමයි මගේ යාළුවෝ දෙන්නගේ ගෙවල් තිබුනේ. සාලියලගෙ ගෙදරම කඩේකුත් තිබුන. ප්‍රදීප් ගෙදර ගියා ඇදුමක් දෙකක් අරන් එන්නම් කියල. මං ඉතිං පොර එනකල් සාලියලගේ දන්සලෙන් අයිස් පැකට් එකකුත් කටේ දාගෙන ප්‍රදීප් එනකල් හිටිය. පොර ගිය පයින්ම කලිසම් කෑලි දෙකකුත් අරගෙන ඇවිත් කඩෙන් මිරිස් කුඩු 500කුත් ගත්ත ඕං අම්ම ගේන්න කියලා. දැන් ඉතිං ඒවත් අරගෙන අපි ඇලට ගියා. ඒ හෙන ලොකු ඇලක්. ඉස්කෝලෙ ඇරියම ඉස්කෝලෙ ඉන්න පොඩි උන් හැත්ත බුරුත්තම ඇලට එනවා උදේ ඉදන් සර්ල කියල දුන්න ඒව ටික සොදල දාන්න. ගෙදර යද්දි මල් වගේ යන්න එපැයි ඉස්කෝලෙ කොහෙම ආවත්. එහෙම ඉස්කෝලෙ ඉවර වෙලා ආව පොඩි කොල්ලෝ සෙට් එකකුත් සියලු වස්තර උනා දාල, ඔය ඉතිං පොඩි වස්තර කෑල්ලක් විතරක් ඇඳගෙන නානවා දැන්.
අපිත් ටිකක් ජලස්නානය කරා ඉතිං. මේ පොඩි හැත්ත බුරුත්තගෙන් බේරෙන්න බෑ උන් අපිට වැඩ පෙන්නනවා. පාලම් උඩිං පනිනවා, කරනම් ගහනවා, එක කෙලියයි. අපි ඉතිං බැරි කමට නෙමෙයි, පොඩි උන්ගේ හිත් පාරන්න හොඳ නැති නිසා පැත්තකට වෙලා හිටිය. මල් කැකුළු තලා පොඩි කරන එක දිට්ට දම්ම වේදනීය කර්මයක්නේ.
ඕං ඉතිං ටිකක් නාලා අපි ඉන්ටවල් එකක් ගත්ත. එතකොට තමයි දැක්කෙ අර පොඩි උන් සෙට් එක ඇඳුම් ගලවල තියන තැන. අනේ නිල් පාට කලිසම් පෝලිමයි. දුකේ බෑ.....අපිට ගන දෙවියෝ දුන්න නුවනට හරි අහින්සක අදහසක් පහල උනා අප්පා. ප්‍රදීප්ගෙ අම්මට මිරිස් කුඩු 250කිනුත් උයන්න පුළුවන් ඇතිනේ. ආය ඉතිං අම්මා මිරිස් කුඩු මැනල ගන්නවයැ.. 
අපි ඉතිං බුක් ගාලා වට මේසේ සාකච්චාවක් කැඳ‍ෙව්වා. පොඩි උන්ගේ කලිසම් වලට මිරිස් දැමීමේ අදහසට ඡන්දය තියන්න අපි තීරණය කරා. අපේ වැඩ ඉතිං සර්ව සාධාරණයිනේ. මං කැමති නෑ අප්පා ඔය අසාධාරණ වැඩ වලට. ඒක නිසා වැඩි ඡන්දෙන් එන අදහසට ඉඩ දෙන්න අපි තීරණය කරා. දැං ඉතිං ඡන්ද ප්‍රතිඵල. 3ට 0යි. ආය ඉතිං අහන්නත් දෙයක්ද පොඩි උන්ගේ කලිසම් වලට මිරිස් දැමීමේ අදහස කිසිම විපක්ෂ මතේකින් තොරව ඒක මතිකව ස්ථිර වූනා. 
වැඩේ කරන්න පොරකුත් දැන් තෝර ගන්න එපැයි. මං කිවුවා අපි ඒකටත් ඡන්දයක් තියමු කියල. අාය මොන ඡන්දද ඒ වෙනකොටත් සාලිය මිරිස් කුඩු පැකට් එක අරගෙන කලිසම් ගාවට ගිහින් ඉවරයි. අපි ඉතිං සාතිශය සංවේගෙන් බලාගෙන හිටිය සාලිය කරන අහිංසක වැඩේ දිහා. සාලිය මිරිස් දාපු විදිහට මට තේරුනා ප්‍රදීප්ලගෙ අම්මට උයන්න මිරිස් කුඩු 250ක් වත් ඉතුරු වෙන්නේ නැති විත්තිය.
“හිත හදාගනින් මචං“
මං ඉතිං ප්‍රදීප්ගේ හිත හැදුව. මං කිවුවා සාලියලගේ අම්මා නැති වෙලාවක තව මිරිස් කුඩු 500කට විදිමු කියල. කොහෙමත් ඉතිං කලිනුත් මූ මිරිස් කුඩු ගෙනාවේ සල්ලි දීල නෙමේනෙ. 
සාලිය වැඩේ ඉවර කරල දැං පොර සේ එනවා. මුගේ අතේ තිබුනේ හිස් මිරිස් පැකට් එක විතරයි. කාපු බීපු තැනක බල්ලෙක් බළලෙක් වත් ඉන්නේ නැති එකේ මේ වගේ වැඩක් කරල හෘද සාක්ෂියක් තියන පොරවල් විදිහට අපිට තවත් එතන ඉන්න හිත දුන්නේ නෑ. අපි කොහෙමද බලන් ඉන්නේ මල්ලි කෙනෙක්ට අත් වෙන්න යන වාසනාවන්ත ඉරණම දිහා. මං ඉතිං සිරාවට ආව චිත්ත වේදනාවට කිවුවා.
“ ඕව පෙර කළ පවු මචං, අපි කරේ නැතත් කවුරු හරි ඔය වැඩේ කරනවා.ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ  මචං., 
කොච්චර කරත් අපි සාධාරණේට වැඩ කරන මිනිස්සුනේ. අපි ඉතිං මොකුත් උනේ නෑ වගේ සාලියලගෙ කඩේට ඇවිත් තව මිරිස් 500ක් ගත්ත. ඇත්තම කිවුවොත් සාලියලගේ දන්සලට ඇවිත්. සාලිය අපෙන් ණය එකතු කරානම් පොර අද කෝටිපතියෙක්. සිරිවට ඈ. මිරිසුත් අරගෙන අපි තුන් දෙනාම ප්‍රදීප්ලගේ ගෙදරට ගියා. නිකං මිරිස් අරන් යන එකේ ගෙදර තියන මොනා හරි ටිකක් බඩට දාගත්තම මක් වෙනවද. අනික ඉතිං බඩගින්නේ ඉන්න මනුස්සයෙකුට කෑම දෙන එක කොච්චර පිනක් ද?. ප්‍රදීප්ලගේ අම්මට පිං පොඩ්ඩක් අරන් දෙන්න අපි ඉතිං ප්‍රදීප්ලගේ කුස්සියටම රිංගුවා. අඩි දෙකක් එහා පැත්තේ සාලියලගේ ගෙවල් තිබුන්ත ඌත් බොක්කෙන්ම බැහැල ප්‍රදීප්ලගේ අම්මට පිං ටිකක් අරන් දෙනන එනවා.
අපි ඉතිං පිළිවෙලට වැඩ කරන පාසල් ශිෂ්‍ය ප්‍රජාව විදිහට එක කොනක ඉදන් පටන්ගෙන කුස්සිය සුද්දකරන්න පටන් ගත්ත.මොකද ප්‍රදීප්ලගේ අම්මවත්, තාත්තවත් ඒ වෙලාවෙ ගෙදර හිටියේ නෑ. හැබැයි ඉතිං අපි සුද්ද කරපු විදිහට අම්මට පැයක් විතර ආයම සුද්දකරන්න වෙනවා ෂුවර්. අපි ඉතිං මෙහෙම සුද්ද කර කර ඉන්නකොට ඈතිං ගෑනු කෙනෙක්ගෙ හරි මදුර කටහඩක් ඇහෙනවා.
“ඕකුන්ට හෙන ගහන්න ඕනි. මෙච්චරකල් දෙන්නයි හිටියේ. දැන් තව වසවර්තියෙක් එකතු වෙලා.,“
අපි ඉතිං අහල පහල වලි වලට හොට දාන නරක ළමයි නෙමෙයි නිසා පාඩුවේ ප්‍රදීප්ලගේ කුස්සියට සුද්දයක් දීගෙන හිටිය. හැබැයි ඉතිං ටික ටික අර සද්දෙ ලං වෙනවා ඇහෙනවා. කොච්චර ලඟට ආවද කියනවනම් දැන් ඒක ඇහෙන්නේ ප්‍රදීප්ලගෙ ගෙදර මිදුලෙන්.
“බහින්න කියපං ටී෦෦..............෦෦..........ක් ට එලියට ...........පරයෝ. තොපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ. එක එකාගෙ කලිසම් අස්සට මිරිස් දාන්නේ දාගනිවු තොපේ ටී..................෦෦..........................෦ක්....////....//........///..     තොපි දන්නෑ මේ සෝමාගේ හැටි... බැහැපවු යකෝ මං ඇතුලට එන්න කලිං. අද බාවනව තොපි තුන් දෙනාව.“ 
ප්‍රදීප්ලගේ මිදුලටම ඇවිත් තොපි තුන් දෙනා කියන්නෙ නම් සිරාවටම අපි තුන් දෙනාට කියල තේරුම් ගන්න ආය ඉතිං අටුවා ටීකා ඕනි උනේ නෑ අපිට. ඒත් ඉතිං අපි කුරා කූඹියෙකුටවත් වරදක් නැති අහිංසක මල් වගේ ළමයිනේ. මොකටත් කියල මං ජනේලෙකින් ඔලුව දාල හොරන් බැලුව මිදුල දිහා.... හප්පට සිරි ඒ අවස්ථාවෙදී මිදුලේ දුටු දර්ශනයෙන් මා  හද සලිත වී මිලින වී ඔද්දල් වී වෙන්න පුළුවන් හැම දෙම විය. ව්‍යාකරණ හරිද මංදා. ඒත් ඉතිං එහෙමම වූනා. අම්මපා.. 
මොකද හයේ හතරේ ගෑනු කෙනෙක් නිල් කොට කලිසමකුත් අතේ තියාගෙන මිදුලට වෙලා බෙරිහන් දෙනවා. නිල් කලිසමේ හැම තැනම මිරිස් කුඩු. ඒ කලිසමේ අයිති කාරයනම් ෂුවර් එකට මිරිස් ටැංකියකට වැටිල තියනවා. 
මං ඉතිං පැහැදිලිව කියන්න පුළුවන් තේරෙන සිංහලෙන් අරුන් දෙන්නට සිද්දිය කිවුවා. දැං එලියට ගියොත්නම් ෂුවර් එකටම ඒ කලිසම අපිට අන්දනවා. 
“මගේ කොල්ලට මිරිස් ගාන්න තොපි කවුද යකෝ..තොපි ළමයි නෙමෙයි අමනුස්සයෝ...ටී....................................෦෦...ක් ගලවනවා තොපේ කලිසම් ඔලුවෙන්.“
කරන්න කිසි අදහසක් පහල වෙන්නෙත් නෑ බෙරිහන් දෙනවනේ මේ ගෑනු කෙනා. මගෙ ඔළුවට හොද අදහසක් පහල වුනා. කරන්න කලිං සභා සම්මත කරගන්න එපැයි.
“ අපි ගිහිං දොරේ ගහමු බාලගිරි දෝසය අද නෙමේ හෙට කියල“
මෙන්න මුං දෙන්න මූන බෙරි කරගත්ත. මගේ අදහස 2ට 1ක් විදිහට පැරදුනා ඉතිං. 
මං ඉතිං පටන් ගද්දිම මුන්ට කිවුවා මල් කැකුළු තලන එක දිට්ඨ දම්ම වේදණීය කර්මයක් කියල. ඇහුවේ නෑනේ මුං එකෙක් වත්. මොකද මුං දෙන්න දන්නේ නෑ දිට්ඨ දම්ම වේදනීය කර්ම කියනේ මොනවටද කියල.
“තොපි බහිනවද මං දොර කඩන්නද යකෝ“
කිවුවට දොර කඩන්න බැරි බව අපි දන්න නිසා ඒ ගැන හිතන්නනේ නැතුව කරන්න දෙයක් කල්පනා කරා. හැබැයි ඉතිං අපි ඒ ගැන හිතුවේ නැති උනාට වෙන කෙනෙක් ඒ ගැන හිතල තිබුන. ඒ ප්‍රදීප්ලගේ ආත්තම්මා. එයාට වයස 80ක් විතර ඇති. කටේ බෙහෙතකට දතක් නෑ. හැබැයි ආත්තම්මට කටේ නැත්තේ දත් මිසක් පන නෙමෙයි කියල එදා මට තේරුනා
“ඈ යකින්නියේ උඹ එනවද මගේ ගෙදර දොර කඩන්න මං අහවල් එකක් කොරාටද සොමෝ..උඹ දන්නෑ මගේ හැටි“
 ආච්චිගේ කටේ දත් නැති නිසා සෝමා කියද්දි කටෙන් සූ...ස් ගාල හුලන් යනවා. අපිට මේ ජරමර අස්සේ එකටත් හිනා. දැන් ඉතිං දෙවන ලොක යුද්දෙට ඇමරිකාව යුද පෙරමුණට ආව නිසා බය වෙන්න දෙයක් නෑ.
දැං ඉතිං අර ගෑනු කෙනා ආත්තම්මට විස්තරේ කියනවා. අපි පොඩි එකාගෙ කලිසමට මිරිස් දැම්මලු. අරකලු මේකලු. එක, හතර අට කරල කියනවා දැං.
මේක අස්සේ සෝමා නැන්ද විතරක් නෙමෙයි ආත්තම්මත් පරල උනානේ. හපොයි ඇමරිකාව යුද්දේ පාවා දුන්න.
“මේකව හම ගහන්න එපැයි මේ කරන වැඩ වලට. සමන් දෙයිහාමුදුරුවනේ..... ඉස්පිරිතාලෙකට ගිහිං වත් පෙන්නන්න පුළුවන් තැනකට යැ මුං මිරිස් දාලා තියෙන්න්“
ආත්තම්මත් හුලං යන කටිං එහෙම කියපි. අත්තම්මට අවුල ඉස්පිරිතාලෙටවත් ගිහිං පෙන්නන්න බැරි එක. එයා හිතල තියන දුර. කොන්ඩේ සුදු වෙලා තියෙන්නේ වයසට නෙමේ.. මදැයි, අපිට විරුද්දව දැන් ආත්තම්මත් සටන් බිමට බරටම බැස්සා. 
“වරෙන් කෙල්ලේ ගෙට, බලපං ඔය වසවර්තියා ඉන්නවද කියල“
එන පොට හොඳ නෑ.විදේශාධාරවත් නැතුව අපි කුස්සියේ හිරවෙලා. ඒ වෙලාවේ කරන්න තියන හොඳම දේ උපක්‍රමශීලීව පසු බසින එක කියල අපේ ටිකිරි මොලවලට තේරුනා. මිරිස් දානකොට දෙයියෝ බුදුන් මතක් වූනේ නැති වුනාට දැන්නම් ගජරාමෙට මතක් වෙනවා. මේ වෙලාවටනම් ඉතිභිසෝ ගාතාවත් කටපාඩම් දෙන්න පුළුවන්.
දැං අර සෝමා නැන්දත් ගෙට එන්න හදන්නේ. කුස්සියට ආවොත්නම් අපි අනාතයි. ඊට කලිං ප්‍රදීප්ලගේ ගෙදර වෙන කවුරුහරි ආවොත් තවත් අනාතයි. ඒ නැන්ද සාලෙට ආව ගමන් කුස්සියෙ දොරෙන් එලියට පැනල මිදුලට දුවන්න අපි කතා වුනා. ඊට පස්සෙ  නැන්ද සාලෙන් කුස්සියට යනකොට පන එපා කියල සාලියලගෙ ගෙදරට දුවන්න අපි කතා කරගත්ත. මොකටත් කියල දකුණු කකුල මුලින්ම එලියට තියමු කියලත් අපි කතා කරගත්තා. මොකද සුභ කටයුත්තකට යද්දි දකුණු කකුල පෙරට තියල යන්න කියල තමයි අපිට ඉස්කෝලෙදි කියල දුන්නේ. අද ඉතිං මීට වඩා සුභ කටයුත්තක් තියනවද?
කොහෙම හරි අවුලක් නැතිව නිරුපද්‍රිතව යුධ මුක්ත කලාපෙකට එන්න අපි තුන් දෙනාට පුළුවන් වුනා.
පස්සේ දවසකනම් බස් හෝල්ට් එකකදි අල්ලගෙන ප්‍රදීප්ට සෝමා නැන්ද හොඳට දෙහි කපලා තිබුනා. මං මොකටත් කියල සති ගානක් ඒ පැත්තේ නොයා හිටියා. ඊට වඩා සන්තෝසම වැඩේ තමයි අර මිරිස් කලිසමේ පොඩි එකාට දවස් ගානක් චොකලට් අරන් දෙන්න වුනා ඌව ශේප් කරගන්න. මොකද පොර වුන සිද්ධිය ඉස්කෝලෙදි කිවුවොත් අපි අනාතයිනේ. ඒත් ඉතිං චොකලට් අරන් දුන්නට පොර පොරොන්දු රැක්කේ නෑ. හැබැයි ඉතිං ඒකෙන් වැඩේ වැරදුනේත් ඒ අසරණ මල්ලි කොල්ලට තමයි. මොකද කවුරුත් ඒ වෙනකල් දැනගෙන හිටියේ නෑනේ ඒ වගේ තැනකට මිරිස් ගෑවුනාම මොකද වෙන්නේ කියල. හැමෝටම අන්තිමට ඒ මල්ලිගෙන් ඒක දැනගන්න ඕනි උනා. ඒ කට්ටියට මාත් අයිතියි. ඒත් ඉතිං මං ඒක ඇහුවම පොර මට කුනු හරපෙන් බැන්නනේ. 
                                                                                                               මං රස්තියාදුකාරයා.
Share:

"ඔවු සර්... ඕකව හදන්න බෑ"

මේ සිද්ධිය වෙනකොට මම හොස්ටල් එකෙන් අයින් වෙලා බොඩිමක නතර වෙලා හිටියේ. හොස්ටල් එකේ වේවා බොඩිමේ වෙවා මොන දිව්‍ය ලෝකෙ හිටියත් උදේට නැගිටල ඉස්කෝලෙ යනව කියන්නේ මරල ඉවර වෙලා ආයෙත් මරනවා වගේ වැඩක්. ඒ කාලේ අපේ ප්‍රින්සිපල් සර්ට තියන ගෞරවේට නොකිය හිටියට අම්මප මරනවා කිව්වත් දැන්නම් මේක කියනවා. ඉස්කෝලෙ උදේ රැස්වීම කියන්නේ මහ එපා කරපු වැඩසටහනක් අප්පා. පෝලිම් වලට යන්නයි උසේ පිළිවෙලට ඉන්නයි කොන්ඩෙ ලස්සනට රොද තියල පැත්තකට පීරන්නයි වැඩ කෝටියයිනේ. හදිස්සියට හොයාගෙන දාගෙන එන සපත්තු දෙකේ දූවිලි පිහිදන්නෙත් පෝලිමට ඇවිත්නෙ.
 මේ හැමදේටම වැඩියෙන් මං උදේ රැස්වීමේ අකමැතිම දේ තමයි රැස්වීම ඉවර වෙලා ගුරුවරු ඉස්සරහින් පෝලිමට යන එක. මොකද ඔය පෝලිමේ යනකොට වැදගත් ළමයි එක්කෙනා දෙන්නා සර්ලා තියාගන්නවා. ඒ ඉතිං වැරැද්දකටම නෙමෙයි, වැඩි ආදරේටනේ. මොකද වැරදි කරන ළමයින්ට ගුරුවරු ගොඩක් ආදරෙයි කියල මං අහල තියනවා. ඉතිං දෙයියනේ කියල මටනම් කවදාවත් රැස්වීම ඉවර වෙලා පංතියට යන පෝලිමේ පංතියටනම් යන්න ලැබිල නෑ. මොකද ඒ තරම් ගුරුවරු මට ආදරෙයි. අර හංසයා දියෙන් කිරි වෙන් කරල ගන්නවා වගේ කවුරු හරි සර් කෙනෙක් මාව පෝලිමෙන් එලියට ගන්නවා.ඇත්තටම ඉතිං කොච්චර හොදට පිළිවෙලට ඇන්ඳත් මොකක් හරි අඩුවක් මගේ තියනවමනේ. 
පෝලිමේ යද්දි මාව කවුරුත් එලියට ගත්තේ නැත්නම් අනේ මගේ හිතට හරි නෑ වගේ. එහෙම දවසක් ආවොත් මම ස්වේච්චාවෙන්ම පොලිමෙන් අයින් වෙලා යනවා.ඇයි අප්පා අපේ වැරදි තියන ඒවා හදාගන්න එපැයි. සර්ලට ඒවා පේන්නෙ නැත්තම් පෙන්නලා දෙන එක අපේ යුතු කමනේ. ඒ තරමට ඒ දවස්වල මගේ වකුගඩුව හොඳයි. අහ් ඒකත් වැරදි වචනයක් කියල පෝලිමෙන් එලියට ගත්ත දවසක තමයි සර් කෙනෙක් කියල දුන්නේ. ඒකට කියන්නේ හෘද සාක්ෂිය කියලලු. දැක්කනේ ඒ පෝලිමෙන් එලියට ගියේ නැත්නම් කවදාවත් මට ඒ වැරැද්ද හදා ගන්න වෙන්නේ නෑනේ.
අද මං මේ ලියන්න පටන් ගත්තේ පෝලිමක් ගැන කියන්න නෙමෙයි. හොද රස්තියාදුවක් ගැන කියන්න. පෝලිමේ කතාවක් අැදල ගත්තේ මේකයි, හැමදාම මාව මොකක් හරි වැරැද්දකට පෝලිමෙන් එලියට ගන්න සර් කෙනෙක් හිටිය. අනේ ඒ රත්තරන් සර්ට උදේට මාව දැක්කේ නැත්තම් කෑවේ නෑ වගේ. ඒ තරම් සර්ට මාව සිරියාවන්තයි. සර්ම තමයි කිවුවේ එහෙම. ඉතිං ඒ සර්ට මාව හොඳට නෝට්. ඒ නිසාම මටත් සර් නෝට්.
දවසක්  මං ‍‍පෝලිි‍මේ යද්දි සර් මං දිහා බලල හොඳට හිනා වුනා. මටත් ඉතිං හරී සංතෝසයි. මාත් ඉතිං ලස්සන හිනාවක් දාලා පෝලිමෙන් එලියට එන්න හැදුවා. අනේ මගේ හිත හෝස් ගාලා පත්තු වුනා. සර් මාව පෝලිමෙන් එලියට ගත්තේ නෑනේ!!!!. ( ඒ වුනාට මං ස්වේච්චාවෙන් ඉදිරිපත් වුනා හොඳ‍ේ). සර් මට එහෙම වෙනස්කමක් කරපු එක මට තදටම හිතට වැදුනා. ඒ නිසා මට හිතුන සර්ටත් මොකක් හරි වෙනස් කමක් කරන්න ඕනිමයි කියල.
ඉතිං මං දහ අතේ කල්පනා කරා, විසි අතේ කල්පනා කරා. කල්පනා කරන්න ඕනිම නිසා ඉංග්‍රීසි පීරියඩ් එකත් කට් කරගෙනම කල්පනා කරා. අදහසක් ආවෙන නෑ. ඉතිං මං විවේක වෙලාවේ මගේ ගැටළුව සමස්ත පුරුෂ ප්‍රජාවටම ඉදිරිපත් කළා. ලොකුවට කිවුවට සමස්තයටම නෙමෙයි ඉතිං, මාත් එක්ක එකට ඉන්න මගේ අතිජාත මිත්‍රයෝ ටිකට. කොහොමත් සමස්ත ප්‍රජාවටම කිවුවොත් ඉතිං බුද්ධි අංශ ඔස්සේ රහස් තොරතුරු ඉහලට යනවනේ.
කොහෙම හරි ඉතිං විවිධාකාර මත ගැටුම් ඔස්සේ ගැඹුරු, ප්‍රචන්ඩ සාකච්චාවකට පස්සේ බහුතර කැමැත්තට ඉඩ දීල මම තීරණය කරා සර්ගේ පීරියඩ් එකේ ගුරු පුටුවෙ හුනු ගානවා කියල. ඒක හොඳ සැලැස්මක් කියල තීරණය කරේ අපේ ගෞරවනීය ගුරුතුමා අඳින කලු කලිසම නිසාම නෙමෙයි. අපේ පංතියේ බ්ලැක් බෝඩ් එකක් නොතිබුන නිසා. මොකද අපේ පංතියේ වයිට් බෝඩ් එකක් තියන නිසා වැඩේ මාට්ටු උනත් අපේ පංතියට අවුලක් වෙන්නේ නැති නිසා. අපේ පංතියට දාල තිබුන නම “රෝස්'' ඒ වගේම තමයි හිටපු ළමයිනුත් මල් වගේ.
දැං සර්ගේ පීරියඩ් එක ලංවීගෙන එනවා. අඩුවකට තිබුනේ බෝඩ් එක මකන හුනු කොට්ටෙකුයි අපේ ගුරුතුමයි විතරයි. මොකද ගුරු පුටවයි මායි සැදී පැහැදී ඉන්නවනේ මිෂන් එකට. ඒනිසා මං බුක් ගාල ගිහිං පහල පංතියකින් හුනු හොඳට ගාපු හුනු කොට්ටයක් ගෙනාවා. දැං ඉතිං අපේ පංතියේ ඉන්න බහුතරයක් අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොරෙන් මේක ගාන්නත් එපැයි. ඉතිං මං ගැහෙන හදින් යුත්තව සෙමෙන් සෙමෙන් පාද තබා ගුරු පුටුව ගාවට ගියා ඔන්න. හදවත ඩෝං ඩෝං ගාන්නෙ බයකට එහෙම නෙමෙටයි, මං ඉපදුන දවසෙ ඉදල ඉතිං හදවත කරන්න දන්නේ ඔච්චරයිනේ.
දැං ඔන්න මං ගුරු ගෞරවය හිතට අරගෙන දෙයියො බුදුන් සිහි කරල සීරුවට වැඩේ පටන් ගත්ත. හරි පිංඅතේ වැඩක් නිසා පිළිවෙලට තියෙන්න එපැයි. ඒත් ඉතිං සාර්ථක විදිහට හුනු ගාන වැඩේ කරගෙන යද්දි අවසාන මොහොතෙ දෙයියො බුදුන් අහක බැලුවා. දෙයියො බුදුන් අහක බැලුවට නම් කමක් නෑ, පංතියෙ ඉන්න කට ටිකා....ක් විතර වැඩි, මට වඩා ටිකා....ක් විතර ගුරු ගෞරවේ තියන කෙල්ලෙක් මං දිහා බැලුවනේ.
“ ඒයි මොඩයෝ......''
මං ඔළුව උස්සල එඩිතර සිංහ පෝතකයෙක් වගේ කෙල්ල දිහා බැලුව. ඊට පස්සේ මං පිටිපස්ස හැරිල බැලුව එයා කාටද කතා කරේ කියල. මට ටිකක් පිටිපස්සට වෙන්න මගේ යාළුවෝ ටිකත් හිටපු නිසා  මං හිතුව ඒ කාට හරි ආදරේට කතා කරන්න ඇති කියල. ගෑනු ළමයි ඉතිං එහෙමනේ. ඉතිං මං ආයෙම බිම බලාගෙන වැඩේ පටන් ගත්තා.
“මැට්ටෝ තමුසෙට මොලේ උන හැදිලද?".
අනේ මට ඊට සතියකට විතර කළිං පොඩි උනක් හැදිල බෙහෙත් ගත්ත නිසා මට හිතුන මෙයා මට තමයි කතා කරන්නේ කියල. මං ඉතිං ඔළුව උස්සල බැලුව.
“මොනවද ගොං වහන්සේ කරන්නේ"
අනේ අප්පේ මං ඒ වෙනකල් දැනන් හිටියේ නෑ මට මෙච්චර නම් තියනවා කිලය. උප්පැන්න සහතිකෙත් තිබුනේ නෑනේ ඉතිං. මොනා උනත් වහන්සේ  කියල ගෞරව දීල කතා කරපු නිසා මං ඉවසුවා. ඉතිං මං කිවුවා,
“පාං කෑල්ලක බටර් ගානවා" 
කියල. මේ මැට්ටි ඇත්තටම ඉස්සිලා බැලුවනේ පාං කෑල්ලක් තියනවද කියල. පාං කෑල්ලක් නැති නිසා අවුලටත් එක්ක,
“ඉන්නවා මං සර්ට කියනවා" 
කියල මෙයා දොරෙන් එලියට දුවන්න හැදුවා. මෙයා මට ඉන්නවා කිවුවට මට බලන් ඉන්න බෑනෙ. සර්ට වැඩේ මාට්ටු වුනොත් මට ආයෙත් මතක සටහන් තියාගන්න වෙනවානේ. ඉතිං මං අන්තිම තුරුම්පුව ගැහුවා. තුරුම්පුව කිවුවට ඇත්තටම මං ගැහුවේ අතේ තිබුන හුනු කොට්ටෙන්.
දැන් ඉතිං කොට්ටේ පියාඹල අර ගෑනු ළමයගේ මූණ හොයාගෙන යනවා. අනේ ඉතිං පුරුද්දට වගේ දෙවියො ආයෙත් අහක බැලුවනේ. හුනු කොට්ටේ ගෑණු ළමයගේ මූණෙ වැදුනෙ නෑ, ඒත් ඊට පිටිපස්සේන් තිබුන මොකක්දෝ එකක වැදුනා. අනේ ඉස්කෝලෙට ස්පෝට් වලට අළුතින් අාව සුකුමාල මැඩම්.(සුකුමාල කියන්නේ නම එහෙම නෙමෙයි).
මට හිතුන අද එලියට බැහැපු වෙලාව හොඳ නෑ කියලා. ෂුවර් එකටම රාහු කාලෙන් තමයි බහින්න ඇත්තේ්.
 මැඩම් මේකප් එක දාන්න පටන්ගෙන ඇත්තේ පාන්දර 3ට විතර. ඒ තරම් ඒ මූණ...........( ඒ මට කියන්න වචන නෑනෙ) ඒත් මං බැලුව එච්චර උදෙන් නැගිටල මේකප් කරානම් තොල් වල එක පැත්තක් විතරක් රතු පාට වෙලා අනිත් පැත්ත සුදු පාට උනේ කොහොමද කියල. මගෙ ටිකිරි මොලේට ලාවට වගේ වැටහුනා අර අවාසනාවන්ත හුනු කොට්ටේ බෝඩ් එක මකනවා වෙනුවට මැඩම්ගෙ ලිප්ස්ටික් ටික මකල කියල. ඒකත් හොඳටම මැකුවනම් අවුලක් නෑ. මේක පැත්තක් විතරයිනෙ මකල තියෙන්නේ. පවු අපේ මැඩම්.
මං මැඩම්ගෙ මූණ දිහා හොඳට බැලුව ඊලඟ තප්පරේ මොනා වෙයිද කියල. ඒ මූණේ තිබුනේ තරහක් ද දුකක් ද මොකක් ද කියල මට තේරුම් ගන්න බැරිවුනා. හැබැයි ඉතිං ඇස් දෙක පල්ල නෙමෙයි අම්මපල්ල කියල උනත් දිවුරන්න පුළුවන් ඒ මූණේ හුනු නම් ගෑවිලා තිබුනා.
ඉතිං මැඩම්ගෙනේ සම්පූර්ණ වැරැද්ද. සර් එන්න ඕනි පීරියඩ් එකට මෙයා මොකට ආවද. හොඳ වැඩේ අනුන්ගේ පීරියඩ් වලට මූණ දාන්න ආවට. අනුන්ගෙ පීරියඩ් වලට ආවට මොකද ආවට වැඩි වේගෙන් ආපහු හැරුනා. මට තේරුනා මැඩම්ගේ ගමනාන්තෙ ඔෆිස් එක තමයි කියල. කාල වරෙන්කො. මං මගේ කුඩා මොලේ මෙහයවලා හිතල බැලුවා කරන්න පුළුවන් හොඳම වැඩේ මොකක්ද කියල. ගණ දෙවියො මගේ දුක දැකල කිවුවා මැඩම් ඔෆිස් එකට යන්න කලිං නතර කරපං පුතේ කියල.හැරෙන තැපෑලෙන්  මාත් මැඩම් පස්සේ දිවුවා. මට අමතක උනානෙ එයා ස්පෝට් වලට ආව මැඩම් කියල. එයා මට කලිං ඔෆිස් එකට දුවල. වේගෙ මැන්නනම් ෂුවර් එකට උසේන් බොල්ට් පරාදයි. මැඩම් ප්‍රින්සිපල් සර් ලඟට යන්න කලින් හරි නතර කරගන්න පුළුවන්ද බලන්න මං ඔෆිස් එක ඇතුලටත් ගියා. අර, හුනු කොට්ටෙන් ගහල ගුටි කන්න හදන මිනිහා ඔෆිස් එකට හරි රිංඟනවා කියල කතාවකුත් තියනවානේ. පපුව ඉස්සරහට දාගෙන ඇතුලට ගියාට මොකද මගේ පපුව හෝස් ගාල දාල ගියා.මැඩම් සර් එක්ක ලිප්ස්ටික් පෙන්නා පෙන්නා මොනවදෝ කියනවා. මට හිතුනා එයා මට කියල අළුත් ලිප්ස්ටික් එකක් ගෙන්න ගන්න හදනවා ද කොහෙද කිලය. මාත් ඉතිං පුළුවන් තරම් අහින්සක මූණක් මවාගෙන අපහු එන්න හදනකොට
“ආ ඔයා එනකල් තමයි හිටියේ, යංකෝ මගේ රූම් එකට අපි තේ එකක් බීලම කතා කරමු"
අනේ අපේ ප්‍රින්සිපල් සර් මොනා නැතත් හොඳට ආගන්තුක සත්කාර දන්නවද කොහෙද. මේ විනාඩි ටිකට ඇඟ‍ේ ලේ වතුර වෙලානෙ හිටියේ. තේ එකක් දෙනවනම් ඔන්න ඔහේ මොකද කියල සර්ගෙ රූම් එකය ගිහිං හරි බරි ගැහිල වාඩි වෙලා සර් තේ හදන් එනකල් වට පිට බල බල හිටිය. සර් තවම මැඩම් එක්ක බර කතාවක. අප්පට සිරි මැඩම් අඬනවද කොහෙද. එයාගේ ඇස් වලට හුනු යන්න ඇති. පවු අප්පා, මහ හිතක් පපුවක් නැති හුනු කොට්ටයක්.
අන්තිමට ප්‍රින්සිපල් සර් ඇතුලට අවා. මේ වගේ සෑහෙන්න අවස්තාවන්ට මූණ දීල තිබුන නිසා මං තීරණය කරා කට පරිස්සම් කරගෙන බිම බලාගෙන ඉන්න. අත් දැකීමෙන් දන්නවා අපේ ප්‍රින්සිපල් සර්ට ඒක වැඩ කරනවා කියල.
“ඉතිං....."
සර් බර කතාවකටද කොහෙද ලෑස්ති වෙන්නේ. තේ එකකුත් ගේනවා කිවුවානේ. තේ ගේනකල්ද කොහෙද සර් ෆයිල් ටිකක් අතට ගත්ත. තෝරල එක ෆයිල් එකක් අතට ගත්ත. අද වගේ තමයි ඒ කාලෙ ලොක්කොත් ෆයිල් තියාගෙන හිටියේ. සර් තොරල ගත්තේ එහෙම තියාගෙන හිටපු මගේ ෆයිල් එක. මං දන්නවා ඒකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියල. මං ලියපු ලියුම්. නෑ නෑ කෙල්ලොන්ට ලියපු ඒවා නෙමෙයි. ආදරණීය විදුහල්පත් තුමා ප්‍රමුක විනය මංඩලයට ලියපු ඒවා.
සර් ඒ ලියුම් ටිකක් අරගෙන ඒවාගේ අන්තිම ටික විතරක් මුළු ඔෆිස් එකටම ඇහෙන්න කියෙව්වා. ඔකට තමයි අර පරණ පොතක තිබුනේ, ලියල කළට ලියුම් මීරීයි මී සේ, අහන කලට දුක් දැඩිවෙයි ගිනි සේ, කියලා.
“මින් පසු මෙවැනි වරදක් නොකරන බවට දිවුරා පොරොන්දු වෙමි"
“අදින් පසු මා විනය ගරුක ශිෂ්‍යෙයක් ලෙසට කටයුතු කරන බවට දිවුරා පොරොන්දු වෙමි"
“මෙවැනි වරදක් මින්පසු සිදු කරනු ලැබුවොත් ඕනෑම දඩුවමකට එකඟ වෙමි"
"මින්මතු කිසිදිනක නැවත මම විනට කමිටුවට පැමිණෙන්නේ නැති බවට දිවුරා පොරොන්දු වෙමි"

“ ඉතිං සර් මං බොරු කියල නෑනෙ, එකවගේ වැරදි මම කවදාවත් කරල නෑනේ. ඕවගේ තියෙන්නේ මෙවැනි වරදක් කියලනේ"
කියල කියන්න හිතුවට මම කිවුවේ නෑ හොඳ‍ේ.
සර් ඉතිං ඔය හැම එකක්ම කියවන්න ඔනි නෑනේ, ඒ හැම එකේම අන්තිම එක වගේනේ. මට ඒ හැම එකක්ම කටපාඩමින් කියන්න පුළුවන්. විභාග ප්‍රශ්නපත්තරේකට එහෙම අහල තිබුනොත්
““ඔබ විනට කමිටුවට ලියූ ලිපි වල සියළු අවසානයන් ලියා දක්වන්න““
වගේ එකක්. මං ඉහලින්ම පාස්.ඒ අස්සේ මට පේනවා අර මැඩම් වටේ ඉන්න හැමෝටම රස කර කර කතාව කියනවා. මං හිතන්නේ හුනු වල රස තමයි ඹච්චර අගේ කරන්නේ. මැඩම් දිහා බලාගෙන හිටපු මට  හිතුනා,
මුහුණේ ලස්සන හදවතේ තිබුනානම්
කියලා.
“පෙර වැරදි ගොඩා..යි නේද?"
සර් මගේ සිතුවිලි දැහැන කඩල බිදල දැම්මා. මොනා කරන්නද, මං ගුරු ගෞරවේ නිසා ඉවසන් ඉන්නවා. බයට එහෙම නෙමෙයි.
“ඒක අත් වැරැද්දක් සර්"
 මං ගොත ගගහ බිම බලාගෙන හා පැටිය වගේ කිවුවා.
“ඔවු ඉතිං අතෙන් නැතුව කකුලෙන් බෑනෙ මැඩම් කෙනෙක්ට හුනු කොට්ටෙන් ගහන්න"
බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත තමයි. මගේ හිතේ අර තේ කෝප්පෙ ගැන තියන අදහසත් තවම තියනවා. ඒක ආවෙත් නෑනේ කියල හිතනකොට තමයි සර් මගෙන් අමාරුම ප්‍රශ්නෙ ඇහුවේ.
ගෙදර නම්බර් එක මතකද" 
වෙලාවට සර් මතකද ඇහුවෙ. නම්බර් එක දෙන්න කිවුවනම් මම ඒ වෙලාවෙම දෙනවා. මතකද කියල අහපු නිසා ඉතිං මම කට ඇරල “නෑ“ නිවුවා.
“කෙහෙ හරි ලියල තියනවාද?“
මට බුක් ගාලා ගණදෙවි නුවණ පහල වෙලා
“ඔවු සර් කිවුවා"
සර් ඔළුව වැනුව විතරයි නරි කූඩුවකින් පිටට එන අහිනසක කුකුල් පැටියෙක් වගේ මම පංතියට දිවුවා. පොතක් පෙරලලා හොයාගත්ත, ගෙදර ටෙලිෆෝ්න නම්බර් එකනම් නෙමෙයි. මගේ බෝඩිමේ උඩ තට්ටුවේ නතර වෙලා ඉන්න අයියා කෙනෙක්ගේ නම්බර් එකක්. මං වගේම ඒ අයියටත් ගණදෙවි නුවණ පහල උනොත් හොඳයි කියල මං සර්ට ඒ අයියගෙ නම්බර් එක දුන්නා. හැබැයි ඉතින් වැඩේ මාට්ටු උනොත් හුනු කොට්ටෙන් ගැහුව වගේ නෙමෙයි, සාපරාධී ලෙස ගුරුවරයෙක් නොමඟ යැවීම දඩුවම් ලැබිය හැකි වරදක්නේ.
“ හලෝ මං මේ චන්දිමාල්ගේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කතා කරන්නේ මේ චන්දිමාල්ගෙ තාත්තද"
දෙයියො බැලුව වගේ සර් එහා පැත්තේ කතා කරන්නේ කවුරු උනත් කටට උත්තරේ දීලම කතා කරා. අනේ වාසනාවන්
“ නෑ නෑ බය වෙන්න එපා, මේ පොඩි විනය ගැටළුවක්........!!!1.............. අහ් නෑ නෑ වෙන ප්‍රශ්න නෑ........../////// .../  ......හුනු කොට්ටෙකින් මැඩම් කෙනෙක්ට ගහල......අනේ නෑ///වෙන ප්‍රශ්න නෑ..................................////////////// !!!!!!!!!!!!!!!!!!!! @@@@######### අත් වැරදීමක් කියල තමයි කියන්නේ!!!!!!!!!!!,,,,,,,,,,,,,,,අලුතින් අාව ගුරුවරයෙකුත්නේ..........හා හා!!!..................මම මෙ කතා කරේ මම සතියක් මෙයාගේ පංති තහනම් කරනවා කියන්න,,,, හා හා හරි හරි....."
සර් හිතන්න ඇති මගේ මූණ බෙරිවෙලා මං අඬන්න පටන්ගනී කියලා. ඉබ්බා දියට දාලා ඇන්නෑවේ කිව්වලු. සර් ෆෝන් එකෙන් තව මොනවදේ කියවනවා, අර පොරත් එහා පැත්තේ ඉඳගෙන පොහොර දානවද කොහෙද. පොරටත් මොකෝ දවසකට හරි තාත්තා කෙනෙක් උනානේ.
“තමුසෙගේ පෙර වැරදි ගොඩක් තිබුන නිසා තමයි පංති තහනම් කරේ. සතියක් ගෙදර ඉඳල හැදිල එනවකෝ"
සර් හැදිල එන්න කියන්න ඇත්තේ මං කෙට්ටු නිසා වෙන්න ඇති.
“තැන්ක් යු සර්"
මං එලියට එද්දි අතිගරු සර් බලන්න ඇති මං තැන්ස් කරේ ඇයි කියල. ඔෆිස් එකෙන් එලියට එද්දි මං හුනු ගාන්න බලාගෙන හිටපු සර් කොහෙද කියල බලාගෙන ආවා. අනේ අවාසනාවට සර් ෂෝට් ලිවු දාලා ගෙදර ගිහින්.
මං පංතියට ගිහින් හැමෝටම අැහෙන්න මේ දුක් මුසු ආරන්චිය සිනා මුසු මුහුනෙන් කිවුවා. අප්පේ මට වඩා ප්‍රීති ප්‍රමෝදෙන් උදම් වෙලා තියෙන්නේ මගේ යාළුවෝ සෙට් එක. උන් වට වෙලා මොනවදෝ කුටු කුටු ගානවා. මාත් ගිහින් ඔළුව දැම්මා, මුං ඉස්සරහට එන නිවාඩු සතිය ප්ලෑන් කරනවා. දෝව පංසල, බණ්ඩාරවෙල ටවුන් එක. කළු පාලම යට නාන්න. මුං විනාඩියෙන් ඔය විදිහට සතියම ප්ලෑන් කරල ඉවරයි.
“යකෝ පංති තහනම් කරේ මට, උඹලට නෙමෙයි"
එතකොට මුං කියනවා දැන්ම ගිහින් සර්ට කියන්නලු මුනුත් මේකට සම්බන්ධයි කියලා. ආයම ඔෆිස් එකට රිංගන්න ගිහින් දඩුවම කැන්සල් කරෝත් කියල මං ඒ අදහස අත් ඇර ගත්තා.
එදා ඉස්කෝලේ ඇරිල බෝඩිමට ගියේ හැමදේම සාකච්චා කරගෙන. පහුවදා ටවුන් එකේ පොදු වැසිකිලියට උදේම එන්න තමයි කතා කරගත්තේ.මොකද පාට ඇඳුම් අැඳගෙන ගෙවල් වලින් එන්න බෑ. ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන රස්තියාදු ගහන්න බෑනේ.
මං ඉතිං බෝඩිමට ගිහින් මගේ හොර තාත්තගෙන් විස්තර ඇහුව පොර කිවුවලු,
“ඔවු සර් ඕකව හදන්න බෑ, ඕනි දඩුවමක් දෙන්න කියල"
අනේ මුගේ කට...
ඉතිං ඊලඟ සතියම අර සිිරිමත් කොලුව වගේ උදයම නැගිටී මුහුනට දිය දී කුල දෙවි නමදී ගෙදරින් පිටවේ. එහෙම ඉතිං සතියකින් අපි මුළු දිස්ත්‍රික්කේම රස්තියාදු ගැහුවා.
අපි පංසල් ගානේ ගිහිං ප්‍රින්සිපල් සර්ට දුන්න පිං වල හැටියට සර් මේ අාත්මෙම නිවන් දකින්න ඕනි. හැබැයි මට  පස්සේ දුක හිතුක සර්ට පිං දුන්න විදිහට අර සුකුමාල මැඩම්ට පිං නොදුන්න එකට. ඇයි අප්පා අපේ වැකේෂන් එන ඉවර වෙලා ආයෙම ඉස්කෝලෙට ආවම මිස් මට සොරි කිවුවනේ...වෙලාවට මට හාර්ට් ඇටෑක් තිබුනේ නැත්තේ.

                                                                                                                             මං රස්තියාදුකාරයා

ප.ලි - අපි ඉස්කෝලෙට අාව දවසේ ආයෙත් ප්‍රින්සිපල් සර්ගෙන් බැනුම් අැහුව සහෝදර ප්‍රේම‍ෙන් දඩුවම් වින්ද කියල.
Share:

සාදු සාදු සා............

ශිෂ්‍යත්ව විභාගේ පාස් වුන වැරැද්දට අපේ දෙන්නා දෙමහල්ලෝ මාව හිටපු ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට දැම්ම ඔන්න. ඒ ඉස්කෝලේ හොස්ටල් එකේ තමයි මම නතරවෙලා හිටියේ. ඒ ඉස්කෝලේ විශේෂත්වය වුනේ ගොඩක් කාලෙකට පස්සේ අපෙන් තමයි ඉස්කෝලෙ පටන් ගෙන තියෙන්න. ඒ කියන්නේ ඉතිං අපිට වඩා ලොක්කෝ හිටියේ නෑ ඉස්කෝලේ. අවුරුද්දක් වැඩිමල් අය හිටියට එකටම ඉස්කෝලෙට ගත්ත නිසා එයාලත් ලොක්කෝ නෙමෙයි. ඔහොම ඉතින් ඉස්කෝලෙ රස්තියාදු වෙවී ඉන්නකොට 8 වසරේ හරි 9 වසරෙදි හරි තමයි මේ සිද්ධිය වුනේ.
එදා ඉරිදා දවසක්, හොඳටම වැස්ස. මං ඉතිං එහෙම දවසට කරන්න පුළුවන් වැඩදායීම වැඩේ තෝරගෙන කරන්න පටන් ගත්ත. ඒ කියන්නේ මං උදේ ඉඳලම හොස්ටල් එකට වෙලා ඔලුවේ ඉඳන් පෙරවගෙන නිදාගත්ත. ඔහොම මං හීන දැක දැක ඉන්නකොට 10ට විතර මී හරක් රංචුවක් පැන්න වගේ මල්ලිලා සෙට් එකක් ඇඟට කඩන් පැන්න. මුං රොත්තම එක දිඟට කියවනවා කියවනවා මොකක්ද වරකා ගෙඩියක් ගැන, නිදිමරගාතේ මට මොකුත් තේරෙන්නේ නෑ. මං ඉතිං ආයම ඔළුවෙන් පෙරවගෙන නිදාගත්ත. හරි යන්නෑ. මුං මට නිදාගන්න දෙන්නෙම නෑ. මං ඉතිං නැඟිටල ඇ‍ඳ්‍ෙ ඉඳගෙන සාවදානව පොඩ්ඩක් කතාව ඇහුව. දැන් ඉතිං එක එක්කෙනා කියනවා,
“අද උදේ කඩලනෙ තිබුනෙ අයියෙ කන්න''
තව එකෙක් කියනවා,
“ඒව කන්නත් බෑ''
“බඩගිනී අනේ හොඳටම''
මං ඉතිං තේරෙන දෙමලෙන් කිව්වා බඩගිනි නම් මාව මරාගෙන කන්න හදන්නේ නැතුව වෙන මොනාහරි හොයාගෙන කන්න කියල. මුං නෙමෙයි අහන්නෙෙ. ආයම කියවනවා,
“කඩල තැම්බිලා තිබුනෙත් නෑනේ ''
මං නිකං කඩල හදපු පොර වගේ මුං මාව වටකරගෙන කියවනවා,
“පොල් තිබුනෙත් කුඩුනේ, ඊයෙ ගාපුවද කොහෙද''
මුං වැඩේ අතාරින්නෙම නැති නිසා මං කිව්වා බටර් ගාන්නේ නැතුව පාං කෑල්ල අතටම දෙනවකෝ කියල. එතකොටම සේරම ටික පැනල කියනවා පාං නෙමෙයිලු “වරකා''ලු.
ඉස්කෝලේ කොහෙද තියන ගහක වරක ගෙඩියක් තියනවලු, මුං සෙට් එකට එ්ක කඩාගන්න ඕනි වෙලා. ඉතිං මම සත්‍ය ගරුක පුද්ගලයෙක් විදිහට කිවුවා මට ගස් නඟින්න බෑ කියල. එතකොට කියනවා ගස් නඟින්න ඕනි නැතිලු ලඟට වෙලා හිටියම ඇතිලු. මට එතකොට තමයි තේරුනේ මුංට මාව ඕනි  මට වරකා කවන්න තියන ආදරේට නෙමෙයි සර් කෙනෙක්වත් මාට්ටු වුනොත් ගුටි කන්න අයියෙක් ඉන්න නිසා කියල.
කමක්නෑ යමුකො කියල බේරෙන්නම බැරිතැන මම කුඩේකුත් අරගෙන කට්ටියත් එක්ක ගියා. උන් ටික තෙමි තෙමී යනව කුඩයක්වත් නෑ ඉතිං. මගේ කුඩේ අස්සටත් 8ක් විතර දාන්න බෑනේ. අනික මං අසාධාරණ වැඩ වලටත් අකමැති නිසා සර්ව සාධාරණ විධිහට මං විතරක් කුඩෙන් ගියා. ගිහින් ගහ තියන විධිහ දැක්කම මගේ ඇස් දෙක උඩ ගියා. හද්දෙයියනෙන් ගහ තියෙන්නේ ලොකු බෑවුමක, වැටුනොත් එහෙම අඩි ගානක් පහලට. මල ගෙදරට එන අයට තමයි වරකා කන්න දෙන්න වෙන්නේ.
මං කට්ටියට කිවුවා වරකා ඕනි නෑ යමු කියල. මුං ටික ඇහුනේ නෑ වගේ වැඩේට සෙට් වෙනවා. මාත් ඉතිං කුඩේ අල්ලගෙන පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. හොඳට ඇඟ තියන හයේ හතරෙ මල්ලි කෙනෙක් කමිසෙ එහෙම ගලවල දෙයියනේ කියල ගහට වැඳල එහෙම නඟින්න පටන්ගත්ත. මං හිතන්නනේ මතක ඇති කාලෙක අම්මටවත් ඒ විදිහට වැඳල නැතුව ඇති.
වැස්ස නිසා ගහත් හොඳටම ලිස්සනවා. කොහෙම හරි මල්ලි වරකා ගෙඩිය ලඟටම ගිහිං නැට්ටෙන් ගෙඩිය කඩා ගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා. ගෙඩිය බිමට වැටුනොත් එහෙම කොස් ඇටයක් වත් ඉතුරු වෙන්නෙ නෑ.ලොකු බෑවුමක්නේ. ඒ අස්සෙ පහල ඉන්න මල්ලි කෙනෙක් දොහොත් මුදුන් දීල වැඳගෙන “ඉතිභිසෝ භගවා“ කියනවා. ගහට නැඟපු මල්ලිත් ඉතිං දැං බුද්ධ ආශිර්වාදෙත් එක්ක වරකා ගෙඩියත් අතේම තියාගෙන හිමීට ගහෙන් බිමට බහිනවා. මල්ලි පරිස්සමට බිමට අඩිය තියනවත් එක්කම මං දැක්ක හොස්ටල් භාර සර් එනවා. කකුල් දෙකට වැඳල දුවන්න හදනවත් එක්කම
“එකෙක්වත් හෙලවෙන්න එපා''
ගංජා හේනකට පොලිසියෙන් පැන්න වගේ. මාත් ඉතිං කුඩෙත් අල්ලගෙන හිටි පිළිමේ වගේ හිටිය. ගුරුවරයෙක් කියපු දෙයක් අහන්න එපැයි. ඉතිං කොහෙමද හෙලවෙන්නේ. මං දැක්කා ගහට ගියපු මල්ලිත් වරක ගෙඩිය තුරුල් කරගෙන නිසොල්මනේ ඉන්නවා. අනිත් ටිකත් දැං තක්බීරි වෙලා බලාගෙන ඉන්නවා.
සර් මුලින්ම වරකා ගෙඩිය දිහා බලලා මල්ලිලා දිහාත් හොඳට බලල, මගේ දෙපතුලේ සිට ඔලු ගෙඩිය දක්වාම සෑහෙන උවමනාවෙන් බැලුව. වැඩි පුර වෙලාවක් ඔලුව දිහා බලන් හිටිය වගේ මට හිතුන. මුට මොලයක් තියනවද දන්නෑ කියල බැලුවද දන්නෑනේ. මං මොකුත් දන්නේ නැති අහින්සකය වගේ කුඩෙන් වැටෙන වතුර බිංදු දිහා බලාගෙන හිටිය. මෙච්චර වෙලානම් වැස්ස විතරයි තිබුනේ, මට තේරුනා තව ටිකකින් හෙන පුපුරන්නත් පටන් ගන්නවා කියලා. හිතල හිත ගන්න උනේ නෑ හෙන ගහන්න පටන් ගත්ත.
“තමුසෙලා මේ වැස්ස වෙලාවේ බෙලි කඩාගන්න හදනවාද?. කන්න නෑ වගේ හරියට... ............ ........ !!!! ......????...../...... ........//.....මොලේ තියෙන්නෙ මැටිද අයිසේ...........!!!!!!!!..........................................!!!!!!.....................................වරකා නෙමෙයි තොපිට කවන්න ඕනි....................///// අනේ මගේ කට................''.
දැන් නවතී, දැන් නවතී කියල මම බලන් හිටිය. අනේ ඉතිං මල්ලිලා ටිකගේ දොල දුකනම් දැන් ගිහින් ඇති කියල හිතිල මට හිනායන්නත් එනවා. බැනල බැනල අන්තිමට සර් බනින්න පුළුවන් වචන ඔක්කොම ඉවර කරගත්ත. ආය වචන නැති නිසා සර් නවත්ත ගත්ත.  ඊට පස්සේ එක සැරේම
“ඔහොම පොඩ්ඩක් ඉන්නවා එකෙක්වත් කොහෙවත් යන්නෙ නෑ''
කියල සර් ගියා හොස්ටල් පැත්තට. සර් ගිය ගමන්ම මම ආයෙත් අරුන් ටිකට දෙහි කැපුව අහිංසක විදිහට නිදාගෙන හිටපු මාව එක්කන් ආවට වරක ගෙඩියක් පස්සේ.
සර් එන්න ටික ටික පරක්කු වෙනකොට කට්කටිය තෙමි තෙමීම එක එක අදහස් දක්වනවා. එකෙක් කියනවා සර් ලුනු ටිකක් ගේන්න යන්න ඇති කියල. තවත් එකෙක් කියනවා නෑ පිහියක් ගේන්න යන්න ඇති කියල. ඒකමතික තීරණයකට එන්න බැරුව එතන ආයෙක්  ගෝරි. එහොම ඉන්නකොට සර් ආව. තෙමිචිච කුකුල් කූඩුවකට නරියෙක් රිංගනවා වගේ එක එකා එක එකාට වැහි වැහී ඉන්නවා දැං.
“හැදෙනවා ඔක්කොම පෝලිමක්''
අපි ඉතිං සුවච කීකරු ගොලයෝ වගේ පෝලිමක් හැදුන.
“ගහේ නැඟපු එකා මුලටම යනවා, වරක ගෙඩිය ගන්නවා ඔලුවට''
සර් කියනවා, කියන පමාව විතරයි අපි කරනවා. ගහට නැඟපු මල්ලි, මැණිකෙ කෙනෙක් කුඹුරට කෑම අරන් යනවා වගේ වරකා ගෙඩිය ඔළුවට ගත්ත. දීකිරි දීකිරි කියල ඒ සිංදුවේ දීකිරි මුට්ටිය අරගෙන ගියෙත් මෙහෙමම තමයි. අපි දැන් පොලිමට ඉන්නවා.
“තමුසෙ මොකද ඔය කුඩයක් අරන් ඉන්නේ ආ... සුද්දෙක් ද?''
මං වට පිට බැලුව. මං ඇරුණම කුඩයක් අරන් ඉන්නේ සර් විතරයි. සර් එයාටම බැනගන්නවා වෙන්න බෑනේ මං ටක්ගාල කුඩේ අකුලල සර්ටම දුන්න.
“තමුසෙ  එනවා දෙවනියට, මෙතන ලොක්ක තමුසෙනේ'' 
මං ඉතිං මල්ලිලාගෙ වැදූ දෙමව්පියන්ට පිං පෙත් අනුමෝදන් කර කරම පෝලිමේ දෙවනියට ගියා.
“හා... ඔක්කොමල සාදු කියන්න පටන් ගන්නවා'' 
ඊට පස්සේ තමයි තේරුනේ මැණිකේ කෑම අරන් යනවා නෙමෙයි මේ හදන්න‍ෙ පන්සලට දානේ අරන් යන්න කියල.
“පෝලිමට දැන් යමු රීඩිං රූම් එකට'' 
දැං ඉතිං අපි වරකා ගෙඩිය ඔළුවේ තියාගත්ත මල්ලි පස්සෙන් “සාදු සාදු සා.....කිය කිය යනවා. අවුල තියෙන්නේ රීඩිං රූම් එකට යන්න තියෙන්නේ ගැණු ළමයින්ගෙ හොස්ටල් එක ඉස්සහරහින්. අපි යනකොට කට්ටිය ජනේල් වල එල්ලිලා බලන් ඉදී කියල හිත හිතා බිම බලාගෙන හාමුදුරුවෝ දනට වඩිනවා වගේ අපි යනවා. ගර්ල්ස් හොස්ටල් එක ලං වෙලකොට තමයි තේරුනේ ජනෙල් වල එල්ලිලා බලන්න එක ගෑණු ළමයෙක් වත් හොස්ටල් එක ඇතුලේ නෑ කියල. සර් ඒ ඔක්කොටම එලියට එන්න කියල. සර්ගෙ මොළේ තමයි මොළේ. පුදුම වෙන්න දෙයක් නෑනෙ, සර් කෙනෙක්නෛ්. ගෑණු ළමයි කුඩ අරගෙන අපි යන පාරේ දෙපැත්තට වෙලා ඉන්නවා. ගෑණු ළමයි ඉවර වෙන තැන ඉදළ පිරිමි ළමයි.
මං හිතාගෙන හිටිය එක ආයෙත් පාරක් වෙනස් කරගත්ත. මේක නිකන් පන්සලට දානේ අරන් යෑමනක් නෙමෙයි, මෙක දානේ අරන් යන පෙරහැරක්. අපිට දැන් නරඹන්නොත් ඉන්නවා. විලිලැජ්ජාව කියල එකක් තිබුනනම් එකත් අතට අරගෙන හොඳට වැඳගෙන අර මහ සෙනඟ මැද්දෙන් අපි යනවා. නිකන් නෙමෙයි සාධු කිය කියා. උන්ට මොකද, උන් බඩවල් අල්ලගෙන හිනා වෙනවා. අපේ රටේ මිනිස්සු ඔහොමම තමයි. කාට හරි කරදරයක් වෙනකොට හිනාවෙන්න නම් දන්නවා.
කොහෙමින් කොහෙම හරි අපේ වරකා පෙරහැර ශාන්ත ගමනින් රීඩිං රූම් එකට ආව. අපි නිසා ඒකත් හොඳටම තෙමිල. අනිවාර්යෙන්ම මෙක සුද්ද කරන වැඩෙත් අපිටම සෙට් වෙනවා කියල හිතනකොටම සර් කිවුවා,
“දැං කඩා ගන්නවා ඔය වරක ගෙඩිය, කැඩුවේ කන්නනේ''
අපි ඉතිං වරක ගෙඩිය නොකා බිම බලාගෙන හිනා වෙවී ඉන්නවා.
“තමුසෙලා මගෙන් කනවද? වරක කනවද?''
ආය ඉතිං වෙන ආරාධනා ඕනි වුනේ නෑ අපිට වරක ගෙඩිය කන්න. සර් ඒ අස්සේ මැඳින ඇඩ් කෑලි දානවා.
“කෑව මදුළු වල ඇට විසි කරන්නේ එහෙම නෑ ලඟ තියාගන්නවා''
 මේ අස්සේ වරක කඩන්න අාපු නැති මල්ලි කෙනෙක් සර් මාත් කන්නම් ද? ඇහුව. සර් කිවුව කනවා හැබැයි ඇට ටික තියාගන්නවා කියල.
සර්ට මෙච්චරටම ඇට ඕනි පැල කරන්න වෙන්න ඇති කියල හිතාගෙන අපිත් මදුළු කකා ඇට එකතු කරා. අනේ මං මදුළු 12ක් විතර කද්දි වරක ගෙඩිය ඉවරයි. පස්සේ වරක කන්න සෙට් වුන මල්ලි 20 ක් විතර කාලා. අපි ඔක්කොම උට හිතිං බැන බැන කොස් ඇට ටිකත් අතේ තියාගෙන සර් ඉස්සරහ හිටගෙන ඉන්නවා.
“ගනන් කරනවල''
ඊට පස්සේ තමයි සර් භයානකම කතාව කිවුවේ. ගිහිං එක එක්කේනා නංචි පොලු පහ ගානේ අරන් එන්න කියල. අනේ ඉතිං ගුරු සිත නොරිදවා කියල අපි ගිහිං නංචි කෝටු හොයාගෙන ආවා. අපේ වෙලාවට ඒ වෙනකොට ගෑණු ළමයි හොස්ටල් වලට ගිහින්. ඊට පස්සේ තමයි සර් සරඹ සංදර්ශනේ පටන් ගත්තේ. අපි ගනන් කරපු ඇට ගාන දෙකෙන් ගුණ කරල කියන්න කිවුවා. මට ජීවිතේ පළවෙනි වතාවට දෙවරක් චක්කරේ අමතක උනා. මගේ ගාන 24 යි. අම්මේ නංචි පොලු හතරක් පහක් එකට තියල ගුටි 24ක් කද්දි හොඳ ගනං. පස්සේ කන්න සෙට් වුන මල්ලිට දෙකෙන් බෙදල ගැහුවා. ගහන අස්සේ පොර කියනවා
“කමක් නෑ වරක කෑවනේ''
කියල. අම්මප උෟටනම් අහේනියද කොහෙද. කොහොම හරි එදා රැ නිදාගන්න වුනේ මුනින්තලාවට. සර් අනිත් පැත්තේ මතක සටහන් තිබ්බනේ . ඒ හොදම වැඩේ වුනේ පහුවදා. මොකද ඊලග දවසේ අපි ඉස්කෝලෙ යද්දි වෙන්න ඔනි ඔක්කොම වෙලා ඉවරයි. ගුරුවරු, ළමයි විතරක් නෙමෙයි ඉස්කෝලෙ හිටපු බල්ලෝ පූසෝ පවා දැනගෙන අපි වරකා කාල ගුටි කෑව කියල. උනුත් අපිට නක්කලේට හිනා වුනා....

මං රස්තියාදුකාරයා 

Share:

තවත් රස්තියාදුවක ඇරඹුමකි

ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන අදහසකට ඔන්න අද පණ දෙනවා. මගේ ජීවිතේ ගොඩක් දේවල් ගොඩක් වෙලාවට අනිත් අයගේ ජීවිතත් එක්ක ගත්තම ගොඩක් වෙනස් කියල මට නිතරම වගේ හිත‍ෙනවා. ඉතින් මට හිතුන ඒ වෙනස් ජීවිතේට මෙහෙම ඉඩක් මේ අවකාශයේ තිබුනොත් හොදයි කියල. 
මගේ ජීවිතේ හරි සරලයි, සුගමයි, සෞන්දර්යාත්මකයි. සරලව කිව්වොත් මගේ ජීවිතේ හරි ජොලි. අතදරුව කාලේ ඉඳල අද මේ ඉන්න කැම්පස් ජීවිතේට එනකල් මගේ ජීවිතේ හරි රසයි. ඒ ජීවිතේ අද ඉඳල මේ අවකාශයේ මේ විදිහට ලියන්න මම හිතුව.
අපේ අම්ම කියන විදිහට මම එයාගේ 'රස්තියාදුකාර පුතා'. අපේ අම්මට මම  වගේ තව එක පුතෙකුයි එයා වගේ දුවෙකුයි ඉන්නවා. ඒ වගේ මට මගේ ජීවිතේ වගේම ජොලි අප්පච්චියෙකුත් ඉන්නවා. 
ඉතිං අද ඉඳල මම මගේ ජීවිතේ ගොඩක් දේවල් වගේම තව ගොඩක් දේවල් මේ විදිහට අන්තර් ජංජාලේ කොටසක් කරනවා.
මම රස්තියාදුකාරයා.
Share:

ජීවිතය විදින්න එන්න

ජීවිතය විදින්න එන්න

රස්තියාදුකාරයා

රස්තියාදුකරයො

Powered by Blogger.